මිතුරියකගේ ගෙදර යනවාය කියා ගිය දුව පසු දිනත් ගෙදර පැමිණියේ නෑ

මිතුරියකගේ ගෙදර යනවාය කියා ගිය දුව
පසු දිනත් ගෙදර පැමිණියේ නෑ

දියණියගේ මරණ පරීක්‍ෂණයේ දී මව සාක්කි දෙයි

අපස්මාර රෝගයෙන් පෙළෙන කාන්තාවක් මුහුදු වෙරළේ සිටියදී මුහුදට වැටී දියේ ගිලී මියයාමේ පුවතක් කළුබෝවිල දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයක දී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ දොඩන්ගොඩ ආරච්චිගොඩ පදිංචිව සිටි වීරසූරිය ලියනආරච්චිගේ සන්ධ්‍යා කුමාරි වීරසූරිය නමැති 45 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක ඩී. එම්. ධර්මසිරි අල්විස් මහතා විසින් එම රෝහල් අධිකරණයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී මොරටුව පොලිසියේ පොලිස් කොස්තාපල් සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් මියගිය සන්ධ්‍යා කුමාරි වීරසූරිය යන අයගේ මව වන හේමලතා කොතලාවල (අවු.78) මහත්මිය සාක්කි දෙමින් මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මාගේ බාල දුවයි. මාගේ ස්වාමිපුරුෂයා ජීවතුන් අතර නැහැ. මියගිය දුව අවිවාහක යි.

දුව කාලයක් තිස්සේ රත්මලානේ කේක් වැඩපළක වැඩ කළා. ඇයට එම ප‍්‍රදේශයේ මිතුරියන් ද සිටින බව මම දන්නවා.

මගේ දුවට බරපතළ රෝගයක් තිබුණේ නැහැ. ඇයට සාමාන්‍ය වශයෙන් සිහි කල්පනාව අඩුයි. අපස්මාරය තිබෙනවා. එම රෝගයට කොළඹ මහ රෝහලින් බෙහෙත් ගත්තා.

ඉකුත් 9 වැනි දින මගේ දුව මිතුරියකගේ ගෙදර යනවාය කියා ගෙදරින් ගියා.

ඊට පසු දුව ගෙදර ආවේ නැහැ. එනිසා 11 වන දින මගේ දුව නැතිවීම පිළිබඳව දොඩම්ගොඩ පොලිසියට පැමිණිලි කළා.

ඉන් පසු මගේ දුව මොරටුව මුහුදේ වැටී මියගිය බව මා දැන ගත්තා.

එවිට මා රෝහලට පැමිණ දුවගේ මළසිරුර හඳුනා ගත්තා. මියගිය තැනැත්තියගේ සොහොයුරියක වන චිත‍්‍රාංගනී වීරසූරිය (අවු. 54) යන අයද සාක්කි දුන්නාය.

දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී පී. සෙනෙවිරත්න මහතා විසින් මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වනු ලැබීය.

එම වෛද්‍ය වාර්තාව හා සාක්කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂක ධර්මසිරි අල්විස් මහතා, සන්ධ්‍යා කුමාරි වීරසූරිය නැමැත්තියගේ මරණය මුහුදු වතුර පෙවී මුහුදේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට තීන්දු කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා