කොටි කාලතුවක්කුවක් මිසයිල 8ක් ඇතුළු

කොටි කාලතුවක්කුවක් මිසයිල 8ක් ඇතුළු
අවි තොගයක් සොයා ගනී

කොටි ත‍්‍රස්තවාදීන් වළ දමා තිබූ මිලිමීටර් 130 කාලතුවක්කුවක්, මිසයිල අටක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ එක්ලක්ෂ දොළොස් දහස් දෙසීයක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා අධි බල පුපුරණ ද්‍රව්‍ය අවි සහ බෝම්බ තැනීමට ගන්නා යකඩ බෝල ඇතුළු යුද උපකරණ රැසක් මුලතිව් සහ පුදුකුඩිඉරුප්පු ප‍්‍රදේශයෙන් සොයා ගැනීමට යුද හමුදාව පෙරේදා (11) සමත්විය.

පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ වළ දමා තිබුණු බවුසර් කන්ටේනර් දහයක්ද මේ සමඟ සොයාගෙන තිබෙන අතර එක් කන්ටේනරයක චීන පිස්තෝල උණ්ඩ 110,000 ක්ද තිබී ඇත.

මේ තොගය සමඟ විවිධ වර්ගයේ බෝම්බ 159 ක් බැංගලෝ ටෝපිඩෝ දෙකක්, සන්නිවේදන උපකරණ කට්ටල හා ඇන්ටනා ආදියද තිබුණු බවත් යුද හමුදාව පවසයි.

පනස් හත්වැනි සේනාංක භටපිරිස් සහ දෙවැනි හා අටවැනි කාර්ය සේනාංක මේවා සොයාගෙන තිබේ. එසේ සොයාගත් උපකරණ සහ අවි අතර ටී 56 ගිනි අවි, මයික්‍රෝ පිස්තෝල, පුපුරන ද්‍රව්‍ය තොගයක් අඩංගු පෙට්ටි දෙකක්, සී හතර වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ 54 ක්, ටී 56, කාලතුවක්කු හා මෝටාර් උණ්ඩ, යකඩ බෝල කිලෝ 1700 ක්, තමන් සිටින ප‍්‍රදේශය හඳුනාගත හැකි උපකරණ දෙකක්, වීඩියෝ යන්ත‍්‍ර, ෆැක්ස් මැෂින්, විවිධ වර්ගයේ ඇන්ටනා තොගයක්, ට‍්‍රාන්ස් මීටර්, රේඩියෝ දුරකථන, හා පටිගත කරන යන්ත‍්‍ර, මයික්‍රෝ චන්ද්‍රිකා තාක්ෂණය සහිත දුරකථන, පොත් තොගයක්, කොටි නිල ඇඳුම්, අඳුරේ දැකිය හැකි ඇන්ටනා හා අයිකොම් සන්නිවේදන කට්ටල ඇතුළු ත‍්‍රස්තවාදීන්ගේ භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.

පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයෙන් ගොඩ ගත් කොටින්ගේ කාලතුවක්කු අවියේ බැරලය සහ මස්ල් බ්‍රේක් කොටස එම ස්ථානයේ වළ දමා තිබී නැති අතර එම කොටස් සොයා ගැනීම සඳහා යුද හමුදාව තවදුරටත් ක‍්‍රියාත්මක වේ. මුදාගත් ප‍්‍රදේශවල අවි ආයුධ සොයා ගැනීම හා මර උගුල් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කැර ඇති බවත් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා