වළාකුළු අතර පැටැලී මං මුලා වූ සරුංගලයක්

වළාකුළු අතර පැටැලී මං මුලා වූ සරුංගලයක්

අක්කා මාව විකුණලා රුපියල් 5000 ක් ගත්තා...

මම ජීවතේ ගෙව්වේ හරිම සැහැල්ලුවෙන්...

“ඕන දෙයක් කියන්නම්. මට හංගන්න කිසිම දෙයක් නැහැ”

ඇය පැවැසුයේ කොක්හඬලා සිනා සෙමිනි. මෙතෙක් දවස් මා දුටුවේ දුක්බර මුහුණු ය. කඳුළු සලන දෑස් ය. සෙමෙන් මුමුණන කතා ය. ලැජ්ජාවෙන් මුහුණු සඟවාගත් කාන්තාවන් ය. මේ අතර ඇය නම් අමුතුම තාලේ එකියක බව ඇයගේ සිනහවෙන් ම පැහැදිලි විය.

“ඇයි ඔච්චර හිනාවෙන්නේ”...?

මට ඇසුණේ නිරායාසයෙන් ම ය. එයටත් ඇය පිළිතුරු දුන්නේ සිනහවෙන්ම පමණි.

“ඔයා මෙහාට ආවේ ඇයි?”

“පාරේ ගිහිල්ලා තමයි” ඇය පැවැසුයේ ඇඟටපතට නොදැනී ය.

ඇය ඉන්දුමතී ය. මුහුණ බිත්තරයක හැඩයක් ඇතැයි මට සිතුණි. ඈ කෙටි කොණ්ඩය ගුලි කර බැඳ සිටියා ය. ඉන්දුමතීට හිමිවී තිබුණේ වඩා උසත් නැති, මහතත් නැති සිරුරකි.

කළු පැහැති ඇයගේ මුහුණේ මැද කුඩා රවුමක් රෝස පැහැයට හැරී තිබිණි. එයට හේතුව විමසුවත් එසේ වූයේ කෙසේදැයි ඇයවත් නොදැන සිටියා ය.

වයස කීයදැයි ඇසූවිට ඉන්දුමතී පැවැසුයේ හතලිස් හතයි කියා ය. ගැහැනුන් තමන්ගේ වයස අඩුවෙන් පැවැසීමට කැමැත්තක් දක්වනවා යැයි කතාවක් තිබුණ ද ඇය නම් තමන්ගේ සැබෑ වයසටත් වැඩියෙන් වයස ගැන පැවැසුවේදැයි මට සිතුණි. අවුරුදු හතලිස් හතක් තබා අවුරුදු හතලිහක පෙනුමක්වත් ඇයගෙන් නොපෙනුණි.

“මං මෙහෙම හිටියට ඉස්සර හරි ලස්සනයි.”

ඉන්දුමතීගේ කොමළ සිනහව නැවතත් ගිගුම් දෙයි.

“මම ගම්පහ. අප්පච්චි මැරිලා. අම්මා ඉන්නවා. නංගියි, මල්ලියි රට. සාමාන්‍ය පෙළ වෙනකම් ඉස්කෝලේ ගියා. මම ජීවිතේ ගෙව්වේ හරිම සැහැල්ලුවෙන්. කිසිම බරක්පතළක් දැනුණේ නැහැ. මගේ යාළුවන්ට කොල්ලෝ හිටියා. මටත් හිතුණා කාත් එක්ක හරි යාළුවෙන්න ඕනෑ කියලා.

මම බාලිකාවකටයි ඉස්කෝලෙ ගියේ. ඉස්කෝලෙ යන එන අතරවාරේ පිරිමි ළමයෙක් හම්බ වුණා. එයා හරිම ලස්සන යි. මං වගේ කළු නෑ. සුදුම සුදු යි. මම එයත් එක්ක යාළු වුණා. ඒ කාලේ අපි දෙන්නා එකට ඉන්නකොට මගේ යාළුවෝ කිව්වේ “තැඹිලි ගෙඩියේ කපුටෝ වැහුවා වගේ” කියලා.”

“එයා හොඳ කෙනෙක්ද? කසාද බැන්දාද?”

“ඔව් එයා හරිම හොඳ යි. ඉගෙන ගන්නත් දක්‍ෂ යි. 1981 ජූනි 21දා අපි කසාද බැන්දා. මුලින් ම අපේ ගෙවල්වලින් විරුද්ධ වෙලා හිටියත් පස්සේ කැමැති වුණා.”

ඉන්දුමතී හැම තීරණයක් ම ගත්තේ එතරම් දුර නොසිතමින් ය. තමන්ගේ ජීවන සහකරු තෝරා ගැනීම ද එසේ වූවකි. ඇයගේ වාසනාවට ලැබුණේ ගුණයහපත් ස්වාමිපුරුෂයෙකි. ඔහුට හොඳ පවුල් පසුබිමක් ද තිබිණි.

ඉන්දුමතී දියණියන් දෙදෙනකුට සහ එක පුතෙකුට ආදරණීය මවක් වන්නට වැඩි කලක් ගත නොවිණි. සැමියා පරිපාලන සේවයේ රැකියාවක නිරත වී සිටි බැවින් ආර්ථික වශයෙන් ද අඩුපාඩුවක් නොවිණි. එහෙත් ඉන්දුමතීගේ පවුල් ජීවිතය සතුටින් ම ගෙවෙනවා දකින්නට ඇයගේ දෛවය කැමැති වූයේ නැත.

“දවසක් එයා කජු වගයක් කඩන්න ගිහිල්ලා ගහෙන් වැටුණා. ඉස්පිරිතාලේ ගෙනිච්චත් බේරා ගන්න බැරි වුණා.”

තම ආදරණීය සැමියා ගැන සිහි කරද්දී පවා ඇයගේ සිතේ කණගාටුවක් හෝ දුකක් ඇතිවන බවක් පෙනෙන්නට නොතිබිණි. කතාව කියන්නේ සුපුරුදු සිනහවෙන් ම ය.

ඉන්දුමතීගේ ජීවිතය ගල් බොරළු පාරකට හැරවෙන්නේ ඇයගේ සැමියා මියයාමත් සමඟ ය. මෙතෙක් කලක් ඇයගේ නැන්දම්මා සැරපරුෂකම් සඟවාගෙන සිටියා ය. දැන් ඇයට එරෙහි වන්නට කවුරුත් නැත. නැන්දම්මා ලේලිය ගැටුම ඇරැඹිණි.

“එයාගේ අම්මා මට වෙනස්කම් කරන්න පටන් ගත්තා. මට ඒ ගෙදර එපා වෙලයි තිබුණේ. හැබැයි ඒ ගෙදර අය මගේ ළමයින්ට ආදරෙයි. මගේ දුවලා දෙන්නා මම වගේ නෙවෙයි හරිම ලස්සන යි. මහත්තයා වගේ. නැන්දම්මා එයාලට හොඳට සැලකුවා.”

මේ අතර ඉන්දුමතී වෙනත් දෙයකට කුරුමානම් අල්ලමින් සිටියා ය. ඇයගේ සැමියාගේ මහ ගෙදර බේකරියක් තිබිණි. බේකරියේ අත්උදව්වට පැමිණි තරුණයකු කෙරෙහි ඇයගේ සිත ඇදී ගියා ය. ඔහු ලාල්ය.

ගෙදරට හොර රහසින් ඇයත් ඔහුත් අදහස් හුවමාරු කරගත්හ. ඔහු හොඳ තරුණයෙක් බව ඉන්දුමතී තේරුම් ගත්තා ය. නැන්දම්මාගේ රැවුම් ගෙරවුම් මැද සිරගත වී සිටින්නේ ඇයිදැයි සිතූ ඉන්දුමතී නැවතත් හිතුවක්කාර තීරණයක් ගත්තේ තම දරුවන් ගැනද නොසිතමින් ය.

“මම ලාල් එක්ක පැනලා ගියා.”

එතකොට දරුවෝ.

එයාලව නැන්දම්මා තියා ගත්තා. පුතා විතරක් අපි ගාවට ගත්තා. දුවලා දෙන්නට එයාල ගොඩක් ආදරෙයි. ඉතිං මම මොකටද ළමයින්ට දුකක් දෙන්නේ. එයාලට උගන්වන්න අපි දෙන්නටම හරිහමන් රස්සාවක් තිබුණේ නෑ. ගෙදර වැඩ කරපු කෙනෙක් එක්ක ගියා කියලා ඒ අය මාත් එක්ක හරිම තරහෙන් හිටියේ.”

ඉන්දුමතීගේ ජීවිතය ද සරුංගලයක් මෙන් පාවී ගියේය. එක එක අතට සුළං හැමිණි. සරුංගලය ද ඒ මේ අත පැද්දෙමින් තිබුණේ අරමුණකින් තොරව ය. මහා කුණාටු රූස්ස ගස් හමු නොවිණි. ටික කලක් ගත විය. සරුංගලයේ රැලි එකින් එක ගැලවෙන්නට පටන් ගැනිණි. එය මහා ප්‍රපාතයකට ඇදී යන්නට පටන් ගත්තේ ය.

“කොහොමද ලාල්?”

‘එයත් හරි හොඳ කෙනෙක්.’ මටත් පුතාටත් හොඳට සැළකුවා. ඒත් ටික කාලයක් යද්දි ලාල් අසනීප වුණා. පපුවේ මහන්සිය ආවා. මේ අතරේ මගේ කලින් මහත්තයාගේ අම්මා නඩු කියලා පුතාවත් එයාලා ළඟට ගත්තා. ලාල්ටත් කිසිම වැඩක් කරගන්න අමාරු හින්දා පුතා එයාලා ගාවට ගත්තාට මගේ අකමැත්තක් තිබුණේ නෑ. ළමයි තුන්දෙනාම හොඳට ඉගන ගත්තා.”

ඉන්දුමතී ජීවිතයේ කටුක බවට අකමැති වූවා ය. ඇය කැමැති වූයේ හොඳින් කා බී සැහැල්ලුවෙන් ජීවත් වීමට ය. ලාල්ගේ අසනීපයත් සමඟ දවසින් දවස ගෙදර අඟ හිඟකම් මතුවෙන්නට විය.

වේල් තුන දෙවේලක් දක්වා අඩුවිය. ඉන්දුමතී ලස්සනට අඳින්නට පළඳින්නට කැමැති වූ තරුණියකි. කඩසාප්පුවල ඇති වයිවාරම් ඇඳුම් පැළැඳුම් දෙස බලමින් ඇය සුසුම්ලෑවා ය.

“මටත් හොඳට අඳින්නට ඇත්නම්” ඇය නිතර සිතුවාය. අසනීපයෙන් පසුවන තම සැමියාගෙන් නම් යළි කිසිම දිනක පිළිසරණක් නොලැබෙන බව ඉන්දුමතී යටි සිතින් සිතුවා ය. මේ අතර හදිසියේ ම ඇයගේ ඥාති සොයුරියක් ඇයට මුණ ගැසුණේ හදිසියෙනි.

ඉතිං කොහොමද ජීවිතේ !

වැඩක් නෑ බං කිසිම ජොලියක් නෑ...

ලාල් ඔහේ බුදියාගෙන ඉන්නවා. ඒ මිනිහාට කන්න අඳින්න දෙන්න වෙලා තියෙන්නෙත් මටයි.”

ඉන්දුමතීගේ සොයුරිය කොළොම්පුරේ ගොදුරු සොයමින් යන ගිජු ලිහිණියකි.” ‘නියම චාන්ස් එක’ ඇය යටි සිතින් සිතුවා ය. ඇය ටිකෙන් ටික ඉන්දුමතීගේ සමීප යෙහෙළියක බවට පත් වූවා ය.

කොළොම්පුරේ පාට පාට ලෝක ගැන කතන්දර ඉන්දුමතීට කියා දුන්නා ය. වරෙක ඒවා බලන්නට ඇයව රැගෙන ගියා ය. ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම් පිරි සාප්පු වෙත ඇයත් සමඟ ගොස් ඇයගේ මුදලින් ඒවා අරන් දුන් අවස්ථාද විය. ඉන්දුමතීද මේ සුන්දර ලෝකය ගැන සිහින මවමින් සිටියා ය.

“නංගියේ ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් හොඳ වැඩක් තියෙනවා.”

ඉන්දුමතීගේ ජීවිතය නැමැති සරුංගලයේ නූල අල්ලා ගත්තට ඇයගේ යෙහෙළියට එතරම් අපහසු නොවෙනි. අහසේ පාවෙමින් තිබුණු එම සරුංගලයේ ගලක් ගසා ප්‍රපාතයකට ඇද දමන්නට ඇය සිතුවේ රුපියල් පන්දහසක් ලබා ගැනීමේ අරමුණෙනි.

“මම පාරේ රස්සාවට එක්ක ගියේ ඒ අක්කා. එයා මාව තැරැව්කාරයෙකුට බාර දුන්නා. කෙනෙක් හොයලා දෙනවාට මගේ අක්කාට රුපියල් පන්දාහක් හම්බ වෙනවා.” මාව විකුණලා එයා රුපියල් පන්දාහක් ගත්තා.”

“ඉතින් ඔයාගේ අකමැත්තක් තිබිලා නැහැනේ... ඇයි ඔයවගේ දෙයක් කරන්න හිතුවේ බය හිතුනේ නැද්ද.”

“නෑ. මට ඕන කෙළේ සල්ලි. හොඳට ජීවත් වෙන්න ඕනෑ නම් සල්ලි තියෙන්න ඕනෑ. නැත්නම් දුක් විඳින්න වෙනවා. අනෙක දැං මං මොනවා පරිස්සං කරන්න ද?. ලාල්ටත් අසනීප යි. එයාත් මැරිලා ගිය කාලෙක මට යන කල මොකක්ද කියලා මම හිතුවා. මේක ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් රස්සාවක්.”

කීයක් විතර හම්බ වෙනවාද?

නයිට් එකක් හිටියොත් දාහයි.” තව ඒ එන අය තෑගි බෝගත් දෙනවා.” හැබැයි මම හොරකං කෙළේ නෑ. ඕන තරං අවස්ථා තියෙනවා මිනිස්සු ඇවිල්ලා බීලා ඔහේ බුදියා ගන්නවා. සල්ලි පර්ස් එළියේ දාලා. මං නං ඒවා ගත්තේ නෑ. ගෑනු දරුවෝ ජීවත් කරවන සල්ලිනේ. ආතල් එකක් ගන්න තමයි අපි ගාවට එන්නේ.

ඉන්දුමතී මේ විස්තර කියන්නේ ඉඟිමරමිනි. සැබැවින්ම ඇය රූමත් එකියක නොවූවා ය. කිසියම් හෝ සුන්දරත්වයක්වත් නොතිබිණි.

“මොනවගේ මිනිස්සු ද එන්නේ” ඔයා ඒ අයට කැමැතිද?

“අයියෝ පොඩි කොල්ලොත් එනවා. නාකි මිනිස්සුත් එනවා. කසාද බැඳපු අය තමයි වැඩිපුරම එන්නේ.

සුද්දෝත් එනවා. ඒගොල්ලන්ට රූපෙන් වැඩක් නෑ. මං ගාවට ආව එක්කෙනෙක් කිව්වා උඹ වගේ නෙවෙයි බෝනික්කෙක් වගේ ලස්සන ගෑනියෙක් මට ඉන්නේ. ඒත් දැං ඒ ගෑනි මං ගාවට එන්නේ නෑ, ළමයි ගැන විතරයි බලන්නේ. ඒ හින්දයි මේ වගේ තැන්වලට එන්නේ කියලා...”

“ඔයා කොහේ ඉඳන් ද මේවාට යන්නේ!

“කොළඹ ලොකු හෝටලයක් ගාව වෑන් එකක තමයි අපි ඉන්නේ. අපේ තැරැව්කාරයා තමයි අපිව කස්ටර්මස්ලා ගාවට යවන්නේ. අපට සල්ලි දෙන්නේ මේ තැරැව්කාරයෝ.”

ලෙඩ හැදෙන්නේ නැද්ද?

“නෑ... “

ඇය එයට දුන්නේ කෙටි උත්තරයකි. ඇය කිසියම් දෙයක් සඟවා ගන්නට උත්සහ කළා යයි මට සිතිණි.

එතකොට ඔයාගේ මහත්තයා මේ ගැන දැනගෙන හිටියේ නැද්ද?

නෑ. මම ඉස්පිරිතාලෙක වැඩට යනවා කියලා තමයි ගියේ. රෑ යනවා. උදේ පාන්දරින් ම ගෙදර එනවා. එයා මොනවත් දැනගෙන හිටියේ නෑ. ඒත් දැං දන්නවා. මට බනිනවා ‘උඹ මහ ජරා ගෑනියෙක්’ කියලා. ඒත් ඉඳලා හිටලා මාව බලන්න එනවා.

එතකොට ඔයාගේ දරුවෝ...?

“අපෝ එයාලා කිසි දෙයක් දන්නේ නෑ මේ ගැන. දුවලා දෙන්නා හොඳට ඉගෙන ගත්තා. ලොකු දුව විශ්වවිද්‍යාලයේත් ගියා. එයා දැං හොඳ රස්සාවක් කරනවා. පුතාත් රැකියාවක් කරනවා. පුතානං දන්නවා මං මෙහේ ඉන්නේ කියලා. ඒත් හේතුව මොකක්ද කියලා දන්නේ නෑ. මං බොරුවක් කියලා තියෙන්නේ.”

මෙහාට ආවාට පස්සේ ජීවිතේ ගැන මොකද හිතෙන්නේ...?

මං මෙහාට ආව පළවෙනි වතාව නෙවෙයි. කීප සැරයක් ම ආවා. පුංචි කාලේ ඉඳලා ම මං හිතුවක්කාර තීරණ ගත්ත කෙනෙක්. හිතෙන දේ කළා. එච්චර දුර කල්පනා කෙළේ නෑ. ඒකයි මෙහෙම වුණේ...

සරුංගලයේ රැලි ගැල වී ඇත. කොළ ඉරීගොස් ය. එය ප්‍රපාතයකට ඇද වැටී ඇත. අහස නොපෙනෙයි. ඒත් ආකාසයේ වෙනත් සරුංගල් බොහෝමයක් ඒ මේ අත පාවෙයි.

පසු සටහනකි :-

සුදුවත හැඳි කතුන් හමුවීමට නැවැත වතාවක් ගියෙමි.

“කෝ ඉන්දුමතී?” මම ඇයගේ යෙහෙළියකගෙන් ඇසුවෙමි.

“එයා ඉස්පිරිතාලෙ ගෙනිච්චා... “

“ඇයි ඒ...?”

“හොඳ කරන්න බැරි ලෙඩක්ලු...”

අතර මගදී තවත් සුදුවත හැඳි කතක් මගෙන් බරපතළ ප්‍රශ්නයක් ඇසුවා ය. ඇයි මිස් මේ ගෑනුගාවට එන පිරිමි ගැන ලියන්නේ නැත්තේ...!

නිරුත්තර වීම මගේ උත්තරය විය.

වැලිකඩ බන්ධනාගාරයේ සියලු නිලධාරීන්ට හා නිලධාරිනියන්ට විශේෂ ස්තුතිය පිරිනැමේ. මෙහි සියලු නම් ගම් මනඞකල්පිත යි.
 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා