උතුර දිනාගත් දකුණේ නායකයාට කළගුණ සලකමු

උතුර දිනාගත් දකුණේ නායකයාට කළගුණ සලකමු

එක්සත් ජනතා නිදහස් සංධානයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් ශාන්ත ගනේවත්ත

* ඔබතුමා දේශපාලනයට පිවිසියේ කුමන කාලයකද? දේශපාලනයට පිවිසීමට හේතුව?

මම 1968 දී ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ උසස්පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියදී එවකට පැවැති ගිනිපුපුර ව්‍යාපාරයේ දේශපාලනයට සම්බන්ධ වුණා. එයට පසු 1970 පැවැති මැතිවරණයේදී නීල්ද අල්විස් මහතා ජයග්‍රහණය සඳහා ලංකා සමසමාජ පක්‍ෂයේ බද්දේගම තරුණ සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළා.

දේශපාලනයට ඒමට හේතු වූයේ දකුණු ආසියාතික කලාපයේ වියට්නාමය, කාම්බෝජය වගේ රටවල්වල ඇති වෙච්චි විප්ලවවාදී ව්‍යාපාරවල පිබිදීම. ඒ පිබිදීම සමඟ ලංකාව තුළ විවිධ තරුණයන් තුළ විප්ලවීය කණ්ඩායම් තුළ ජනතා විමුක්ති පෙරමුණ ගිනිපුපුර, පෙරදිග සුළං වැනි කණ්ඩායම් ඇතිවුණා.

ඒ කාළ පරිච්ඡේදය තුළ බද්දේගම රතනසාර පිරිවෙනේ දේශපාලන අධ්‍යයන කවය තිබුණා. එම කණ්ඩායමේ විවිධ දේශපාලන සංවාද ඇතිවුණා. එය තුළින් දේශපාලන පන්නරයක් මට ලැබුණා.

1971 කැරැල්ල අසාර්ථක ව්‍යාපාරයක් ලෙස අපි දැක්කා. අපි ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එවකට මම පොලිස් අත්අඩංගුවට පත්වුණා. එයින් නිදහස් වූ පසු දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයට සම්බන්ධවී ක්‍රියා කරා. හිටපු අධිකරණ ඇමැති අමරසිරි දොඩංගොඩ මහතාද එම දේශපාලන ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධ වුණා.

ඉන්පසු 2004 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමඟ සම්බන්ධව ක්‍රියා කළා. එම පක්‍ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාත්මක පක්‍ෂයක්.

එමගින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් අපේක්‍ෂකයකු ලෙස දකුණු පළාත් සභාවට තරග වැදීමට මාහට අපේක්‍ෂකත්වය ලැබුණා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මාව නම් කිරීම පිළිබඳව ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා.

* මෙවර පළාත් සභා මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් බව දකුණේ ජනතාව අතර පැතිරල ඒ ගැන ඔබගේ අදහස?

ලංකා දේශපාලන ක්‍රියාවලිය තුළ දකුණ සුවිශේෂී ස්ථානයේ 1977 වර්ෂයේ එ. ජා.ප. බලයට පත්වුණාට පසු ප්‍රගතිශීලී බලවේග දැවැන්ත පසුබැස්මකට ලක්වුණා.

එය ශක්තිමත් බලවේගයක් බවට නැවත පත්කරන්නට අවස්ථාව ලැබෙන්නේ ජනමත විචාරණයකින් ලාම්පු, කලගෙඩි සෙල්ලමේදී බද්දේගම හා අක්මීමණ මැතිවරණයක් ඉල්ලල කළගෙඩිය දිනෙව්වා. ඒ මොහොතේ රටේ බහුතරයක් තමන්ගේ ඡන්දය එපැයි කියලා ලාම්පුවට කතිරය ගහපු අවස්ථාවක්, එවකට පැවැති රජය මොන මර්දනය තිබුණත් අක්මීමණ හා බද්දේගම බුද්ධිමත් ජනතාව ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට අක්මීමනටත්, බද්දේගමටත් අතුරු මැතිවරණ තියන්න සිදුවුණා.

ඒ මැතිවරණ තුළින් දේශපාලන පතාක යෝධයන් වන අමරසිරි දොඩංගොඩ, රිචඩ් පතිරණ බලයට පත්වුණා. ඒ අවස්ථාවේදී තමයි ප්‍රතිගාමී බලවේගවල හැරවුම් ලක්‍ෂය වුණා. ප්‍රගතිශීලී බලවේගවල වර්ධනය වේගවත් වීමට හේතුව වුණා. ඒකෙන් දකුණ වමට හැරවූ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපට හැකිවුණා.

ඒ අවස්ථාවේදී පොලිසිය අපට වෙඩි තිබ්බා. මගේ ළඟ හිටිය පාක්‍ෂිකයෙක් වෙඩි කා මියගියා. ඒකෙන් පැහැදිලි වන්නේ මර්දනයට ඔරොත්තුදෙන ජනතාවක් දකුණේ ඉන්න නිසා මෙම දකුණු පළාත් සභා මැතිවරණය තීරනාත්මක මැතිවරණයක් වන්නේ.

උතුරේ ත්‍රස්තවාදය අවසන් කර සාමකාමී සහජීවනයක් සහිතව රටක් නිර්මාණය කිරීමේ ගෞරවය ජනාධිපතිතුමාට පිළිගන්වමින් දකුණේ ආර්ථික සංවර්ධනය සඳහා තීරණාත්මක වැඩ කොටසක් පළාත් සභාවට පැවරෙන නිසා මෙවර පළාත් සභා මැතිවරණය සියයට අසූව ඉක්මවා ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව.

* ඔබ දකුණු පළාත් සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ පසු මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව ඔබ බලාපොරොත්තුවන සංවර්ධන යෝජනා වැඩ.

නිදහසෙන් පසු බලයට පත්වූ ආණ්ඩුවලට වඩා මහින්ද චින්තනය තුළ සුවිශේෂත්වයක් තියෙනවා. ජනාධිපතිතුමා ගම ප්‍රදේශය ප්‍රමුඛකොට සලකනවා. ඒ ගැන ජාතික මට්මෙන් මග නැඟුම, ජාතික සවිය වැනි ගම දියුණු කිරීමේ පුළුල් ක්‍රියාවලියක් ආරම්භ කර තියෙනවා. ඒවගේම සුවිශේෂ අවස්ථාවක් තමා හම්බන්තොට වරාය ඉදිකිරීම.

ලංකා ඉතිහාසයේ හම්බන්තොට වරාය ගොඩවාය වරාය වශයෙන් යුරෝපයත් පෙරදිගත් යා කරපු ප්‍රධාන මුහුදු වෙළෙඳ මාර්ගයේ ගොඩවාය වරාය ප්‍රමුඛ වරායක් වී තිබීම ගැන. එයට හේතුව උදාහරණයක් තමා ලෝක සිතියම මුල්වරට නිර්මාණය කළ ටොලමි ලංකාව විශාල රටක් ලෙස ඇඳ තිබුණේ එබැවිනි. එයින් පෙනී යන්නේ එදා ලංකාව ලෝකයේ සුවිශේෂී රාජ්‍යයක් වී තිබීම.

එය නිවැරදිව අවබෝධ කළ ජනාධිපතිතුමා නැවතත් ඒ සුවිශේෂී ස්ථානයට ලංකාව ගෙනයාම සඳහා හම්බන්තොට වරාය සකස් කිරීම. එයතුළින් නැවතත් ලෝකයේ බලවත් රාජ්‍යයක් ලෙස මා විශ්වාස කරනවා. එහිදී ප්‍රමුඛ කාර්යභාරයක් දකුණු පළාත් සභාවට හිමිවෙනවා.

එනිසා දකුණු පළාත් සභාව දකුණේ සංවර්ධනයට ඉදිරි දැක්මක් සහිතව පුළුල් ආර්ථික හා දේශපාලන වැඩ පිළිවෙළක් සකස් කළොත් පමණයි මධ්‍යම ආණ්ඩුවේ ජාතික ආර්ථික වැඩ පිළිවෙළ ජාතික දේශපාලන වැඩ පිළිවෙළ ශක්තිමත් වෙන්නේ.

* උතුරේ ජයග්‍රහණය දකුණේ මැතිවරණ ජයග්‍රහණයට කෙසේ බලපාද?

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට තිබුණු ප්‍රධාන බාධකය විදියට අපි දැක්කේ එල්. ටී. ටී. සංවිධානය. එය අන්තවාදී මිලේච්ඡ ජාතික ප්‍රශ්නයට විසඳුමක් කරා යාමට තිබුණු අවස්ථා සියල්ල මගහරිමින් දෙමළ ජනතාව ඔවුන්ගේ සංස්කෘතිය බරපතල අගාදයකට තල්ලු කළා.

එම තත්ත්වයෙන් දෙමළ ජනතාව මුදාගැනීමට ජනාධිපතිතුමා අධිරාජ්‍යවාදී බටහිර රටවල්වලට ගැති නොවී තීරණාත්මකව එඩිතරව ගත් තීන්දුවට සියලුම ජනතාවගේ ගෞරවය හිමි විය යුතුයි.

ජනාධිපතිතුමා දකුණේ උපන් පුරවැසියා බැවින් ඔහුට කෘතගුණ සැලකීම සඳහා දකුණු පළාත් සභාව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට දකුණේ ජනතාවගේ යුතුකම ලෙස මා විශ්වාස කරනවා.

* මෙවර දකුණු පළාත් සභා මැතිවරණය ඉතිහාසයේ පෙරළිකාර රටටම අභියෝග කරපු දකුණු පළාත් සභාව ඒ ගැන අතීතයට එබී බැලුවොත්.

රටේ දේශපාලන උගතුන් බුද්ධිමතුන් බිහිකර තියෙන්නේ දකුණෙන්. සාහිත්‍යධරයන්, කලාකරුවන්, වෛද්‍යවරුන්, දැවැන්ත ව්‍යාපාරිකයින්, රාජ්‍යතාන්ත්‍රිකයින්, ලේඛකයින්, පුරාවිද්‍යාඥයින් බිහි කළේ දකුණෙන්.

පුරාවිද්‍යාඥයකු වන සෙනරත් පරනවිතාන, ගත්කතුවරයකු වූ මාටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, විශිෂ්ට දේශපාලඥයකු වන විජයානන්ද දහනායක, විශිෂ්ට විද්‍යාඥයකු වූ සිරිල් පොන්නම්පෙරුම වැනි අය බිහි වූයේ දකුණෙන්. මෙයින් පේන්නේ වැඩ බැරිවුණත් ගම ගාල්ලේ යන ප්‍රකාශයේ අර්ථය වන්නේ දකුණේ පුද්ගලයින් සුවිශේෂී පුද්ගලයන් බවය.

එමනිසා ලාංකේය දේශපාලනය නිවැරැදි මාවතකට හැරවීමේදී දකුණ සුවිශේෂී වන අතර, ස්වාධීන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ නැවුම් ලක්‍ෂය බවට පත්වන්නේ දකුණු පළාත් සභා ජයග්‍රහණයයි.

මෙතෙක් පැවැති පරාදීන අධිරාජ්‍යවාදයට ගැති ණය කරණවලින් බැඳුණු යටත් ආර්ථිකය බිඳ වැට්ටවීම දකුණු පළාත් සභාව ජයග්‍රහණයෙන් පසු කළ හැකි බව ජනාධිපතිතුමාට කළහැකි බව ඉරහඳ වගේ විශ්වාසයි.

* ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ඔබ දකුණු පළාත් සභාවට මෙවර මන්ත්‍රීවරයකු ලෙස පත් කර යැව්වොත් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට බලාපොරොත්තු වන සංවර්ධන වැඩ

1994 සිට අපේ සංවිධානය ඔස්සේ ජනතාව අතර ක්‍රියාත්මක සංවිධාන ජාලයක් තියෙනවා. ඒක යටතේ ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමට අවශ්‍ය කටයුතු ගැමි කාන්තා පෙරමුණ මගින් සිදුකරන අතර, මානව හිමිකම් උපදේශක හා විධායක සභිකයන් එම සංවිධානය මගින් කරන ලද සමීක්‍ෂණයකින් දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩුපාඩුකම් සොයා ගෙන තියෙනවා.

සුනාමියෙන් අවතැන් වූ අයට නිවාස තනාදීලා පරිසර සංරක්‍ෂණය වැඩ පිළිවෙළක් හදලා තියෙනවා. මේ නිසා දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුවහොත් මට ඉතාම පහසුවෙන් දිස්ත්‍රික් වැඩ පිළිවෙළක් හදා ගන්න පුළුවන්.

එම වැඩ පිළිවෙළේ ක්‍රියාකාරකම් කොටස් දෙකකට බෙදනවා. එකක් කෙටිකාලීන ක්‍රියාකාරකම් එය ඉතා ඉක්මනින් ජනතාවට ක්‍රියා කළහැකි සේවාවක්. අකුරල ප්‍රදේශයට මාතෘ සායනයක් නැහැ. සුනාමියට විනාශවී ගොස් මා එයට අවශ්‍ය ප්‍රජා ශාලාව ඉදිකරමින් යනවා. එය ඉතිරි වැඩ නිම කර ජනතා අයිතියට පවරනවා.

දැනටමත් අපේ සංවිධානය ග්‍රාමීය ප්‍රදේශවල නොවිසඳුන ප්‍රශ්න පිළිබඳ තොරතුරු එක්රැස් කර තියෙනවා. මාර්ග, විදුලිය, ජල, කෘෂිකර්ම, ඉඩම් අහිමි ජනතාව, රැකියා අහිමි තරුණ තරුණියන්හට රැකියා ප්‍රශ්න සෞඛ්‍ය, අධ්‍යාපන ගැටළු පිළිබඳව පළාත් සභාව පමණක් නොවේ, මධ්‍යම රජයත් සමඟ සංවාදයක් ඇතිකර විසදුම් සොයා ගැනීමට කටයුතු කරනවා.

* මේ වන විට එ. ජා. ප. සහ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය ගැන ඔබ හිතන්නේ කෙසේද?

ලංකාවේ දේශපාලන ව්‍යාපාරවල එ. ජා. ප. අධිරාජ්‍ය ගැති කොම්ප්‍රදෝරු ධනපති පන්තිය නියෝජනය කරන පක්‍ෂයක් ලෙස. මම දකිනවා බලයට පත්වෙනකම් සාමාන්‍ය ජනතාව පාවිච්චි කළාත්, අවසානයේ ඔවුන් අමතක කර සේවය කරන්නේ අධිරාජ්‍ය ගැති ධනපති පංතිය.

ඒ නිසා ඔවුන්ට රට සංවර්ධනය කරන්නට නිවැරදි ජාතික ආර්ථිකය හදන්න කිසිම උවමනාවක් නැහැ. ඒක බොහෝම පැහැදිලියි. රටේ ආර්ථිකයේ පීඩාවට පත්වන්නට අවශ්‍ය පසුබිම හදන්න දායක වුණේ 1977 න් පස්සේ එ. ජා. ප. අපි බලාපොරොත්තු වන්නේ ගැමි ආර්ථිකයක් නොවේ.

නිවහල් ආර්ථිකයක් ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන්නේ සමාජ ප්‍රශ්න සමඟ ජනතාව ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය පක්‍ෂයක් විදියට. ඒක හැමදාම දේශපාලන පීලි පැනීමක්වලට ලක්වුණා. 1971 තරුණ තරුණියන් 60,000ක් බිලිවන ආකාරයට කටයුතු කළා. 1988 – 1989 වර්ෂවල බරපතල විනාශයක් ඇතිකළා.

අපි දකිනවා පහළ සාමාජිකත්වය කැපවීමෙන් වැඩ කරනවා. නමුත් නායකයින් වැරදි තීන්දු ගන්නවා. පහළ සාමාජිකත්වය අනුකරණ වාදීන් නිසා දේශපාලන බුද්ධිමතුන් විදියට දකින්න අමාරුයි. ජනාධිපතිතුමාගේ යුද ජයග්‍රහණයට විශාල සහනයක් වුණු එක ඇත්ත.

නමුත් එය සාධකයක් විතරයි. සාධක රැසක් තුළට එකක් එකතුවන එක හැබෑය. නමුත් යුගයට අවශ්‍ය සටන් පාඨ ඉදිරිපත් නොකිරීම හා නොගැලපෙන අවස්ථාවලදී අරගලවලට නායකත්වය දීමට යාමෙන් විශාල හානි සිදුකරගෙන තිබෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා