තනතුරට ආභරණයක් වුණා මිස තනතුර ආභරණයක් කරගත්තේ නෑ

තනතුරට ආභරණයක් වුණා මිස තනතුර ආභරණයක් කරගත්තේ නෑ

දකුණු පළාත් සභා අපේක්‍ෂක සෝමවංශ කෝදාගොඩ

* ඉතාම නිහඬ පවුලක හැදී වැඩුනත් ඔබ දේශපාලන ක්‍රියාවලිය තුළින් ඉදිරියට ගිය කෙනෙක්. ඔබේ දේශපාලන ගමන් මඟ ගැන හෙළි කළොත්..?

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ගැටමාන්න මගේ ගම. වත් පොහොසත් කම්, උගත්කම් උඩ බොහෝ දෙනෙක් එවකට තිබූ ‘එක්සත් ජාතික පක්ෂය’ සමඟ එකතුවීම සිදුවීම සාමාන්‍ය දෙයක්.

නමුත්, ඩී. ඒ. රාජපක්ෂ මහතා (ජනාධිපති තුමාගේ පියා) 1952 දී බෙලිඅත්ත ආසනයේ සංවිධායක වශයෙන් පත්වෙලා ඇවිල්ලා සාමාන්‍ය ගොවි පවුල් සංවිධානය කරන්නට පටන් ගත්තම හැම දෙනා ම ඒ පැත්තට ඇදී ගොස් තිබෙනවා. ඉඩම් හිමි ධනවතුන් ගෙන් කොටස් කීපයක් පමණයි ඉතිරිවෙලා තියෙන්නේ.

අපේ තාත්තලා ගොවීන් නිසා රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙලා තියෙනවා. තාත්ත නිතර ම කතා කළේ “රාජපක්ෂ මහත්තයා” ‘බැරි මිනිහ’ ගැන කතා කරන කෙනෙක් කියල. අපිත් බැරි මිනිස්සුන්ගෙ පැත්තම ගත්තා. මම වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයට ගියාට පස්සෙ මේ තත්ත්වය තව - තවත් ඉහළ ගියා.

වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවට ගියාට පසුව දේශපාලනය හරියට කරනවා නම් පොලිසිය ඉඩනැති නිසා මම එයින් අස්වෙලා බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ගියා. ඒ යුගයේ තමා මම “පැහැදිලි ශ්‍රී ලංකාකාරයෙක්” වුණේ.

මම ගුරු පුහුණුවට යන දවසේ තාත්තා කීවු දෙයක් මට තාම මතකයි. “දේශපාලනය හොඳ දෙයක් වුණාට එහි අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. මේකත් හිතේ තියාගෙන ඉන්න ඕන පුතේ” කියලයි. එදා “අත” ලකුණ කාලේ අපේ තාත්තල වැළඳගත්ත ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ අත හරින්න කියල කිව්වේ නෑ.

* දේශපාලනය වැඩිපුරම සංවිධානය කළේ ගුරු පරපුරත්, ගොවි පරපුරත් ආශ්‍රය කරගෙන බව හැම දෙනාම දන්නා දෙයක්. අපි ඒ ගැනත් කතා කරමු.

“මම පොලිසියෙන් අස්වුණේ මගේ ඇඟේ දේශපාලනය තියෙන නිසා. එතැන එයට “නිදහසක්” නෑ. නමුත් ගුරු වෘත්තියේ එහෙම නෑ. මම “ට්‍රේනිං කොලීජියෙ” ඉන්න ගමන් ඒවාට අවහිරයක් නොවන ලෙස “දේශපාලනය” කළා. මම බලපිටියෙන් මුල්ම පත්වීම ලැබුණේ බෙලිඅත්තෙ - පල්ලත්තර මහා විද්‍යාලයට. ඒ කටයුතුත් හරියාකාරව කරන ගමන්, ජනාධිපතිතුමා මෙහෙය වූ “ ජනඝෝෂා” “ මිනිස් දම්වැල්” යන හැම වැඩකටම හැබෑ ලෙසින්ම අත-හිත දුන්නා.

මම “වමේ කැක්කුම තිබෙන ගුරුවරු පස් දෙනෙක් එකතු කරගෙන නිදහස් ගුරු සංගමය’ පිහිටුවා ගත්තා. අද එය හම්බන්තොට ක්‍රියාකාරීම වෘත්තීය සංවිධානයක්.

ගොවීන් සංවිධානය කිරීම, උදවු කිරීම මට හොඳට පුරුදු දෙයක්.

දිණුවත් - පැරදුණත් ජනාධිපතිතුමාගෙ මැද මුලනෙ ගෙදරට ගොවීන් සමග යන්නෙ මම. එමනිසා ගොවීන් තමන්ගේ දුක කියන්න අවස්ථාවක් ලැබුනේ මටමයි.

මට එය ලොකු සතුටක්, විශේෂයෙන් ජනාධිපතිතුමා සංවිධාන කළ “පාද යාත්‍රා “ ජන ඝෝෂා” “ මිනිස් දම්වැල්” යන සටන් ජාලයට බෙලිඅත්ත ආසනයේ ගොවීන් හා ගුරුවරුන් සහභාගි වූයේ මගේ මූලිකත්වයෙන්.

* ඔබ ක්‍රියාකාරී දේශපාලනයට ආවේ 1991 ආ පළමුවන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එය පැහැදිලි කළොත්....”

මෙම මැතිවරණය පටන් ගන්නා විටම බෙලිඅත්තෙන් කණ්ඩායමක් සූදානම් කරල මට යෝජනා කලා. “ සෝමවංශ බෙලිඅත්තෙ කණ්ඩායමේ නායකයා වෙන්න ඕන” කියල. ඒ අනුව 1991 ප්‍රාදේශිය සභාවේත්, 1997 සභාවේන් සභාපති වුණා.

පාසල් යන කාලේ ඉඳලා ‘ දේශපාලනය’ ඇඟේ තිබුණට, මේකෙ තිබෙන බරපතළ කම දැන ගත්තෙ ප්‍රාදේශීය සභාවේ සභාපති වුණාම . නමුත් මනුස්සයින්ගේ ප්‍රශ්නවලට උත්තරදීම නිසා ලැබෙන සතුට ලැබුණා.

එදා, විරුද්ධ පක්ෂ අදට වඩා දක්ෂව කටයුතු කළ නිසා ටිකක් අමාරුවුනා. අද පාර්ලිමේන්තුවෙ වගේම, ප්‍රාදේශීය සභාවලත් ශක්තිමත් විපක්ෂයක් නැහැනෙ. මේ තත්ත්වය අපි ඉගෙනගත් “ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංගයක් නම් වෙන්නෙ නැති බව කියනවා.

මම, වැඩිමනත්” සල්ලි අතපත ගාන අයෙක් නොවන බව ජනතාව දන්නවා. පළාත් සභාව ඉල්ලන ලෙස ජනාධිපතිතුමා ආරාධනය කලාම මම ටිකක් ගැස්සිලා ගියා. මොකද පළාත් සභා ඡන්දෙකට යන වියදම ටිකක් සැරයිනෙ. නමුත්, අතිගරු ජනාධිපතිතුමාත්, මගේ හිතවතුනුත් තරයේම කියු නිසා පළාත් සභාව ඉල්ලුවා.

මම, ගියවර පළාත් සභාවේ සභභානායක ලෙස පත්වුණේ “ මගේ පැරණි ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගෙනයි.

රාජපක්ෂ පරපුරේත්, රජයේත් විශේෂතම පණිවුඩ ගෙනයායුතු ජනහමුවලට ඒවා ගෙන ගියේ මම. අද ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ - හම්බන්තොටින් ඉන්නේ.

විධායක සභාවට මම විතරයි. මම ඒ තනතුරට ආභරණයක් වුණා. මිස, තනතුර මට ආභරණයක් කරගත්තේ නෑ. හැමතනතුරක් ගැනම මම ක්‍රියා කරන්නෙ මේ ප්‍රතිපත්තියේ ඉඳගෙනයි.

දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධතාවයක් ඇතිව කුමන පෙළපාළියක් ගියත්, ජනහමුවක් තිබුණත් සෝමවංශත් එතැන ඉන්නවා. ගුරුවරයෙක් වශයෙන් සිටියදීත්, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් වශයෙන් සිටියදීත් මම එකම වේගයෙන් ඒ හැමටම සහභාගි වුණා. තව ඉදිරියටත් එහෙමමයි.

* ඔබ විදුහල්පති සේවයෙන් විශ්‍රාම ගිය බව කීවා. මේ නිසා ඔබගේ දේශපාලන ගමනේ වෙනසක් වීමට ඉඩ තියෙනවා නේද?

මම පළමු ශ්‍රේණියේ විදුහල්පති කෙනෙක් ලෙස විශ්‍රාම ගියා. නීතිය අනුව විශ්‍රාම ගියාට ගුරු සංගමයෙන් සමුගතතේ නෑ. මම ඉස්සරට වඩා ගුරුවරුන්ගේ ගැටලු ගැන සොයා බලනවා. ඒවාට ඉඩක් තියෙනවා. මම එය ලොකු සතුටක්, පූර්ණ කාලීනවම දේශපාලනයේ යෙදීමට මම තීරණය කරලා අවසානයි.

ගමේ පුංචි ශ්‍රීලනිප සමිතියේ කතාව ආරම්භ කරපු මම ප්‍රාදේශීය සභාපති තනතුර හරහා දකුණු පළාත් සභාවේ සභානායක වශයෙන් ඒමට මට උදව්වුනේ ගුරු වෘත්තිය, මට කවරදාකවත් අමතක වන්නේ නෑ. ඒවාගේම , මව්පිය උරුමයෙන් මට ලැබුණ “ ගොවිකම” අමතක වන්නේත් නෑ.

ලබන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජනාධිපතිතුමාගේ ලොකු පුතා නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයට එනබව මා දන්නවා. එතුමාට බෙලිඅත්ත ආසනය සංවිධාන කිරීමට මා දැන්ම සිට සූදානම් වෙනවා.

ජනාධිපතිතුමාගේ පියාණන් වූ ඩී. ඒ. රාජපක්ෂ මහතාණන්ගේ දේශපාලන ගමනට දුන් උදවු ඒ ආකාරයෙන් ම එතුමාගේ මුනුබුරා වන නාමල් මහතාටත් දෙන්නට ලැබුණොත් එය කොතරම් සතුටක්ද?

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා