තවත් විසි වසරක් ජනපතිට රටේ නායකයාවීමට තිස් වසරක යුද සාපය නිමාකළ පිනම ඇති

තවත් විසි වසරක් ජනපතිට රටේ නායකයාවීමට තිස් වසරක යුද සාපය නිමාකළ පිනම ඇති

- ඇමැති බන්දුල ගුණවර්ධන

තවත් විසි වසරක් ජනාධිපතිතුමාට රටේ නායකත්වය දරන්නට තිස් වසරක් පුරා පැවති වෙඩි හඬේ අමිහිරි සුවඳ තුරන් කිරීමේ පුන්‍යකර්මය පමණක්ම ප්‍රමාණවත් බවත්, පැවැති සෑම මැතිවරණයකින්ම විශිෂ්ට ප්‍රතිඵල ලබන්නට රජයට හැකි වූවේ එකී පුන්‍යකර්මයේ බල මහිමයෙන් බවත් වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික කටයුතු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ පොල්ගස්ඕවිට, වෑතර හා අම්බලන්ගොඩ ප්‍රදේශයන්හි පැවති ගම නැඟුම වැඩපිළිවෙළ යටතේ නිමකරන ලද ව්‍යාපෘති රැසක් ජන අයිතියට පැවරීම නිමිත්තෙන් පැවති උත්සව සභාවකදීය.

වෑතර නිසල පෙදෙස හා දූවවත්ත මාර්ගය රුපියල් ලක්ෂ හතක වියදමින් කොන්ක්‍රීට් කැර නිමකිරීම මෙදින සිදුකැරිණි.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති නොවන්නට අද වනවිටත් ත්‍රස්තවාදයේ බියකරු යක්ෂයා රටපුරා හොල්මන් කරනවා. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහාය ලැබ ක්‍රමානුකූලව භීෂණයේ යක්ෂයා තුරන් කැර දමන්නට රජයට හැකිවුණා.

ලෝකයේ දියුණු වූ රටවල් බොහොමයක් රට සංවර්ධිත මාවතට යොමු කළ නායකයන් ජීවිතාන්තය දක්වාම රටේ නායකයා ලෙසින් පිළිගන්නවා. ඒ අනුව අප රටේද ජනාධිපතිවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු වෙනවා. ජනාධිපතිවරණයකට වැයවන අතිවිශාල මුදලක් එමගින් ඉතිරි වෙනවා.

වරින්වර මතුවන විවිධ කුමන්ත්‍රණවලින් රජය පෙරළන්නට හෝ හොල්ලන්නට හැකි යැයි සමහරු සිතන නමුත් එය කිසි දිනෙකත් සිදුවන්නේ නෑ.

මාධ්‍යයේ හා ස්වෙච්ඡා සංවිධානයන්හි යුතුකම වනුයේ රට අස්ථාවර කරන්නට දරණ වෑයම් පරාජය කිරීමයි.

හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී, බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා කතා කරමින් ‘ගම නැ¼ගුම’ සංකල්පය තුළින් නිලධාරින්ට වඩා ගමේ ;ද්ශපාලන නායකත්වය කෙරෙහි තබන ලද විශ්වාසය නිසා ගම් ප්‍රදේශයන්හි මංමාවත් රැසක් සංවර්ධනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි පැවැසීය.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී තිලකරත්න රාජපක්ෂ, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සුනිල් පෙරුම්බුලි, කමල් චන්දන, ඩික්සන් ගාමිණී මහත්වරුද එක්ව සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා