එදා දෙමටගොඩම හෙල්ලූ චණ්ඩියා මමයි


 

එදා දෙමටගොඩම හෙල්ලූ චණ්ඩියා මමයි

ඒ හැත්තෑව දශකයේ අග භාගය යි. එම යුගය ආශි‍්‍රතව සිදු වූ දේශපාලන හා සමාජ වෙනස්වීම් නිසා රටේ සාමාජීය හා දේශපාලන පරිවර්තනයක් සිදුවෙමින් තිබිණි.

එදා දෙමටගොඩ හන්දියේ අද මෙන් ත්‍රීරෝද රථ ගාලක් නොතිබුණු අතර ඒ වෙනුවට තිබුණේ ‘කුලී හයර්’ සඳහා වෙන්වුණු ‘මොරිස් මයිනර්’ මෝටර් රථ කිහිපයක් පමණි.

එම කුලී රථ ගාලේ නිළ නොවන “ලොක්කා” බවට පත්ව සිටියේ ඔරුගොඩවත්තේ කමල් ය. එදා කමල්ගේ අණින් පිට කුලී රථ ගාලේ පමණක් නොව ඒ අවට පවා කිසිදු දෙයක් සිදු නොවිණි.

අද මෙන් සංවිධානාත්මක පාතාලයක් නොතිබුණ එම යුගයේ දෙමටගොඩ චණ්ඩියා ලෙස කමල් නම් කිරීම ඔහුට කරන අසාධාරණයක් ද නොවේ.

කමල්ට එදා ඕනෑ වුණු ප්‍රධාන ම අරමුණ වූයේ එවකට රටට අලුත් අත්දැකීමක් වූ විවෘත ආර්ථික ක්‍රමයෙන් මුදල් හරි හම්බ කර ගැනීමට ය.

ඔහු උත්පත්තියෙන් ම ගෙන ආ දිලිඳු කමින් අත්මිදීම ය. ඔහු තුළ මෝරා ආ මේ අරමුණේ් වරදක් නැතත් ඒ සඳහා ඔහු තෝරාගත් මාර්ගවල අඩුපාඩු එමට තිබිණි.

මොරිස් මයිනර් ටැක්සියක් හයර් කර දෙයියනේ කියා එදා වේල ගැටගසා ගත් කමල්ට මහ උළු ගෙදර තාප්ප හතරකට කොටුවීමට සිදුවූයේ එදා වැඩියෙන් මුදල් හම්බ කරන්නට ඔහු තෝරාගත් වැරදි මාර්ගයි.

එමෙන් ම කමල් අප සමඟ සඳහන් කළ ආකාරයට වැරදි මිතුරන් ආශ්‍රයද ඔහුගේ මේ ඉරණමට මූලිකව බලපා තිබුණා.

පාපමිත්‍රයෝ

හැත්තෑව දශකයේ අග භාගයේ සිට අනූව දශකය මුල් කාලය තෙක් පොලිස් පොත්වල දහ දොලොස් වතාවක් තම නම ලියාගත්, රට වටා තිබෙන බන්ධනාගාර තුන හතරක සිර බත්වල රස බලා ඇති ඔරුගොඩවත්තේ කමල් අපට හමුවූයේ මහර බන්ධනාගාරයේ උස් තාප්පවලට කොටු වී සිටියදීය.

 බන්ධනාගාරයේ සුබසාධක අංශයේ බංකුවක් මතට බරදී ඔහුගේ ජීවිත කතාව ආරම්භ කෙළේය. එදා සමාජය ඉදිරියේ ප්‍රචන්ඩ මිනිසෙකු මනුෂ්‍ය ඝාතකයෙකු ලෙස හංවඩු වැදී සිටි කමල් අද හික්මීමක් සහිත නිවැරැදි වීමට උත්සාහ කරන මනුෂයකු බවට පත්ව සිටී. එදා තමා අතින් වූ වැරැදි ගැන අද ඔහු සැබෑ ලෙසම පසුතැවේ.

“මං ඒ කාලේ කරපු පිස්සු වැඩවලට මොනවාද කියලා හිතෙනවා මහත්තයෝ. අද තමයි මට හැම දෙයක්ම වැරැදියි කියලා තේරෙන්නේ. මා ඉදිරියේ හරිබරි ගැසී වාඩි වූ කමල් කියූ මුල්ම වදන් පෙළ ද එයයි.

මෙහෙට එන්න වුණේ මොකද? අප මුලින් ම කමල්ගෙන් විමසුවෙමු. ඒ සඳහා කමල්ගෙන් ලැබුණේ ඉතාමත් කෙටි පිළිතුරකි. “නරක මිත්‍රයෝ නිසා තමයි මම මේ තත්ත්වෙට වැටුණේ.

එහෙම නැතිනම් මං හිරේ එන්න බලාපොරොත්තු වුණ මිනිහෙක් නෙමෙයි. තරුණ කාලේ මං හීන දැක්කේ මගේම කියලා ටැක්සියක් අරගෙන දෙයියනේ කියලා ජීවත් වෙන්න.

ඒත් මගේ කර්මය ඔක්කොටම වැඩිය ලොකු වුණා. මම වැරැදි කෙළේ කියලා මං කොයි වෙලාවේදිවත් කියන්නේ නැහැ. මං අතින් මිනිස්සු දෙන්නෙක් මැරුණා.

තවත් එක්කෙනෙක් මරන්න අනියම් විදිහට උදව් වුණා. මේ දේවල් තමයි මං අතින් වෙච්ච වැරැදි. අද මං මේ දේවල් ගැන කල්පනා කරලා හදවතින් දුක් වෙනවා.

මට සමහරවිට හිර ගෙදරින් නිදහස් වෙන්න පුලුවන්. ඒත්, හෘද සාක්‍ෂිය මාව නිදහස් කරන්නේ නැහැ. තමන් අතින් අතීතයේ සිදුවූ වැරැදි ගැන කමල් ගෙනහැර දැක්වූයේ මෙවැනි අදහසකි.

“එතකොට ඔයා මුලින්ම වැරැදි කරන්න පෙළඹුන විදිහ ගැන කියන්න පුලුවන්ද?

මොහොතක් ගැඹුරු කල්පනාවකට වැටුණ කමල් තමන්ගේ වැරැදිකාර අතීතය පිළිබඳව පාපොච්චාරණය අප ඉදිරියේ ආරම්භ කෙළේය.

“මම මුලින්ම කෙළේ මගේ ටැක්සියේ හොර රහසේ ගංජා ප්‍රවාහණය කිරීම. මේ වැඩේ නිසා මගේ් අතමිට සරුවෙන්න ගත්තා. ඒ හින්දා මමත් දිගින් දිගට ම මේ වැඩේ සිද්ධ කළා.

මම මේ දේ තනියෙන්ම කෙළේ නැහැ. මට රජයේ වැදගත් රැකියාවක් කරන මහත්තයෙකුගේ සපෝට් එකත් ලැබුණා. ලැබෙන ලාබෙ අපි දෙන්නා බෙදා ගත්තා. ඒ මහත්තයාට තිබුණු නිළ බලය හින්දා අපිට මේ බිස්නස් එක සිද්ධ කරන්න බාධාවක් වුණේ නැහැ.

ඒත් මගේ ජීවිතය වහගත්තු හෙනහුරාත් මේ රස්සාව ඇතුලෙම හැංගිලා හිටියා.” ඇයි එහෙම කියන්නේ අප කමල්ගෙන් විමසුවෙමු. ඔහු මෙතෙක් සඟවාගෙන සිටි කතාවක් එළියට ගෙනහැර දැක්වීය. මෙලෙස අප සටහන් කරන්නේ කමල් අප සමඟ කී එම කතාවයි.

“දවසක් මම ටැක්සි පාක් එකේ ඉද්දි මහත්තයෙක් ඇවිල්ලා හයර් එකක් යන්න කතා කළා. මටත් ඉතින් සැකයක් තිබුණේ නැහැ. හයර් එකට කැමැති වෙලා රත්නපුරේ ගියා.

ටැක්සියට මගදි තව දෙන්නෙකුත් නැග්ගා. මගදි මේ අය ටැක්සිය නවත්තන්න කියලා කිරි හට්ටියකුයි කොලයකින් වහගත්තු බෝතලයකුයි අරගත්තා. මට ඉතින් මේ ගැන සැක හිතන්න දෙයක් තිබුණේ නැහැ.

මහත්තුරු තුන් දෙනා

රත්නපුරේදී වාහනය පාර අයිනේ නවත්තන්න කියලා මහත්වරු තුන්දෙනා ගෙදරකට ගිහින් විනාඩි දහයක් යද්දි ආවා. එද්දි මහත්වරුන්ගේ අතේ තිබුණ කිරි හට්ටිය තිබුණෙත් නැහැ.

 පත්තර කොලවලින් වහගෙන තිබ්බ බෝතලේ තිබ්බෙත් නැහැ. ගෙදරට ගිහින් එද්දි එක මහත්තයෙකුගේ ඇහැක් තුවාල වෙලා තිබුණා. මඟදී වාහනය නතර කරන්න කියලා තුවාල වෙච්ච ඇහට ගොඩ බේත් කළා.

ඊට පස්සෙ මට මේ කාරණේ අමතක වෙලා ගියා. පොලිසියෙන් හැංගෙන්න කට්ටි පනින්න ඕනෑ කමක් තිබුණේ නැහැ. පුරුදු විදිහට හයර් රස්සාව කළා. මාස තුනක් යද්දි තමයි මට ගිනි පත්තු වුණේ.” එක හුස්මට යට ගියාව කියාගෙන ගිය කමල් සැනෙකින්ම කතාව අතරමඟදී නතර කළේය.

මොකද කමල් එදා වුණේ අප ඔහුගෙන් විමසුවෙමු.

“බොරැල්ලට හයර් එකක් යං කියලා උස මහත සුදු ෂර්ට් කලු කලිසම් ඇදගත්තු මහත්වරු දෙන්නෙක් මගේ ටැක්සියට නැග්ගා. බොරැල්ලේදී මගේ් ඔලුවට පිස්තෝලය තියලා ටැක්සිය නවත්වන්න කිව්වා.

ඊට පස්සේ එයාලාගේ සී. අයි. ඩී. හැඳුනුම්පත් පෙන්නුවා. එතකොටත් මම දන්නේ නැහැ කේස් එක මොකක්ද කියලා. පස්සේ තමයි දැනගත්තේ එදා රත්නපුරේ ගිය මහත්වරු දීල තිබුණ ගේම.

රත්නපුරේ නඩුකාර මහත්තයෙකුට තමයි එදා ඒ අය ඇසිඩ් ගහලා මරලා තියෙන්නේ. මේ සිද්ධියට අවුරුදු දෙක හමාරක් රිමාන්ඩ් එකේ හිටියා. පස්සේ මම දැනගත්තේ නඩුකාර මහත්තයාට ඇසිඩ් ගහපු සිද්ධියට එයාගේ මල්ලිගේ දුව බැඳපු මහත්තයත් සම්බන්ධ වෙලා තිබෙනවා.

එයා පොලිසියේ එස්. අයි. මහත්තයෙක්. ඇත්තටම මේ වරද මං අතින් දැනුවත්ව වෙච්ච වැරැද්දක් නෙමෙයි මහත්තයා. ඒත් නොදැනුවත්ව සිද්ධ වුණත් වැරැද්ද වැරැද්දමයි එදා මට නොතේරුන ඇත්ත මට අද තේරෙනවා.

ඔරුගොඩවත්තේ කමල්ට විරුද්ධව තිබෙන ආන්දෝලනාත්මක නඩු විභාගය වන්නේ කොටහේනේ සෙල්ලයියා මුදලාලි නැමැති ප්‍රකට ව්‍යාපාරිකයා වෙඩිතබා මරා දැමීමයි.

 එවකට තිබූ රජයේ ප්‍රබල ආධාරකරුවෙකු වූ සෙල්ලයියා මුදලාලිගේ මරණය එවකට අගනුවර දේශපාලනය සලිත කළ සිදුවීමක් විය. “සෙල්ලයියා මුදලාලි ගේ ඝාතනය හා එයට පසුබිම් වූ සිදුවීම් පිළිබඳව කමල් ඔහුගේ යටගිය මතකය අවදි කෙළේ මෙලෙසිනි.

“මගේ යාලුවෙක් හිටියා ශාන්ත කියලා. එයා සෙල්ලයියා මුදලාලිත් එක්ක විවිධ ගැටුම් ඇති කරගෙන තිබුණා. මුදලාලිගෙන් ශාන්තට විවිධ හිරිහැර තිබුණා.

එයාට තිබුණ දේශපාලන බලය මුදල් ඉදිරියේ ශාන්තට සිද්ධ වුණේ බයිට් එකක් වෙන්න ශාන්ත හැම වෙලාවෙම මට සෙල්ලයියා මුදලාලිගෙන් සිද්ධ වෙන කරදර ගැන කීවා.

අන්තිමේදී අපි තීරණය කළා සෙල්ලයියා මුදලාලිව මරන්න. ඒකට ඕනෑ කරන ආයුධ මම මිතුරෙකුගෙන් ලබා ගත්තා. මට ඒ වෙලාවේ ලැබුණේ ස්වයංක්‍රීය පිස්තෝලයක්.

මගේ අතට ලැබුණ පිස්තෝලයෙන් මම සෙල්ලයියා මුදලාලිගේ පපුව පෙනේරයක් වගේ පසාරු කළා. මට ඕනෑ කරලා තිබුණේ මේ මනුස්සයගෙන් මගේ යාලුවා ගලවා ගන්න එක විතරයි. පස්සේ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා ඒ වෙලාවේ මං කල්පනා කළේ නැහැ.

භීෂණ කාලේ

සෙල්ලයියා මුදලාලිගේ ඝාතනයට සැකපිට මාව රිමාන්ඩ් කළා. කොහාම හරි අවුරුද්දක් යද්දි මට ඇප පිට එළියට එන්න පුලුවන්කම ලැබුණා. එළියට ආවේ භීෂණ කාලේ. ඒ වෙලාවේ ආණ්ඩුවේ මැරයෝ මාව මරන්න හෙව්වා.

ඒ වෙලාවේදී මම මාලු බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගත්තා. ඉන්දියාවේ ටිකක් කල් ඉඳලා ගොඩබිම් මාර්ගයකින් පාකිස්තානයට ගියා. පාකිස්තානයේදී මාව දරුණු විදිහට අසනීප වුණා. ඊට පස්සේ මම ආයෙත් ලංකාවට ආවා.“

ලංකාවට ආපු වෙලේ කමල්ව පොලිසියට අහුවුණේ නැද්ද? අප කමල්ගෙන් ප්‍රශ්න කළේමු.

“කොටියාගේ් ගුහාවට ගොදුර ආපුවහම ඌ ගොදුර අල්ලගන්නේ නැතිව ඉන්නවද? පොලිසියත් ඒ විදිහට ඉතාමත් ලෙහෙසියෙන් ම මාව අල්ලා ගත්තා. එදා අමතක නොවන කෑමක් හම්බ වුණා.

ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අදත් මම කොර ගහන්නේ.” තමන්ගේ වේදනාබර අතීතය අද කමල් සැහැල්ලුවෙන් සිහිපත් කරයි. ඉන් පසු යළිත් තමන්ගේ කතාව ආරම්භ කළ කමල් සෙල්ලයියා ඝාතන නඩුවෙන් මට මරණ දඬුවම ලැබුණා.

 ඒත් මං ඇපිල් එකක් දමලා දඬුවම් ලිහිල් කර ගත්තා. ඒත් එක්කම රත්නපුරේ ඇසිඩ් නඩුවටත් උසාවියෙන් තීන්දුව හම්බ වුණා. එතෙනදි මට අවුරුදු දොළහක සිරදඬුවමක් ලැබුණා.

සෙල්ලයියා ඝාතනය පිළිබඳව මෙතෙක් සමාජයට හෙළිකරගත නොහැකිව තිබූ වේදනාබර මතකයන් පිළිබඳව කමල් අපට තවත් දේ සඳහන් කෙළේය.

“මගේ ජීවිතයට බොහොම බරපතළ විදිහට බලපෑවේ සෙල්ලයියා මුදලාලිගේ මිනීමරුම තමයි. ඒ කාලේ කොළඹ බිස්නස් ලෝකයම අල්ලගෙන හිටියේ සෙල්ලයියා.

මිනිහගේ ඔලුවට උඩින් එදා කපුටෙක්වත් ඉගිල්ලුනේ නැහැ. ඒ විදිහේ බලවතෙක්ව තමයි මං වෙඩි තියලා මැරුවේ. ඒ කාලේ සෙල්ලයියා මුදලාලිව මරන්න කියා එහෙම හිතන්නත් මිනිස්සු බය යි. මොකද සෙල්ලයියා මුදලාලිට එදා තිබුණා ආණ්ඩුවෙන් හොඳ සපෝට් එකකුත් ලැබුණා.

මේ හැම දෙයක් හින්දම මේ නඩුවේදි මාව බරපතළ විදිහට හිරවුණා. කිසිම බුරුලක් ලැබුණේ නැහැ. පොලිසියට පවා හැම පැත්තෙන් ම බලපෑම් ආව මාව හිර කරන්න කියලා.”

දිනුම් ඇඳීම

කමල් ගේ කතාව එතකොට ඉවරද අප ඔහුගෙන් විමසුවෙමු. “නැහැ පොඩි කුමාරව මැරුවෙත් මම තමයි. හැබැයි මහත්තයෝ එයාගේ කොකාට කලින් මගේ කොකා ඉස්සර වුණා. ඒත් පොඩි කුමාරගේ නඩුවෙන් මං නිදහස් වුණා.

එදා මම මේක මහ දිනුමක් විදිහටයි හිතුවේ. ඒත් අද මට තේරෙනවා මේ හැම දෙයක්ම බොරුවක් කියලා. එදා මට මේ දේ තේරුණා නම් පොඩි කුමාරව මරන්නේ නැහැ. මට එදා මිනිස්සු මරණ එක කජු කනවා වගේ ලේසි වැඩක් වෙලා තිබුණේ.

ඒත් මම අද හදවත ඉස්සරහ වැරැදි කාරයෙක් වෙලා ඉවරයි. කුමාරව මැරුවෙ ඇයි කියලා මට සම්පූර්ණ විස්තරයක් කියන්න ඕනෑ.”

පොඩිකුමාරගේ ගැටුම හා එයට මුල් වූ කරුණු පිළිබඳවද කමල් අප සමඟ කී දේය. “මහත්තයෝ ඒ වෙද්දි මම වැරැදි වැඩ අතහරින්න ඕනෑ කියන අදහසේ හිටියේ.

මට ඒ වෙද්දි ටිකෙන් ටික හොඳ නරක තේරුම් ගිහිල්ලා තිබුණේ. හැබැයි ඒ වෙද්දිත් මම තේ කඩයකට මුවාවෙලා කුඩු විකුණුවා. මේ කාලේ තමයි මම කුමාරත් එක්ක කොක්ක දාගත්තේ.

ඒක දුරදිග ගිය තරම කියන්නේ කුමාර මගේ පවුලටත් කුණුහරුපෙන් බැනලා තිබුණා. මේ වෙලාවේදී මට හොඳටම කේන්ති ගියා. මේක බද්ධ වෛරයක් වුණා. අන්තිමේදී මම තීරණය කළා පොඩි කුමාරව මරන්න. මිනිහත් තීරණය කරලා මාව මරන්න. කොහොම හරි මට පුලුවන් වුණා කුමාරව මරන්න.”

දෙමටගොඩ කමල්ගේ කතාවට සවන්දීගෙන සිටි අප ඔහුගෙන් අතීතයේ කළ වැරැදි ගැන අද හිතන්නේ මොනවගේ දෙයක් දැයි ඇසුවෙමු.

“මගේ හිතේ ලොකු පසුතැවිල්ලක් තියෙන්නේ. මාව මේ තැනට පත්කෙළේ සිගරට් එක. අරක්කු වීදුරුව. නරක යහලුවොත් තමයි. අද වෙද්දි මට එදා හිටිය යහලුවෝ නැහැ.

මගේ දරුවෝ බිරිඳ තමයි ළඟින් ඉන්නේ අද මගේ බිරිඳ, දරුවෝ මං එනකම් මඟ බලාගෙන ඉන්නවා. කියන්න සංතෝසයි මගේ දරුවෝ සිගරට් එකක්වත් බොන්නේ නැහැ.

එක පුතෙක් රජයේ පිළිගත් මට්ටමේ රැකියාවක් කරනවා. අනෙක් පුතා මෝටර් මිකැනික් කෙනෙක්. මගේ වැරැදි පුරුදු කිසි දෙයක් මගේ දරුවන්ට ගිහින් නැහැ. ඒ ගැන මට සංතෝසයි.

අද මගේ එක්ක එකට හිටිය ගොඩක් අය මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. මට ජීවත් වෙන්න වාසනාව ලැබුණේ හිර ගෙදර හිටිය නිසා. මම ආයෙ කිසි දවසක වරදක් කරන්නේ නැහැ කියන ස්ථිර අධිෂ්ඨානයෙන් ඉන්නේ.

 කමල්ගේ අතීත වැරැදි මොනවා වුවද අනාගත බලාපොරොත්තු යහපත් යැයි මට සිතුණි. අද ඔහු බලා සිටින්නේ කෙදිනක හෝ නිදහසේ ජීවත්වීමට ය. සමාජයට වැරැදි නොකිරීමට ය.

පුනරුත්ථාපනය වීම

දෙමටගොඩ කමල් පුනරුත්ථාපනය වීමේ කතාවද අපූරු ය. ඔහු මෑතක් වනතුරු සිරගෙදර ගත කෙළේ ද දඩබ්බර ජීවිතයකි. “මහත්තයෝ මම නොහිටිය හිරගෙයක් නැහැ.

හැම තැනෙන්ම මාව කන්ඩෙම් කරලා හිටියේ. මහරදි තමයි මාව පුනරුත්ථාපනය වුණේ. දැන් තමයි මගේ ඇස් පෑදුණේ. හරි වැරැද්ද තේරුනේ මාව පුනරුත්ථාපනය කරලා හොඳ මිනිහෙක් කරපු මහත්වරුන්ට පිං දෙන්න ඕනෑ.”

 මම පසුගිය දවසක දවස් හතක නිවාඩුවකට ගෙදර ගිහිල්ලා ආවා. මගේ ඊළඟ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ යහපත් කල් ක්‍රියාවෙන් ඉඳලා නිදහසේ ජීවත් වෙන්නයි.

දෙමටගොඩ කමල් ලෙස කාලයක් රට හෙල්ලූ නමගිය අපරාධකාරයෙකු වූ ඔහුගේ සිත කාලයත් සමඟ යහපත් දිශාවට කෝණ ගත වී ඇත්තේ මේ ලෙසය.

“මහත්තයෝ බෙග් මාස්ටර්ගේ් සිංදුවක් තියෙනවා මිනිසාමයි ලොව දෙවියන් වෙන්නේ. මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ කියලා. සිංදුවක් කාලයක් තිරිසනෙක් වගේ හිටිය මට දෙවියෙක් වගේ වෙන්න ඕනෑ.

ඒක තමයි මගේ බලාපොරොත්තුව දෙමටගොඩ කමල් අපට සමුදෙමින් කීවේය. අයහපත් ඇසුර, සමාජ කරුණු නිසා අපරාධකරුවෙකු වී සිරගත ජීවිතයක් තුළින් අනාගතයේදී නිවැරැදි ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු තබා සිටින කමල්ට අපිදු සුබ පැතුවෙමු.

මහර බන්ධනාගාර අධිකාරී ලක්‍ෂ්මන් අබේගුණවර්ධන මහතා සහ මහර බන්ධනාගාර සුබසාධන අංශයේ සියලු නිලධාරීන්ට අපගේ ස්තුතිය පුද කරමු.

මෙහි සියලු නම් ගම් මනඞකල්පිත යි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා