මඟ හරින්නේ බලාගෙනයි !


 

මඟ හරින්නේ බලාගෙනයි !

- උපුල් ශාන්ත සන්නස්ගල

‘ආදරේ තරම්ම යශෝදරා’ සාහිත්‍ය මාසයේ දී කළ එළි දුටු උපුල් ශාන්ත සන්නස්ගලයන් ගේ නවතම නවකතාවයි. වෘත්තියෙන් මෙරට ජනප්‍රිය ප්‍රවාහයේ සිංහල ටියුෂන් ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල ගීත රචකයකු චිත්‍රපට නිෂ්පාදකවරයකු නවකතාකරුවකු සේම සංහිඳ මුද්‍රණ හා ප්‍රකාශන ආයතනයේ අධිපතිවරයා ද වෙයි. මෙරට ප්‍රකාශයට පත් කෙරුණ විශාලතම ශබ්ද කෝෂය මහාචාර්ය සුචරිත ගම්ලත් ලියූ ‘සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය’ සංහිඳ අභිමානවත් ප්‍රකාශනයක් වෙයි.

මේ නවකතාව තුළින් ඔබ කියන්නට උත්සහ කළේ පුරුෂ කේන්ද්‍ර සංස්කෘතිය තුළ ගැහැනියගේ ඛේදවාචකයද ? නැතහොත් ජාත්‍යන්තර පාසල්වල උගෙනුම ලබන දරුවන්ගේ ඛේදවාචකය ගැන ද ?

මට ඇත්තටම ඕනකම තිබුණේ පිරිමි සංස්කෘතිය ඇතුළේ තමා ලෝකේ කොයි ගැහැනියත් ජීවත් වෙන්නේ කියන කාරණය සමාජයට ඉදිරිපත් කරන්නටයි.

මේ ලෝකේ සංස්කෘතිය කියන එක නිර්මාණය වන්නේ පිරිමි චින්තනයෙන්. මේ ලෝකේ ගැහැනු ජීවත් වන්නේ පිරිමි නිර්මාණය කළ මේ සංස්කෘතිය ඇතුළෙයි.

පිරිමියා සංස්කෘතිය නිර්මාණය කළ නිසා වෙන්නේ ගැහැනියගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වැඩි කර ගැනීමයි. හැබැයි පිරිමියා නිර්මාණය කළ මේ සංස්කෘතිය ගැන ගැහැනිය හිතා ගෙන ඉන්නේ ස්වභාවිකයි කියලා.

නමුත් ස්වභාවික නැහැ. මම නිදසුනක් විදියට මෙහෙම කියන්නම්. ගැබ් ගන්නේ ගැහැනියනේ. ඒක ස්වභාවිකයි. අපට ඒක වලක්වන්නට බැහැ. දරුවෝ ඉපදුනහම කිරි දෙන්නේ ගැහැනියනේ. ඒකත් වළක්වන්නට බැහැ.

හැබැයි දරුවා ඉස්කෝලේ එක්ක ගෙන යන්න ඕනේ අම්මා කියන එක ස්වභාවිකද ? ඒක ස්වභාවිත නැහැනේ. හැබැයි ලංකාවේ ගැහැනු හිතා ගෙන ඉන්නවා ; ඒකත් ස්වභාවිකයි කියලා.

එහෙම වෙන්නේ ස්වභාවික දේවල් සහ සංස්කෘතික දේවල් කියන දෙක එකට ගත්තමයි ; ගැහැනු වුණාම මහපොළොව වගේ උහුලන්න ඕනේ. නමුත් කවුරුත් කියනවාද ? පිරිමි වුණහමත් ඉවසන්න ඕනේ කියලා.

ඒ නිසා පහුගිය කාලේ මට ලොකු සංස්කෘතික ගැටලුවක් තිබුණා. පිරිමි හදන මේ සංස්කෘතියට ජාත්‍යන්තර පාසල්වල දරුවොත් අයිතියි. මම හැබැයි උන්ට ටිකක් කැමැතියි.

උන් හැමදේම ස්වභාවිකයි කියලා හිතන ගැහැනුන්ට වඩා ටිකක් වෙනස්. ඒ නිසා මම ජාත්‍යන්තර පාසල් ඉලක්ක කර ගත්තා නෙමෙයි. ඒ දරුවෝ දෙන්නා (කිසාගෝතමි සහ කාශ්‍යප) මම යොදා ගෙන තියෙන්නේ පවතින තත්ත්වයට එරෙහිව යන චරිත දෙකක් හැටියට යි.

9 වසරේ හෝ 10 වසරේ ඉගෙනුම ලබන ‘කිසාගෝතමී’ එක් අවස්ථාවකදී අම්මා වූ ‘යශෝදරා’ ට පවසනවා මම ටෙරිත් එක්ක (වයස්ගත ගුරුවරයා) එංගලන්තෙට යනවා කියලා. බාල පුතු කාශ්‍යපත් ‘කිසා’ සහෝදරියගේ අදහස නිවැරදි වූවක් ලෙසට එකඟත්වය පළ කරනවා. මේ දරුවන්ගේ හැසිරීම ඔබ සාධාරණීය කරන්නට ද උත්සහ කරන්නේ ?

මම උත්සහ කළේ ; ඒ දරුවෝ දෙන්නා ගැන කියන්න නෙමෙයි. ‘කිසාගෝතමී’ සහ කාශ්‍යප කියන්නේ පවතින සංස්කෘතියට එරෙහිව යන දරුවෝ දෙන්නෙක්. අනාගත පරම්පරාවේ කෙල්ලෝ මිනිහගෙන් ගුටි කාලා තේ එක හදලා බත් එක ඔතලා දෙයි කියලා මම හිතන්නේ නැහැ.

මම හිතනවා අනාගතයේදී මිනිහට තේ් එක හදන්න වෙයි. ඒකේ කතා දෙකක් නැහැ. එහෙම නැත්නම් දෙන්නගේ තේ දෙක වෙන වෙනම දෙන්නා හදාගෙන බොන්න වෙනවා. යුරෝපයේ දැනටමත් එහෙමයි.

ක්ලබ් එකකට ගියහම ඔයා බියර් එකක් බොන්න ; මම විස්කි එකක් බොන්නම්. මම මගේ ‘විස්කි’ බිල ගෙවනවා ; උඹ උඹේ ‘බියර්’ බිල ගෙවපං. එහෙම හිතන ජෝඩු තමයි ඉන්නේ. ඒක හොඳයි; මම ඒක අනුමත කරනවා.

දැන් බලන්න විශ්වවිද්‍යාල ගත්තත් වැඩිපුර ඉගෙන ගන්නේ කෙල්ලෝ. නීති පීඨයට ගියොත් කෙල්ලො 280 යි. කොල්ලෝ 35යි. ඒ කියන්නේ කෙල්ලෝ ඉගෙන ගන්නවා. ඊට පස්සේ ජොබ් කරනවා. අනාගතය වෙනස් වෙනවා. මේක මම දකින සුබ සිහිනයක්.

‘යශෝදරා’ අම්මා ‘කිසා’ දුවට හරිම ආදරෙයි. ඒ ආදරේ කොයිතරම් ද කිව්වොත් ලෝබ වැඩිකමට පුංචි කාලේ වඩා ගන්නටත් කාටත් නොදී තමන්ගේ ඇකයේ දෑතේ හැදෙන්නේ. එහෙම හදපු ‘බෝනික්කි’ පාසල් විය ඉක්ම වන්නටත් පෙර වෙනස් වෙනවා. හිතා ගන්නට බැරි විදියට අම්මාගෙන් ඈත් වෙනවා. අද සමාජයේ බොහෝ අම්මාවරුන් ගේ ඛේදවාචකයත් මෙයම නොවෙද ?

අපි ආදරේ කියලා බලාපොරොත්තු වෙන්නේ අපේ ‘ෆැන්ටසිකරණය’ වෙච්ච හීනයකටයි. මම ආදරය කියලා කියන්නේ මෙහෙම එකකට. මගේ ආදරය කියලා කියන්නේ අනෙකාගෙන් බලාපොරොත්තු වන ප්‍රමෝදයේ තරම යි.

අම්මලා දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ ප්‍රමෝදයේ තරමයි. මේක කාගෙත් අවසන් වෙන්නේ ඛේදවාචකයකින්. නිදර්ශනයක් කියන්නම්. බුදුන් වහන්සේ වදාලා ; සතුටේ උපරිමය ඛේදවාචකයක ආරම්භයක් කියලා.

ගම්වල ගැහැනු කියනවා; වැඩිය හිනා වෙන්න එපා, අඬන්න ළඟයි. මනෝ විද්‍යාවේ කියනවා; ප්‍රමෝදයේ කෙළවර ඛේදවාචකයක් කියලා. මම කියන්නේ කවුරු කොහොම කිව්වත් කියලා තියෙන්නේ එකම දෙයක්. එහෙනම් මේ ‘ප්‍රමෝදය’ තමයි අපි හැම වෙලාවෙම ඉල්ලන්නේ. හැබැයි එහි කෙලවර තවත් ඛේදවාචකයක්.

එනිසා ඕනෑම අම්මා කෙනෙක් දරුවන් කෙරෙහි තිබෙන ‘ආදරය’ ඛේදවාචකයක්. මට එක වෙලාවකදී අම්මව මඟ හැරෙනවා. ඒකෙන් කියන්නේ මම අම්මට ආදරේ නැහැ කියන එක නෙමෙයි.

 කාලයක් එනවා; අපේ අතින් ඒ චරිත මඟ හැරෙනවා. මගේ අම්මා මට අවුරුදු පහක් විතර මඟ හැරුණා. ඒ මගේ කාර්යබහුලත්වය නිසයි. සමහර විට දෙමාපියන්ට දරුවෝ මඟ හැරෙනවා. ස්වාමියාට බිරිඳ මග හැරෙනවා. මේ මඟ හැරෙන කාලයේ් තමා ඛේදවාචකය ආරම්භ වෙන්නේ.

එනිසා මම හිතනවා; අන්න ඒ අර්බුදය මම මේ නවකතාව ඇතුළේ ලියන්න උත්සහ කළා කියලා. මඟ හරින්න එපා; එතන ඛේදවාචකය ආරම්භය බව.

මෙහි එන ‘යශෝධරා’ ඔබ අර්ථ ගන්වන්නේ කොහොමද ?

පිරිමින්ගේ ප්‍රබන්ධ ලෝකයක් තියෙනවානේ. පිරිමි හදන ඒ ප්‍රබන්ධ ලෝකේ පිරිමියාට මාර ‘පොරක්’ වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රබන්ධ ලෝකේ සුවච කීකරු වැඩවසම් පරමාදර්ශී ගැහැනිය ‘යශෝදරා’ යි.

ප්‍රබන්ධ ලෝකේ ඉන්නේ; උයන පිහින, දරුවෝ හදා වඩා ගනිමින් සියල්ල විඳ දරා ගෙන ඉවසා ගන්න ගැහැණියයි. යශෝදරාත් එහෙමයි. දරුවෝ දෙන්නත් එක්ක නිවසේ කොටු වෙනවා. එතකොට ආනන්දට මරු.

ඔහුට ඔහුගේ ප්‍රබන්ධ ලෝකේ ඇතුලේ ඉන්න පුළුවන්. මොකද සුවච කීකරු උගත් රූමත් අහිංසක භාර්යාව දරුවෝ දෙන්නත් හදාගෙන ගෙදර ඉන්නවනේ. හැබැයි ආනන්ද ගේ ප්‍රබන්ධ ලෝකේ කුටු පට්ටම් කරනවා;

මේකේ ඉන්න ‘සොනාලි’. එනිසා මේ කතාවේ ප්‍රධාන චරිතය ‘යශෝදරා’ නෙමෙයි. මගේ මේ නවකතාව තුළ ‘වීරවරිය’ වුණේ ‘සොනාලි’ යි. ‘සොනාලි’ ගැන අගදී හිතලා නැවත මගේ නිමිත්ත ආපහු කියෙව්වොත් ඒ බව තේරේවි.

මොකද මේ පොතේ නිමිත්ත වෙන්නේ අනිත් පැත්තයි. පොඩි කොල්ලෙක් ලොකු ළමයෙක් වෙනවා.

ඇත්තටම මෙවැනි ලියවිල්ලක් නවකතාවක දුටු ප්‍රථම අවස්ථාවයි. හරියට නවකතාව සමග තවත් කෙටි කතාවක් කියෙව්වා වගේ හැඟෙනවා. මොකක්ද මේ නිමිත්ත ?

නවකතාව කියවීම සඳහා අවශ්‍ය කරන සමාජ විද්‍යාත්මක දැනුම සපයන්නේ නිමිත්තයි. ඒක කියෙව්වම ඇඟට අමුතු ගතියක් දැනෙනවා. මේක හරියට ‘කෙටි’ චිත්‍රපටයක් වගෙයි. ඒවගේම මෙහි වින්දන ස්වරූපය වෙනස්. වෙනමම ඵබරතඥ එකක් තියෙන්නේ.

සාමාන්‍යයෙන් නවකතාවක් ලියන කොට විශේෂයෙන් හිතන දේවල් තියෙනවාද ?

මම කතාවක් ලියද්දි මේකෙන් ටෙලි නාට්‍යයක් කරන්න පුළුවන් ද බැරිද කියලා හිතන්නේ නැහැ. හින්දි නිළියකගේ පින්තූරයක් පිට කවරයට දැම්මොත් විතරයි විකුණන්න පුළුවන් වෙන්නේ කියලත් මම හිතන්නේ නැහැ.

මේක විකිණෙනවාද නැද්ද කියලා ප්‍රශ්නෙකුත් මට නැහැ. මොකද මම ජීවත් වෙන්නේ මේ එකක් එක්කවත් නොවන නිසා. පොත ලිව්වම ‘ලෝකයා’ මා ගැන හිතන්නේ මොනවාද කියලත් මට ප්‍රශ්නයක් නැහැ.

මගේ ලිවීමට ගෙදර දරුවෝ, බිරිඳ බාධා කරන්නෙත් නෑ. ගඩොල් බානවා වගේ හැම අවුරුද්දෙම පොත් ලියන්න ඕනේ කියලා එකකුත් නැහැ. එනිසා ලේඛකයකු විදියට මට තියෙනවා පරිකල්පන ශක්තියක්.

මට දැනෙන පරිකල්පනීය හීනය මට ඕන විදියට ලිවීමේ නිදහස තියෙනවා. ප්‍රකාශකයකු මේ පොත බාර ගනීවිද නැද්ද ? මිනිස්සු මොනවා හිතාවිද ? මේ කිසි ප්‍රශ්නයක් මට නැති නිසා මම අත දිග හැරලා ලියනවා. ලියන්න බයකුත් නැහැ. ඒක මම හොයා ගත්තු මාර අයිතියයක්.

මානව දයාවෙන් කරුණාවෙන් පිරුණු දරුවන්ට සැමියාට අසීමිතව ආදරය කළ ‘යශෝදරා’ අවසානයේ උන්මත්තක භාවයට පත් වෙනවා. ලෙංගතු දයාබර බිරිඳ මවට උරුම ඉරණම මෙයද ?

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක තියෙනවා ‘බලන් මේ අරුමය යහපත් භවේ ශාපය’. ජර්මනියේ බ්‍රෙෂ්ට් මෙහෙම කියන්න ඇත්තේ සෙල්ලමකට නෙමෙයිනේ.

මම අහන්නේ ලංකාවේ ගැහැනු කී දෙනෙකුට මෙහෙම හිතෙනවා ඇද්ද ? පියසීලි විජේමාන්නගේ ‘වෙලේ ගෙදර සුගුණවතී’ කෙටි කතාව කියවන්න. ‘අනේ යහපත් කෙල්ල පති වෘතාව රැක ගෙන මල්ලිලාට සලකාගෙන ජීවිතේ විනාශ වෙලා යනවා.

 එහෙනම් යහපත් ගැහැනියට මෙහෙම වෙනවා. ගැහැනු මේකට කියන්නේ කරුමේ කියලයි. මම කියන්නේ මේක කරුමේ නෙමෙයි. මේ තමයි පිරිමි සංස්කෘතියේ ස්වභාවය.

කොච්චර යහපත් ගැහැණියක් වුණත් පිරිමි පීඩාව අස්සේ මේ ඉරණම හිමි වෙනවාමයි. ‘යශෝදරා’ කොච්චර හොඳ වුණත් ඇගේ ජීවිතය අවසන්වෙන්නේ පිස්සියක් වෙලා. උන්මත්තකයෙක් වෙලා. අවසිහි ගැන්විලා.

ලංකාවේ පවුල් ජීවිතවල ගෙවල් වල ඉන්නෙ 80 % මානසිකව දික්කසාද වූ අවසිහිගැන් වූ ගැහැනුයි. මම හිතන්නේ ‘යශෝදරා’ කියන්නේ මේ රටේ ගැහැනුන්ගේ සංකේතය යි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා