බෞද්ධ සාහිත්‍යය ලේඛකයන්ට දැනුම් ගබඩාවක්


 

බෞද්ධ සාහිත්‍යය ලේඛකයන්ට දැනුම් ගබඩාවක්

- සමන් චන්දන කුමාරසිංහ

ළමා හා යොවුන් සාහිත්‍යය තුළ සමන් චන්දනගේ ප්‍රවේශය නැවුම් එකක්. කුඩා කාලයේ පටන්ම මිහිර හා යොවුන් ජනතා පුවත්පත්වලට ලිපි රචනා කළත්, කවිය හා ගීතය පිළිබඳ ඔහුගේ දැනුම මුහුකුරා යන්නේ සුනිල් සරත් පෙරේරා, සුනිල් මාධව පේ‍්‍රමතිලක හා සමන් චන්ද්‍රනාත් වීරසිංහ වැනි ප්‍රවීණයන් ඇසුර නිසයි. එම ආභාසය මත පිහිටා 90 දශකයේ මුලදී සිය මුල්ම ගී පොත ‘මුතු අහුරක්’ බිහිකිරීමට සමන් සමත් වෙනවා.

ගුරවරයෙක් ලෙස සමන් චන්දනගේ අවධානය පසුකාලීනව වඩාත්ම ලක්වන්නේ ළමයින් හා තරුණයන් කෙරෙහියි. එසේම මෙම අවදියේදී ඔහු බෞද්ධ සාහිත්‍යය අධ්‍යයනයට ද නැඹුරු වෙනවා.

වර්තමානයේ කවියකු, ගීත රචකයකු, කෙටිකතාකරුවකු, ළමා සාහිත්‍යකරුවකු ලෙස පැතිරුණු ක්ෂේත්‍රයන් ගණනාවක කෘතීන් ගණනාවක් නිර්මාණ සාහිත්‍යයට දායාද කළ සමන් චන්දන කුමාරසිංහ බිහිවන්නේ මෙබඳු පසුබිමක් සහිතවයි.

බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනයේදී වර්තමාන ලේඛකයින්ට සිය හැකියාවන් වර්ධනය කර ගැනීමට තිබෙන කෝෂ්ඨාගාරයක් ලෙස ඔහු එය දකිනවා.

පන්සිය පනස් ජාතකය, සද්ධර්මරත්නාවලිය වැනි බෞද්ධ සාහිත්‍ය කෘතීන් තුළ සාහිත්‍යමය වටිනාකමක් මෙන්ම මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාවක් තිබෙන බව ඔහුගේ විශ්වාසයයි.

“නපුරු ඇතා” ළමා කතන්දර පොත 2009 දී ඔහු එළිදක්වන්නේ එම හැදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. අප කවුරුත් අසා ඇති බෞද්ධ සාහිත්‍යයේ එන නාලාගිරි දමනය කතා ප්‍රවෘත්තිය කුඩා දරුවන්ගේ සිත් තුළ දයාව, කරුණාව, මෛත්‍රීය යනාදී සාධුගුණ වගාවන ආකාරයට රචනා කිරීමට ඔහු සමත් වෙනවා.

නමුත් මෙහිදී බොහොමයක් ළමා කතන්දර පොත් රචකයන් කරන්නාත් මෙන් සමන් එම ඓතිහාසික කතා ප්‍රවෘත්තිය මතට තමන්ගේ අදහස් ඇතුළු කර විකෘති කරන්නේ නැහැ. සමන්ගේ සරල, සුගම බස් වහර පොතක් පතක් කියවීමට රුචි නොවන කුඩා දරුවෙක් වූවත් අවසානය දක්වා කියවීමට පොළඹවනවා.

සමන් පොතක් ප්‍රකාශයට පත්කිරීමේදීත් වෙනස් සම්ප්‍රදායක් අනුගමනය කරනවා. ඒ නිසා අපි ඔහුගේ් ප්‍රවේශය දකින්නේ නැවුම් ලෙසයි. අත්පිටපත රචනා කරන සමන් එය පාසල් දරුවන්ට කියවන්නට දී ඔවුන්ගේ අදහස් මත සංශෝධනය කරනවා. ගුරුවරයෙක් ලෙස පාසල් පන්ති කාමරය තුළ දී සමන් චන්දනගේ භූමිකාවද නිර්මාණාත්මක එකකි.

ලේඛනයේ දී භාෂා රීතින් සුරැකීමට දක්වන උනන්දුවත් සිත්ගන්නා බස් වහරත් සමන්ටම ආවේණික ලේඛන සම්ප්‍රදායයක්. ‘සදංජනා’ ඔහු දේශීය සුරංගනා කතා සම්ප්‍රදායක් ගොඩනැගීමට දැරූ දැනුවත් උත්සාහයක්.

කතන්දර පොතක් කියවීමෙන් පසු ඒ තුළන් ළමයාට ජීවිතය හා ලෝකය පිළිබඳ දැනුමක් හා පරිකල්පන හැකියාවේ වර්ධනයක් ඇතිවිය යුතු බව ඔහු විශ්වාස කරනවා.

වර්තමානයේ වෙළෙඳපොළේ ඇති කතන්දර පොත් බොහොමයක් ළමයින්ගේ පරිකල්පනා ශක්තිය හා නිර්මාණාත්මක හැකියාවන් මොට කරන බව ඔහු අප හා පවසා සිටියා.

එහිදී ළමා පොත් රචනා කරණයේ නිරතව සිටි ලේඛකයන් පිළිබඳව ඔහු චෝදනාවක් නඟනවා. ඔහුගේ නිරීක්ෂණයට අනුව වර්තමානයේ ළමා පොත් රචනා කරන බොහොමයක් දෙනා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධයක් නොමැති, ළමයින් ඇසුරු නොකරන, ඔවුන්ගේ අදහස් උදහස් සමඟ ජීවත් නොවන්නත්, තමන්ට අනුවනම් ළමයින් වෙනුවෙන් පොත් ලියනවා නම් ඔවුන්ගේ කෙළි කවටකම් ඇස් දෙකින් දැකිය යුතුයි.

ළමා කතන්දර කලාව මෙසේ පිරිහීයාමට ඒ සඳහා ඇති විශාල ඉල්ලුමද බලපා ඇත. බොහොමයක් මෙවැනි කතන්දර පොත්වල ඇත්තේ ලස්සන පින්තූර ටිකක් හා මුලක් මැදක් අගක් නොමැති කතන්දරයක්.

ලොකු කුඩා සියලුදෙනාටම එකට රසවිඳිය හැකි නිර්මාණ කලාවක් පිළිබඳව සමන් චන්දන විශ්වාසය තබන්නේ නැහැ. ඔහු ‘ටියුෂන් මල්’ වැනි යොවුන් කෙටිකතා සංග්‍රහයකදී තරුණයන්ට වඩාත් ආකර්ෂනීය නාට්‍යමය ආකෘතියක් භාවිතා කරනවා.

ටෙලිනාට්‍යය කෙරෙහි ඇලී ගැලී සිටින තරුණ පරපුර ප්‍රබන්ධ කලාව වෙත ගෙන්වා ගැනීම ඔහුගේ අරමුණයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා