දුටුගැමුණු - විජයබා යුගය දැන් නැවත එළැඹී තිබෙනවා

 දුටුගැමුණු - විජයබා යුගය දැන් නැවත එළැඹී තිබෙනවා

-ඇමැති පාඨලී චම්පික රණවක

පොතපතින් පමණක් දුටු ඒ ගැමුණු විජයබා යුගය අද අපට ජීවමානව දැකගැනීමට ලැබී තිබෙන බව පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ කැස්බෑව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හොන්නන්තර ශශ්‍රී විජයසුන්දරාරාමාධිපති හල්විටිගල යසස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයෙහි පසුගියදා පැවැති අටවිසි බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ පුණ්‍යෝත්සවයේදීය.

ඇමැතිවරයා එහිදී තවදුරටත් මෙසේ ද පැවැසීය.

අපේ පාරිසරික හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයට 2008 වසරේදී අටවිසි බෝධීන් වහන්සේ 100 නමක් රෝපණය කිරීමට හැකි වුණා. අපේ ඉලක්කය 2010 වසරේදී අටවිසි බෝධීන් වහන්සේ රෝපණය කිරීම 500 නමක් දක්වා වැඩි කිරීමටයි.

සියලු බුද්ධ චරිත පරිසරය හා සම්බන්ධකම් පවත්වා තිබෙනවා. සෑම බුදුවරයන් වහන්සේ නමක්ම බුදු බවට පත්ව තිබෙන්නේ ගසක් මුලදීයි. ඒ නිසා බුදුවරයන් වහන්සේ පරිහරණය කළ ගස්වලට අපේ බෞද්ධ පින්වතුන් වන්දනා මාන කරනවා.

ගස්වලට බෝධි පූජා පැවැත්වීම, වැඳුම් පිදුම් කිරීම මෝඩ වැඩකැයි සමහරුන් කියනවා. ගස් යට සිසිලස තිබෙනවා. අපට හුස්ම ගැනීමට අවශ්‍ය “ඔක්සිජන්” මේ ගස්වලින් නිපදවනවා.

ඒ වගේම අප පිට කරන කාබන් වායුව මේ ගස්වලින් උරාගන්නවා. මේ ගස් අපේ ජීවිතයයි. ඒ නිසා බුදුවරයන් වහන්සේට අම්මාට තාත්තාට වැඳුම් පිදුම් කිරීම සැලකිලි දැක්වීම වාගේම ගස්වලට වැඳුම් පිදුම් කිරීම හා සැලකිලි දැක්වීම වටිනා පිනක් ද යුතුකමක් ද වෙනවා.

ලෝකයේ රටවල් අතුරින් විවිධ ශාක විශාල ප්‍රමාණයක් තිබෙන එකම රට ශශ්‍රී ලංකාවයි. ස්වීඩනයේ තිබෙන්නේ ශාක වර්ග 11 ක් පමණයි. ශශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි වර්ග 1600 ක් පමණ තිබෙනවා.

 ආහාරයට ගත හැකි ශාක වර්ග 2600 ක් පමණ තිබෙනවා. මල් පිපෙන ශාක වර්ග 2400 ක් පමණ තිබෙනවා. ඒ වගේම අපේ රටේ තිබෙන ගංඟාවල ජල පද්ධති රකින්නේ ද මේ ශාක වර්ගයි.

ඒ නිසා ගස්වලට බෝධි පූජා, වැඳුම් පිදුම් කරන පින්වතුන් දකින්නේ බුද්ධිමතුන්, ගුණවතුන් හා උගතුන් හැටියටයි.

විහාරාධිපති හල්විටිගල යසස්සී, කැස්බෑව නන්දන පිරිවෙනේ පරිවේනාධිපති රන්පත්විල විමලරතන හිමිවරු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගාමිණී සිල්වා, කැස්බෑව නගරාධිපති ලෙනාඩ් කරුණාරත්න මහත්වරු ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා