සෙරීනා ටෙනිස් ලොව මුල් තැනට?

සෙරීනා ටෙනිස් ලොව මුල් තැනට?

ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් චීන විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ දී රුසියානු ක්‍රීඩිකා එකටෙරිනා මැකරෝවා පරාජය කිරීමට සමත් වුවහොත් යළි ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පිවිසිය හැකි බව ලෝක ටෙනිස් සම්මේලනය ප්‍රකාශ කළේ ය.

ශ්‍රේණිගත කිරීම්වල පළමුවැනි ස්ථානයේ පසුවන ඩිනාරා සෆීනා මේ තරගාවලියේ දී අප්‍රකට චීන ක්‍රීඩිකාවකට පරාජය වීම නිසා සෙරිනාට පළමු ස්ථානය ලබා ගැනීමට දොරගුළු විවෘත වී තිබේ.

රුසියානු යොවුන් ක්‍රීඩිකාවක් වන 18 හැවිරිදි ඇනස්ටේසියා පවුලි යුචෙන්කෝවාට පරාජය වීම නිසා මේ වන විට සෙරිනාගේ සොයුරිය වන ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ පසුවන වීනස්ද මේ තරගාවලියෙන් ඉවතට විසි වී සිටින්නී ය.

3 – 6, 6 – 1,ක් සහ 6 – 4ක් ලෙස ඇනස්ටේසියාට පරාජය වූ වීනස් පෑන් පැසිෆික් විවෘත ටෙනිස් තරගාවලියේ ද පරාජයට පත්වූවාය.

‘ඇය ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. අවාසනාවන්ත විදිහට සමහර අවස්ථාවල දී මගේ අතින් හුඟාක් වේලාසනින් වැරදි සිද්ධ වුණා.’

ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 39 වැනි ස්ථානයේ පසුවන ඇනස්ටේසියාට පරාජය වීමෙන් අනතුරුව වීනස් ප්‍රකාශ කළාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා