චැම්පියන් කුසලානය ඔස්ට්‍රේලියාවට

චැම්පියන් කුසලානය ඔස්ට්‍රේලියාවට

ජගත් එක්දින ක්‍රිකට් තරග බිමේ දක්ෂතම කණ්ඩායම තමන් බව පෙරේදා සෙන්චූරියන්හිදී යළිත් වතාවක් තහවුරු කළ ඔස්ටේ‍්‍රලියාව කඩුලු හයකින් නවසීලන්තය පරදවමින් පිට පිට දෙවැනි වතාවටත් චැම්පියන්ස් කුසලානය දිනා ගත්තේය.

පන්දු 129 ක විනයානුකූල ඉනිමක නියැලුණු ඔස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් අලංකාර ලෙසින් පිත්ත හසුරුවමින් පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් මෙවර තරගාවලියේ ඔහුගේ පිට පිට නොදැවුණු ශතකය වාර්තා කෙළේය.

ඔහු අගනා ලකුණු 105 ක් රැස්කළ අතර හතරේ පහර 10 ක් හා දැවැන්ත හයේ පහර 4 ක් ඊට ඇතුළත් විය.

අවසන් පූර්ව වටයේදීද එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 136 ක් ලබාගත් වොට්සන් පෙරේදා අවසාන තරගයේ වීරයා වෙමින් මෙවර චැම්පියන්ස් කුසලාන තරග බිම තමන්ට අමතක නොවන එකක් බවට පත්කර ගත්තේය.

මේ ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමිවිය. අනු සූර නවසීලන්තයට ඩොලර් මිලියනයක් ලැබිණි.

පෙරේදා අවසාන තරගයේදී කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 200 ක් පමණි.

එය ජගත් ක්‍රිකට් කවුන්සලයේ සුපිරි කණ්ඩායම් අටේ මෙවැනි අවසාන තරගයට තියුණු මුහුණුවරක් එක්කිරීමට කොහෙත්ම ප්‍රමාණවත් මුළු ලකුණු සංඛ්‍යාවක් නොවීය.

ඔවුන්ගේ ඉනිම මේ තරමින් හෝ ගොඩනැඟුණේ ලකුණු 61 ක හා 65 ක කඩුලු සබඳතා ද්විත්වයක් ආධාරයෙනි.

ජෙසී රයිඩර්, ඩැරල් ටෆී ගේ ආබාධිත ලැයිස්තුවට පෙරේදා තරග ආරම්භයට පෙර නායක ඩැනියල් වෙටෝරිද එක්වීම හේතුවෙන් නවසීලන්තය තරග වැදුනේ ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයන් තිදෙනෙකු නොමැතිවය.

බ්‍රෙන්ඩන් මැකලම් අවසාන තරගයේදී නවසීලන්තයට නායකත්වය දුන්නද ඔහුගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටුනොකළ බ්‍රෙන්ඩන් ලකුණු නොලබාම දැවී ගියේය.

බ්‍රෙට්ලී හා පීටර් සිඩ්ල් ගේ ප්‍රබල වේගපන්දු අභියෝගය හමුවේ නවසීලන්තයට පළමු හතරේ පහර එල්ල කිරීමට හැකිවූයේ 7 වැනි ඕවරයේදී පමණි.

ඒරන් රෙඩ්මන්ඩ් හා මාටින් ගප්ටිල් ආරක්ෂාකාරී ක්‍රීඩාවක නිරතවෙමින් 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් ලකුණු පුවරුව ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක කරවූහ.

19 වැනි ඕවරයේ රෙඩ්මන්ඩ් (26) දැවී යාමෙන් පසුව පේටිල්ද වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී නොසිටියේය. පන්දු 64 කින් ලකුණු 44 ක් රැස් කළ ගප්ටිල් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා විය.

 ෂේන් වොට්සන්

නීල් බෲම් හා ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සබඳතාවයක් පිහිටුවමින් ඉනිමට යම් ගෞරවයක් ලබාදුන්හ.

දෙදෙනා අතර සිදුවූ හාස්‍යජනක කඩුලු අතර දිවීමක් අවසානයේ බෲම් (37) දැවී ගියේය. ඊළඟ ඕවරයේ ෆ‍්‍රෑන්ක්ලින්ද (33) ඔහු අනුගමනය කරමින් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

නවසීලන්තය ඔවුන්ගේ ‘බැටිං පවර් ප්ලේ’ එක ගත්තේ 39 වැනි ඕවරයේදීය. එම ඕවර 5 ඇතුළත ඔවුන් ලකුණු 40 ක් රැස්කර ගත් අතර ඊට හතරේ පහර 7 ක් ඇතුළත් විය. ඊට පෙර ඕවර 38 දීම ඔවුන් ලබාගෙන සිටි හතරේ පහර ගණන 10 ක් පමණක් විය.

පිටදඟපන්දු යවන නේදන් හෝරිට්ස් ලකුණු 37 කට කඩුලු 3 ක්ද බ්‍රෙට් ලී ලකුණු 45 කට කඩුලු 2 ක්ද ලබාගත්හ.

දෙවැනි ඉනිමේදී නවසීලන්තයද ඔස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රබල වේග පන්දු ප්‍රහාරයක් දියත් කළහ. ෂේන් බොන්ඩ්ගේ පන්දුවකට ‘ස්ලිප්’ කලාපයේ රොස් ටේලර් අතට උඩපන්දුවක් දෙමින් ටිම් පේන් (1) දැවී ගිය අතර කයිල් මිල්ස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් රිකි පොන්ටිං (1) දැවී ගියේය.

ඔස්ට්‍රේලියානු නායකයා මේ තරගයේදී පිතිකරණය අසාර්ථක වූවද ඔහු සමස්ත තරගාවලියේදී ලකුණු 288 ක් රැස්කරගෙන තිබිණි. ඒ වෙනුවෙන් ඔහුට වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාට පිරිනැමෙන ‘රත්තරං පිත්ත’ හිමිවිය.

මීට අමතරව පොන්ටිං තරගාවලියේ වීරයාද විය. පළමු වටයෙන්ම ඉවතට විසිවුණු සත්කාරක දකුණු අප්‍රිකාවට යම් සැනසිල්ලක් ලබාදෙමින් ඔවුන්ගේ පන්දු යවන ක්‍රීඩක චේන් පාතෙල්ට තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයාට හිමි ‘රත්තරං පන්දුව’ පිරිනැමිණි. පාතෙල් සමස්ත තරගාවලියේදී කඩුලු 11 ක් ලබා ගත්තේය.

පේන් හා පොන්ටිං දැවී යාමෙන් පසුව පිටියේ එක්වූ වොට්සන් හා කැමරන් වයිට් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක අගනා සබඳතාවයක් පිහිටවූහ. කෙසේ වෙතත් මේ දෙදෙනාට බොන්ඩ් හා මිල්ස්ගේ වේගපන්දු අභියෝගයට මුහුණදීමට සිදුවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිල්ස් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර වයිට් ඉන් එක් ගොදුරක් විය. පන්දු 102 කින් ලකුණු 62 ක් ලබාගත් වයිට්, මිල්ස්ගේ පන්දුවකින් දැවී ගියේය. මිල්ස් ඔහුගේ අවසන් ඕවරයේදී මයික් හසී (11) දවාලුවේය.

වොට්සන් සමඟ එක්වූ ජේම්ස් හෝප්ස් (නොදැවී 22) ද හතරේ පහර එල්ල කරන්නට වූ අතර මේ නිසා තරගය ඇතුළේ තවත් තරගයක් බිහිවිණි. ඒ වොට්සන්ගේ ශතකය පිළිබඳවය.

ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීමේ ඉලක්කය වූ ලකුණු 201 ක් ලකුණු 93 ක් ලබා සිටි වොට්සන් අතරත් ඇතිවූ එම තරගයෙන්ද වොට්සන් ජයගත්තේ 46 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමිනි. එය මෙවර තරගාවලියට ප්‍රීතියත් ත්‍රාසයත් අලංකාරයත් එක් කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා