සාඩම්බර පියා විජිත විදුහලට යයි

සාඩම්බර පියා විජිත විදුහලට යයි

ජාතිය සතු පොදු වස්තුව දරුවා යැයි කියමනක් තිබේ. රටක අනාගතය රැඳී ඇත්තේ දරු පරපුර මත යැයි තවත් කතාවක් තිබේ. ළමයින්ට හොඳ ම දේ දෙමු යැයි යෝජනාවක් ද නිතර අසන්නට ලැබේ.

පැරණි සෝවියට් දේශයේ හෙවත් රුසියාවේ අධ්‍යාපන විශේෂඥවරියක ‘මගේ හදවත දරුවන්ට දෙමි’ යනුවෙන් පොතක් ලියා තිබේ. ‘Save The Children’ නම් අන්තර්ජාතික ළමා රැකවරණ සේවාව ලොවට බිහි කළ ‘එග්ලන්ටයින් ජෙබ්’ නම් ශ්‍රේෂ්ඨ කාන්තාව දරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩු මඟට ගියා ය. දරුවන් වෙනුවෙන් පෙනී සිටීම ද, ඔවුන් වෙනුවෙන් අනලස්ව කටයුතු කිරීම ද ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු ගේ උතුම් ලක්ෂණයක් බව ඉතා පැහැදිලි ය.

පෙරේදා වූ සංවේදී සිදුවීමක් දැකීම නිසා ඉහත පූර්විකාව ලියැවිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතර දික්වැල්ලේ විජිත මහා විද්‍යාලයයට ගියේ ය. එය කොළඹ ඇති සුපිරි පාසලකට වඩා වෙනස් ය. එහි දරුවන් ද කොළඹ සිසුන්ට වඩා වෙනස් ය. රාජ්‍ය නායකයකු මෙබඳු පාසලකට පැමිණීම ද කලාතුරෙකින් සිදුවන්නෙකි. රුපියල් දස ලක්ෂ දෙසීයක වියදමින් ඉදිකළ නව පාසල් ගොඩනැඟිල්ලක් ජනාධිපතිවරයා විසින් සිසු අයිතියට පත් කරන ලදී. වෙබ් අඩවියක් හා තවත් බොහෝ දෑ පාසලේ භෞතික සම්පත් අතරට එක් විණි. ජනාධිපතිවරයා පාසල් වත්තේ නා පැළයක් සිටුවමින් දරුවන්ට තවත් ආදර්ශයක් ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ගේ දැඩි අවධානය යොමු වන්නේ කොළඹ සුපිරි පාසල් කෙරෙහි ය. මේ රටේ රාජ්‍ය නායකයන් අතරින් වැඩි දෙනා කොළඹ ප්‍රභූ පන්තියෙන් පැවැත එන්නෝ වෙති. ශ්‍රීී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සාමාන්‍ය ජනතාව ඇසුරු කළේ නැත. සෙනඟ අතරට ගියේ ද නැත. ගම දෙස බැලීමේ වුවමනාවක් ඔවුන්ට නො තිබිණි. නිදහස් අධ්‍යාපනය ගැන කුමන පම්පෝරි ගැසූව ද හැම ආණ්ඩුවකින් ම සිදුවූයේ ගම හා නගරය අතර අධ්‍යාපන විභේදනය පුළුල්වීම ය. අප ගේ අවබෝධයට අනුව මහින්ද චින්තන වැඩපිළිවෙළ මගින් එම ක්‍රමය වෙනස් කරන ලදී.

ජනාධිපතිවරයා රාහුල විද්‍යාලයයේ දී කළ කතාව බොහෝ දෙනා ගේ ප්‍රසාදයට ලක් ව තිබේ. එම කතාව ජාතික ගුරු දිනයේ දී සිදු කිරීම තවත් විශේෂයෙකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටියේ ගමේ දරුවන්ට තවදුරටත් දුක් විඳින්නට ඉඩ නො තබන බව ය. දරුවන් ගේ මුහුණුවල ද ගුරු දෙගුරුන් ගේ මුහුණුවල ද සතුටු සිනා ඇඳී යනු දක්නට ලැබිණි.

එතුමා දරුවන්ගෙන් ඉල්ලා සිටියේ හොඳින් උගෙන මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න යන්න ය. එතුමා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ජය – පරාජය භුක්ති විඳිය හැකි දරු පරපුරක් නිර්මාණය කරන ලෙස ය. එතුමා මවුපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් යහපත් කටයුතුවල යෙදවීම සඳහා උනන්දු වන ලෙස ය. හෙවත් අවදියෙන් සිටින ලෙස ය.

බුද්ධිය වර්ධනය කරගැනීමේ දී පමණක් නො ව තරගයට මුහුණ දීමේ දී ද ගමේ දරුවාට යම් අසාධාරණයක් සිදු වූ බව අප පිළිගත යුතු ය. ‘කොළඹට කිරි අපට කැකිරි’ යන සටන් පාඨය බිහිවූයේ මෙරට පැවැති අධ්‍යාපන අසමතුලිතභාවය පදනම් කරගෙන ය. ශ්‍රී ලංකාවේ ඇති වූ දෙවන කැරැල්ලෙහි එක් හේතු සාධකයක් ලෙස ද ගමට නො සැලකීම හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාතේ සුපිරි පාසල් සතු භෞතික හා මානව සම්පත් පිටස්තර ප්‍රදේශවල පාසල්වලට කිසිකලෙක ලැබුණේ් නැත. මේ නිසා ම නිදහස් අධ්‍යාපන සංකල්පයේ නියම ප්‍රතිඵල ලබන්නට ග්‍රාමීය දරු පරපුරට ඉඩ ලැබුණේ නැත.

මහින්ද රාජපක්ෂ මහතා මේ දුෂ්ඨ ක්‍රමය වෙනස් කිරීම සඳහා සටන් කළේ අද – ඊයේ සිට නො වේ. ජනාධිපති පදවිය ලබාගත් දා සිට ද නො වේ. ඔහු මහජන මන්ත්‍රීවරයකු ලෙස පත් වූ දා සිට ම ගම වෙනුවෙන් සටන් කළේ ය.

පා ගමන් ගියේ ය. පෙත්සම් අස්සන් කළේ ය. පාර්ලිමේන්තුවේ දී තර්ක ඉදිරිපත් කළේ ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගමට සලකන ආකාරය මහින්ද චින්තන නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලි ව දක්වා තිබේ. ගමට පමණක් නො ව වතුකරයට ද නිසි අධ්‍යාපන පහසුකම් ලබා දෙන උපාය මාර්ග එහි සඳහන් ය.

මහින්ද රාජපක්ෂ නම් දේශපාලකයා ගේ චරිතය විකාශනය වන්නේ ජාතියේ ම දරුවන්ට ආදරය කරන සැබෑ පියකු ගේ භූමිකාව ඔස්සේ ය. ඔහු යනෙ’න සෑම තැනක දී ම දරුවන් කෙරෙහි විශේෂවධානය යොමු කරයි. දරුවකු දුටු විට ඔහු වෙත ළංවී දුක සැප විමසන ජනාධිපතිවරයා සැම විට ම දරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී. ඇතැම් ව්‍යාජ දේශපාලකයන් ජනාධිපතිවරයා අනුකරණය කිරීමට ගොස් විකට චරිත බවට පත් වූ ආකාරය ද පසුගිය කාලය තුළ දක්නට ලැබිණි.

ග්‍රාමීය දරු පරපුරෙහි ඉංග්‍රීසි අධ්‍යාපනය හා පරිගණක අධ්‍යාපනය නව ගමන් මඟකට ප්‍රවේශ වූයේ ජනාධිපතිවරයා ගේ සම්ප්‍රාප්තියත් සමඟ ය. අද ගැමි දරුවන් ගේ ඉංග්‍රීසි දැනුම හා පරිගණක ඥානය ඉතා ශීඝ්‍රයෙන් ඉහළට ගමන් කරමින් තිබේ. දකුණේ ඈත පිටිසර ගම්මානවලින් ද උතුරේ දුප්පත් ගම්මානවලින් ද දක්ෂතා ඇති දරුවන් බිහිවන්නේ එම හේතුව නිසා ය.

අමතක නො කළ යුතු එක් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව වනා හී ළමා සොල්දාදුවන් ඇති කළ රාජ්‍යයක් බවට ප්‍රකට ව තිබීම ය. කොටි ත්‍රස්තවාදය උතුරේ අධ්‍යාපනය එහෙම පිටින් ම බිමට සමතලා කර තිබිණි. අද වන විට උතුරේ මෙන් ම නැඟෙනහිර ද අධ්‍යාපනය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

රාජ්‍ය නායකයකු සැබෑ නම්; ඔහුට හෝ ඇයට දරුවන් පිළිබඳ හැඟීමක් තිබිය යුතු ය. දරුවන් අහිමි දේශපාලකයන්ට එබඳු හැඟීමක් ඇතිවීමට හේතු සාධක නැත. ජනාධිපතිවරයා වරක් කියා සිටියේ ‘මම රටේ සියලු ම දරුවන්ගේ සාඩම්බර පියා වෙමි’ යනුවෙන් ය. එය බොරුවක් නො ව ඇත්තකි. සැබෑ පියකු ගේ ස්නේහය හා කරුණාව මහින්ද රාජපක්ෂ මහතා ළඟ තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා