දකුණු ඉන්දියාවට දරුණු ගංවතුරක් මියගිය ගණන 280ට නගී

දකුණු ඉන්දියාවට දරුණු ගංවතුරක්
මියගිය ගණන 280ට නගී

ඉකුත් අඟහරුවාදා දකුණු ඉන්දියාවේ හටගත් දරුණු ගංවතුරකින් පුද්ගලයන් 280 ක් පමණ මියගොස් ඇති බව වාර්තාවේ. ගංවතුරට කොටුවී ඇති අය සෙවීම සඳහා හෙළිකොප්ටර් සහ බෝට්ටු යොදවා තිබේ.

කර්නාටක, ආන්ද්‍රා, මහාරාෂ්ඨ යන ප්‍රදේශවලට බලපෑ මෙම ගංවතුර නිසා ලක්‍ෂ 15 කට අධික පිරිසකට තම නිවාස අතහැර සහන කඳවුරුවල ලැඟුම් ගැනීමට සිදුවී තිබේ.

මෙම ප්‍රදේශවල තවමත් රැඳී සිටින අනාථවූවන් ඉවත්කර ගැනීමේ මෙහෙයුම බෝවන රෝග පැතිරීයාම වැළැක්වීමේ අරමුණ ඇතිව නවතා තිබේ. මේ අයට අවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය ඔවුන්ට ලබාදීමේ කටයුතු දැන් අරඹා තිබේ.

සහන සේවා අඛණ්ඩව සිදුකරගෙන යන අතර මෘතශරීර තව තවත් සොයාගැනීමට හැකිවී තිබේ. මේ නිසා කර්නාටක ප්‍රාන්තයේ පමණක් සිදුවු මරණ සංඛ්‍යාව 194 දක්වා වැඩිවී තිබේ.

ගංවතුර බැස යමින් තිබුණත්, පහත් බිම්වල පිහිටා ඇති ගම්මානවලට මංමාවත් ඔස්සේ තවමත් ලඟාවීමට නොහැකි තත්ත්වයක් පවතී. මේ නිසා මෙම ප්‍රදේශවල කොටුවී සිටින ඇතැම් අනාථයන්ට තවමත් අවශ්‍ය ආධාර ලබාදීමට අසීරුවී ඇති බව කර්නාටක ආපදා පාලන ඒජන්සියේ ලේකම් පර්ශ්වනාත් පවසයි.

විදුලිබල සැපයුම බිඳ වැටී ඇති බවටත්, බීමට පිරිසිදු ජලය නොමැති බවටත් ගංවතුරෙන් අනතුරට පත්වූවෝ මැසිවිලි නගති. සහල් එළවළු ආදී අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන්ද ශීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ. ප්‍රදේශය පුරා පිහිටුවා ඇති කඳවුරුවල දැනටත් අවතැන්වූවන් ලක්‍ෂ 8ක් පමණ ලැගුම් ගෙන සිටින බව වාර්තා වේ.

මොවුන් අතුරින් 550,000 පමණ කර්නාටක ප්‍රාන්තයේ වැසියන්ය. මෙම ප්‍රාන්තයේ විපතට පත් සම්පුර්ණ සංඛ්‍යාව දස ලක්‍ෂ 17ක් ඉක්මවන බව ප්‍රධාන අමාත්‍යවරයා කියයි. මේ අය යළි පදිංචිකරවීම සඳහා බිලියන 2 ක මුදලක් ලබාදෙන ලෙස ඔහු මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. ගංවතුර නිසා ආන්ද්‍ර ප්‍රදේශයට සිදුවූ හානිය බිලියන 2.4 ක් පමණ වන බව ඇස්තමේන්තුකර ඇතැයි ආන්ද්‍ර ප්‍රදේශයේ මහ ඇමැති පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා