මේ හඬින් මම කවදාවත් වස් කවි කියලා නැහැ

මේ හඬින් මම කවදාවත් වස් කවි කියලා නැහැ

ප්‍රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාස

ප්‍රදීපා ධර්මදාස නම් වූ හෘද්‍යාංගම ගායිකාවගේ සොඳුරු ගී මගේ අප ඇසූ හැම ගීතයක් ම මනබඳිනා අරුතින් සුපෝෂිත වූවකි. ප්‍රදීපා ඇරැඹුමේ සිටම හුදු රසාස්වාදය උදෙසා ගී ගැයුවේ නැත. ප්‍රදීපාගේ හඬ නිරන්තරයෙන් අවධි වූයේ ආනන්දයන් සමඟ ප්‍රඥාව පෙරදැරි කොටගෙන ය. ප්‍රදීපා ප්‍රේම ගීයක් ගැයූව ද එකී පද සුන්දරය. ඇගේ හඬ අපගේ හදවතෙහි ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කරන්නට තරම් ආදරණීය ය.

ඊටත් වඩා ගයන පද අරුත්බර ය. අර්ථයෙන් තොර ගීතයක් ප්‍රදීපාගේ නිර්මාණ දිවිය තුළ අප කිසිදා අසා නැත. ප්‍රදීපා ධර්මදාස නම් වූ ඒ මේ හෘද්‍යාංගම ළෙංගතු ගී ගයන්නිය ගීතය මෙහෙය වූයේ සමාජයේ යහපත උදෙසා ම පමණි. ඇය ගීත ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂි ගායිකාවක් වන්නේ ද එනිසා ය. එළැඹෙන නුදුරු දිනයක දී කළඑළි දක්වන්නට සූදානම් වන නවතම සංයුක්ත ගී පද එකතුව කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රදීපා සමඟ අපි කතා කළෙමු.

* ඇමැති බිරියක ලෙස පෞද්ගලික ජීවිතය පැත්තෙන් ඔබ කෙතරම් කාර්යබහුල වුණත් නවතම සංයුක්ත පටය එළි දක්වන්නට සූදානම් වන බව අපට දැන ගන්නට ලැබුණා. නවතම ගී එකතුවත් සමඟ ආදරණීය ශ්‍රාවකයන් අතරට ඔබ මේ එන්නේ දීර්ඝකාලයකට පසුව යි. ඒ දිනය කවදාද?

මා ගීත ගායනා කරන්නට පටන් ගත් කාලයේ ඉදලම එක් නිර්මාණ එකතුවක් කරලා තවත් නිර්මාණ එකතුවකට එන්නට සෑහෙන කාලයක් ගන්නවා. ඒ විරාමය ඉතාම දිගුයි. මම අවසන්වරට කැසට් එකක් කළේ 2005 අවුරුද්දේ යි. හරියටම අවුරුදු පහකට පස්සේ තමයි මගේ නවතම සංයුක්ත පටයට මම දැන් සුදානම් වන්නේ. දැනටමත් මෙහි ගීත බොහෝමයක් පටිගත කොට අවසන්. කපිල කුමාර කාලිංග, නාලක අංජන, කරුණාරත්න විජේවර්ධන, විශාරද රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ වැනි ප්‍රවීණ වගේ ම නවක ගී පද රචකයින් සහ සංගීතඥයින් මේ කටයුත්තට දායක වුණා.

මගේ මේ සංයුක්ත තැටියට මම සුපුරුදු විදියට නවක පද රචිකාවියකගේ ගීත ගායනා කරන්නට තෝරා ගත්තා. හැමදාවත් නවක ගී පද රචකයින් සමඟ මම සම්බන්ධ වුණා. ආරම්භයේ සිට ම ඒ පුරුද්ද මගේ තිබුණා. නමුත් නවක පද රචකයකුගේ ගීත හයක් වැනි විශාල ප්‍රමාණයක් එකවර සංයුක්ත පටයකට එක් කර ගත් ප්‍රථම අවස්ථාව මේයයි. ඇත්තට ම මට කියන්න සතුටුයි කේමදාස මාස්ටර් සංගීතවත් කළ ගීතයකුත් මෙහි තිබෙනවා.මේ ගීත එකතුව මේ වසර අවසන් වන්නට පෙර නිකුත් කරනවා.

* ඔබේ හදවතට එතරම් දැනෙන ලෙස ගී ලියූ ඒ නවක පද රචිකාවිය ගැන දැන ගන්නට රසිකයිනුත් කැමැති වේවි?

ඇය නෙළුම් මුදලිගේ. දීර්ඝ කාලයක් තිස්සේ ඈ පදිංචිව ඉන්නේ ලන්ඩන්වලයි. නෙළුම් ගීත කීපයක් ලියලා මට දුන්නා. මම ඇයට පොරොන්දු වුණේ, ඒ අතරින් හොඳම ගීතය ගන්නම් කියලයි. නමුත් ඒ ගීත කියවා බලන විට මට ඇය ගැන ඇත්තට ම පුදුම හිතුණා. මේ වගේ පුංචි කෙල්ලක් අතින් මෙච්චර ලස්සන පද බිහි වුණේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඈ ලියූ හැම ගීතයකින් ම සමාජයට කිසියම් විදියක පණිවුඩයක් ලබාදෙනවා. එනිසා මට නෙළුම් ලියූ ඒ ගීත හයෙන් එකක් තෝරා ගැනීම අසීරු වුණා. මුලින් එක ගීතයක් ගන්න පොරොන්දු වුණාට අන්තිමේ ගීත හයම ගත්තා. මගේ නවතම සංයුක්ත ගී එකතුව නෙළුම්ගේ ගීත හයකින් ම හැඩ වෙන බව කියන්නේ හරිම සතුටකින්.

නෙළුම් ගීත ලිවීම පිළිබඳ හැදෑරීමක් කළ කෙනෙක් නෙමෙයි. නමුත් ඇගේ අදහස් හරිම ලස්සනයි. එංගලන්තය වගේ සුපිරි රටක ජීවත් වන නෙළුම්ගේ ගීතවල මම දකින්නේ අපේකමයි. ඇය සමාජයට යමක් කියන්නට උත්සහ ගන්නවා. වාසනාවකට වගේ ඒ ගීත සියල්ලම විරිතකට අනුව ලියැ වී තිබෙනවා. එවගේ ම සංගීතඥයින්ගේ අතිනුත් හොඳ තනු නිර්මාණය වුණා.

* ඔබ පද රචනය ගැන ඉතාම සැලකිලිමත් වන ගායිකාවක්. එ වගේ ම ඔබ දිගුකලක ඇවෑමෙන් ගී එකතුවක් තිළිණ කරන ගායිකාවක්. නෙළුම් වැනි ආධුනික ගී පද රචිකාවියගේ ගීත මෙතරම් ප්‍රමාණයක් සංයුක්ත පටයට එක් කර ගැනීම අවධානමක් නොවෙද?

මගේ නිර්මාණ ජීවිතය පුරාම මම ආවේ නවකයන් සමඟ අත්වැල් බැඳ ගත් ගමනක්. මගේ පළමු වන කැසට් පටයේ ‘දූවිල්ලෙන් සැඳුණු ලියේ බාලොලියේ බාලලියේ’ ගීතයේ පද රචනය නිලාර් එන්. කාසිම් ගේ. ඒ වෙන කොට නිලාර් කියන නම අහලවත් තිබුණේ නැහැ. රත්මලේ බන්දුල ගුණවර්ධන කියන පද රචකයා ගැන බොහෝ දෙනෙක් දැන ගෙන හිටියේ නැහැ. එවැනි ගීත රචකයන් මම මගේ ප්‍රථම කැසට්පටයට නොබියව එකතු කර ගත්තා. දෙවැනි තුන්වැනි කැසට් පටවලදීත් එහෙමයි. සමහර නවක ගායකයන් යුග ගීත ගායනයට හවුල් කර ගත්තා. නිසා නෙළුම් ගැනත් මට අමුතු බියක් හෝ හැඟීමක් දැනුණේ නැහැ.

ඇත්තටම මම ගීතයක් ගායනා කිරීමේ දී පද රචනය ගැන වඩාත් ම සැලකිලිමත් වන කෙනෙක්. හොඳ සිංදුවක් නොලැබුණොත් අවුරුදු ගණනාවක් හරි මම සිංදු නොකියයි. ‘මම ගීතයක් ගායනා කරන්නට යෑමේ දී බොහෝ දේ ගැන හිතනවා. මේ ගීතයෙන් මගේ සැමියාට හානියක් වේවිද, මගේ දරු පවුලට හානියක් වේවිද, මගේ ගුරුවර මාපියන්ට හානියක් වේවිද, මගේ රටට අයහපතක් වේවිද මේ වගේ සමස්ථ වටපිටාව ගැන ම හිතලා තමයි මම ගීතයක් ගායනා කරන්නට තෝරා ගත්තේ. මේ සියලු කාරණා එක්ක නෙළුම්ගේ ගීත ගැලපුණා.

නෙළුම් කොයිතරම් ගී පිපාසාවෙන් පෙළෙනවා ද කිව්වොත් මම ඇමෙරිකාවේ ජීවත්වන බව දැනගෙන මගේ දුරකතන අංකය හොයාගෙන මට කතා කරලා මාව හොයාගෙන ආවා. මට දැනෙනවා ඇයට ඉතාම හොඳ අනාගතයක් තිබෙන බව.

ප්‍රදීපා සැමියා ඩලස් සමග

ඇගේ ගීතවල වචන හරි සරලයි. හැබැයි ගැඹුරු අර්ථයක් ගැබ් වී තිබෙනවා. නෙළුම් මම දකින්නේ ඇත්තට ම ස්වභාව ධර්මයාට බෙහෙවින් ම ආදරය කරන කෙනෙක් හැටියටයි. ඒ බව ඕනෑවටත් වඩා ඇගේ ගීත තුළින් ඉස්මතු වෙනවා. විශේෂයෙන් ඈ ලියූ ‘පෘථිවිය’ වගේ ගීතයක් ගත්තොත් ඇගේ සිතිවිලි හරිම වෙනස්. බොහෝ දෙනෙක් ‘හඳ’ දකින්නේ ලස්සනට. නමුත් නෙළුම්ට හඳට වඩා ලස්සනට පෙනෙන්නේ ‘පෘථිවියය’යි. ඇය පෘථිවිය සමාන කරන්නේ කඩවසම් තරුණයකුට.

මේ ගීතය සංගීතවත් කළේ කේමදාස මාස්ටයි. ඒක මට විශාල සතුටක්. ඈ ලියූ බොහෝ ගීතවල ඒ සෞන්දර්ය මනාව ගැබ් වී තිබුණා. මේ පුංචි පද රචිකාවිය අතින් ලියැ වී තිබුණු ඉතාම ලස්සන ගීතයක් ‘මව් උකුලෙන්’. ඒ ගීතය අහද්දී මට හිතුණේ ආචාර්යය මහාචාර්යවරයෙකුට වඩා හරිම අපූරුවට මවක විසින් තම දරුවාට සාරධර්ම පහදා දෙන ආකාරය නෙළුම් වචන බවට පෙරලා තිබූ හැටියි. ඒ වචන මට දැනුත් මතක් වෙනවා. ‘පුතුට මගේ දෙන්නට දායාද නැහැ අතේ – ඊට වඩා මේ යහගුණ අගෙයි මගේ පුතේ’

ඇත්තට ම අම්මා කෙනෙකුට මීට වඩා දෙයක් දරුවෙකුට දෙන්න තියෙනවාද? මේ ගීතය මට ගායනා කරන්න ලැබීමත් වාසනාවක්. සැන්දෑවට ඇවිදින්, පියාසලන රන්මලී මේ හැම ගීතයක් ම එක වගේ්ම ලස්සනයි. ඇගේ ගීත තුළින් මම දකින විශේෂත්වය වන්නේ නවකයකුගෙන් දක්නට නොලැබෙන අමුතු ප්‍රාතිහාර්යක් මේ ගීත තුළ ගැබ් වී තිබෙන බවයි. නෙළුම්ට මේ ගීත ලිවීමේ වරම උත්පත්තියෙන් ම හිමි වූ වාසනාවක් ද කියලා මට හිතෙනවා. මොකද සමහර ගායක ගායිකාවන් කිසිම දවසක සංගීතය ඉගෙනගෙන නැහැ.

නමුත් හොඳ හඬක් තියෙනවා. මමත් එහෙම කෙනෙක්. මම කිසිම දවසක සංගීතය විෂයයක් විදියට ඉගෙන ගෙන නැහැ. නමුත් මොකක්දෝ උත්පත්ති වාසනාවකට හඬක් තියෙනවා. ඒ වගේ තමයි නෙළුම් කියන චරිතයත්. නෙළුම් පද රචනය පිළිබඳ හදාරා නැතත් මොකක්දෝ පෙර වාසනාවක් නිසා ලස්සනට ගී පද නිර්මාණය කිරිමේ පිං මහිමය තියෙනවා. ඉදිරියේදීත් නිරන්තරයෙන් ඇයත් සමඟ මම ගී පද ගැන කතා කරාවි. මේ වන විට ඇය ඉරාජ්, සන්තුෂ්, භාතිය, දයාන් විතාරන වැනි ගායකයන්ට ගී පද ලියා තිබෙනවා.

* ඔබේ සැමියා ඩලස් අලහප්පෙරුම, දේශපාලනමය වශයෙන් අතිශය කාර්යබහුල වීම ඔබගේ සෞන්දර්යය චාරිකාව මන්දගාමී කරන්නට ප්‍රධාන සාධකයක් වූවා යැයි කිව්වොත්?

ඩලස් සමඟ විවාහ වී දේශපාලනයට සම්බන්ධ වුණාට පස්සේ මගේ නිර්මාණ ජීවිතය නැවතිලා කියලා බොහෝ දෙනෙක් මට චෝදනා කරනවා. නමුත් ඇත්තට ම එහෙම එකක් වුණේ නැහැ. ළමයි දෙන්නගේ කටයුතු එක්ක මගේ කලා කටයුතු මඟ හැරෙනවා. ඒ හැරුණම ඩලස්ගෙන් මගේ කලා කටයුතුවලට ඇත්තේ අප්‍රමාණ උනන්දුවක් සහ කැමැත්තක්. හැබැයි ඒක පෙනුමට නැහැ.

* ඔබේ කලා ජීවිතයට සැමියාගෙන් උදව් ලැබෙනවා වගේ ම සැමියාගේ දේශපාලන කටයුතුවලට ඔබත් උදව් කරනවාද?

කියන්න කනගාටුයි; කිසිම සහයෝගයක් නැහැ. මම කවදත් ඩලස්ගේ පෞද්ගලික ලේකම්වරිය වෙලා හිටයේ නැහැ. නමුත් එයාගේ අමාත්‍යාංශවල සේවා වනිතා ඒකකයේ කටයුතුවලට සම්බන්ධ වෙලා සහය දක්වනවා. කොහොමටත් දේශපාලන මාතෘකාව මට දුරස්ථයි වගේ.

* ඒ වුණාට පහුගිය සමයේ මැතිවරණ වේදිකාවල දී කලාකරුවන් සමඟ ඔබත් සහභාගි වුණා නේද?

කලා ශිල්පීන් හැටියට මම විතරක් නොවේ, මේ රටේ සමස්ථ කලාකරුවන් බහුතරයක් පසුගිය ජනපතිවරණයේ දී වේදිකාවට නැග්ගා. අපට එවැනි තීරණයකට එන්න සිද්ධ වුණේ් එවකට පැවැති දේශපාලන වාතාවරණය නිසයි. ඒ තීරණාත්මක මොහොතේ කලාකරුවන් බහුතරයක් ජනපති වටා ඒකරාශි වුණා. ජනාධිපතිවරණය ඉවර වෙලා නිදහසේ හුස්ම ගත්තත් කලින් මහ මැතිවරණය ආවා. දැන් මේ සියල්ල අවසන්. දැන් ඉතිං දේශපාලන කලබලය අවසානයි. මට හිතෙන්නේ හෙට එච්චර කලුවර නැහැ කියලයි.

* බහුතරයක් පෞද්ගලික රූපවාහිනි නාලිකා සහ ගුවන්විදුලි නාලිකාවලින් දැන් දැන් ඇහෙන ගීත ගැන සතුටු වෙන්න පුළුවන් ද?

අපි ගීත ගායනා කරන කාලේ ගායකයා, පද රචකයා, සංගීතඥයා යන ත්‍රිපුද්ගල සුසංයෝගය ගැන හිතුවා. නමුත් අද ඉන්න අලුත් පරපුර හොඳ ගී පද රචනය ගැන සැලකිලිමත් වෙනව ද කියලා හිතන්න අමාරුයි. මට ඒ අයගේ ගීත ගැන දැනෙන්නේ ‘විෂුවල්’ විතරයි. අද සිටින පරපුර ගීතයේ පදවලට වඩා හිතන්නේ රූප රාමු (Visual)  ගැනයි. මොනවා හරි වචන ටිකක් සංගීතයකට දමලා ‘විෂුවල්’ එකක් කරනවා. ඕක තමයි සිංදුව කියලා නව පරපුර හිතන්නේ.

නමුත් අදටත් හොඳ සිංදුවක් කළොත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හොඳ දෙයක් දෙන්නේ නැතිකමයි. හොඳ දෙයක් කළොත් අහන්න පිරිස ඉන්නවා. මම නම් හැමදාමත් කළේ, ටිකක් කල් අරගෙන හොඳ දෙයක් සමාජයට ලබා දීමයි. මේ හඬින් මම කවදාවත් ම සමාජයට අයහපතක් කරලා නැහැ. මගේ හඬින් කවදාවත් වස්කවි කියලා නැහැ. කිව්වේ හැමදාමත් සෙත්කවි විතරයි. මැරෙන තුරාවටත් මම එහෙමයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා