ජවිපෙ එල්ලෙන දේශපාලන පිදුරු ගස

ජවිපෙ එල්ලෙන දේශපාලන පිදුරු ගස

ශ්‍රී ලාංකීය දේශපාලන භූමිය තුළ ඉතා වැදගත් වන්නාවූ තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පසුගියදා නිමාවට පත් විය. එය හුදෙක් මහ මැතිවරණයකට වඩා එහාට ගිය ඓතිහාසික වැදගත්කම් ගණනාවකින් යුක්ත වූ මහ මැතිවරණයකි. දශක තුනක කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ ලාංකීය මහජනයා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතා නිදහසේ තම සර්වජන ඡන්ද බලය භාවිතා කරමින් තම මහජන නියෝජිතයෝ රටේ උත්තරීතර සභාවට තෝරා එවන්නට කටයුතු කළහ.

වෙනදා මෙන් නොව මෙවර පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා එවීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව තීරණ ගෙන ඇති බව අපට එසේ තේරී පත්ව ඇති නියෝජිතයන් දෙස බලන විට ඉතා හොඳින් පෙනේ. වෙන කවරදාකටත් වඩා බහු ආගමික, බහු ජාතික, බහුපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් රටට ලබා දීමට රටේ ජනතාව තීරණය කර තිබීම රටේ සුබ අනාගතයට ඉතා හොඳ පෙර නිමිත්තකි.මීට පෙර පැවතියා වූ ජනාධිපතිවරණයද ඉතා තීරණාත්මක එකක් වූ අතර එහිදී දෙස් විදෙස් සියලු කුමන්ත්‍රණකරුවන් තීරණාත්මක ලෙස පරාජය කරන්නට රටේ මහජනයා සමත් වූහ.

ජවිපෙ දේශපාලන දිශානතිය

මේ රටේ පසුගිය කාලයන් තුළදී විවිධාකාරයේ දේශපාලන විපරියාස ගණනාවක් සිදු වූ බව කවුරුත් දන්නා පොදු සත්‍යයකි. ඒ අතර ජනරාල් සරත් ෆොන්සේකා සාධකය හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දිශානතිය කා අතරත් කතාබහට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණ 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට අන් කවරදාටත් වඩා විශාල පාර්ලිමේන්තු ආසන ගණනක් ලබා ගත්තේය.

එදා ජ. වි. පෙ. ට ඡන්දය දුන් බහුතරය බලාපොරොත්තු වූයේ තමන් ජ. වි. පෙ. ට ලබා දුන් ජනවරමින් ඔවුන් රටට වැඩක් කරනු ඇත යන්නයි. නමුත් ජනතාවගේ අපේක්‍ෂාව ජවිපෙ නායකයන් විසින් තිඹිරිගෙයිදීම ගෙල මිරිකා මරා දැමුවේය. පක්‍ෂ කිහිපයක් එකට එකතු වී ගොඩනඟන ලද සන්ධානයක් තුළ එක් පක්‍ෂයකට අභිමත දේ පමණක් කළ නොහැකි බව උකුණු තල්ලක මොළයක් ඇති ඕනෑම කෙනකු සරලව අවබෝධ කරගන්නා සත්‍යයකි. ජ. වි. පෙ. නායකයින් මේ සරල ඇත්ත තේරුම් ගැනීමට සමත් වූයේ නැත.

අවසන් ගමන

ඔවුන් තමන්ට ජනතාව විසින් විශ්වාසයෙන් ලබා දුන් කැමැත්තට පයින් ගසා විපක්‍ෂයේ අසුන් ගත්තේය. එදා සිට රටටත්, රජයටත් විරුද්ධ මත දරන්නන් හා එකතු වී රජය පෙරළා දමන්නට නොයෙක් උත්සහයන් ගත්තද ඒවා සාර්ථක වූයේ නැත. ඒ අතර ප්‍රධාන අවස්ථා කිහිපයක් ලෙස ප්‍රවාහන වර්ජනයක් සිදුකිරීමට උත්සාහ දැරීම හා අසාර්ථක ලෙස ඒවා දියත් කොට තමන්ගේ නොහැකියාව පෙන්වීම, අයවැය යෝජනා ඡන්ද විමසීමේදී රජය අපහසුතාවට පත් කොට දේශපාලන වශයෙන් තම බංකොළොත්භාවය පෙන්වීම ප්‍රධාන වේ.

මෙකී සියලු ක්‍රියාවන් හේතුවෙන් රටේ බහුතර මහජනයා ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් ඈත්වන්නට වූහ. ඉන්පසුව පවත්වන ලද සෑම මැතිවරණයකම ප්‍රතිඵල නිරීක්‍ෂණය කොට බැලීමේදී ඒ බව ඉතා හොඳින් ගම්‍ය වේ. ජනතා විමුක්ති පෙරමුණ ජාතික මතවාදයේ සිට කෙමෙන් කෙමෙන් අති දක්‍ෂිණාංශික ලිබරල්වාදය දක්වා විතැන් වූයේ රටත්, ජාතියත් විජාතික කුමන්ත්‍රණකරුවන්ට පාවා දෙමිනි. එය රටේ ජනයා ඉතා හොඳින් තේරුම් ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන අවසාන කරන්නට තීරණය කළේය.

මා මීට පෙරද මගේ ලිපියකින් පෙන්වා දුන්නේ මීළඟ මැතිවරණයේදී (පසුගිය මැතිවරණය) ජනතාව විසින් ජනතා විමුක්ති පෙරමුණේ අවසාන ගමන තීන්දු කරනු ඇති බවයි. ඒ ආකාරයෙන්ම රටේ බහුතර ජනතාව විසින් ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදී දේශපාලන ගමන අවසාන කොට ඇත. පසුගිය මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ලැබුණු මන්ත්‍රී ආසන සුළු ගණන ජ. වි. පෙ. සඳහා ලැබුණු ඒවා ලෙස ඔවුන් කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ දේශපාලන බංකොළොත් බවට හොඳ සාධකයකි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් වෙනදා නම් මැතිවරණයක් ආසන්න වන විට ජාතිකත්වය ගැන කතා කරයි. කම්කරු අයිතීන් ගැන කතා කරයි. වැටුප් වැඩිවීම ගැන, රටේ සම්පත් විකිණීම ගැන, පෞද්ගලීකරණය ගැන මේ ආදී විවිධ දේ ගැන වේදිකා දෙවනත් වෙන්න කෑ කෝ ගසති. නමුත් මෙවර ජනතා විමුක්ති පෙරමුණට එකී සටන් පාඨ සියල්ල අහිමිව ගොස් තිබුණි. මක්නිසාදයත් ජවිපෙ කතාවට සීමා වී තිබූ එකි සටන් පාඨ, අතිගරු ජනාධිපතිතුමන් ප්‍රායෝගිකව ක්‍රියාවට නඟා තිබූ හෙයිනි. මෙවර ජනතා විමුක්ති පෙරමුණේ එකම සටන් පාඨය බවට පත්ව තිබුණේ් හිටපු ජනරාල් සරත් ෆොන්සේකාය.

මුළු මැතිවරණ ව්‍යාපාරය පුරාම ජවිපෙ විසින් ජනරාල්වරයා හා ඔහුගේ දුක විකුණුවේය. ලංකාව වැනි රටක ජීවත්වන සංවේදී මිනිසුන් දුක හිතෙන කතාවලට හඬා වැටෙන හදවත් ඇත්තන් බව ජවිපෙ හොඳින් දනී. සෝමවංශ මහතා රටින් පැන ගොස් ලංකාවට පැමිණ ස්වාධීන රූපවාහිනිය හරහා කඳුළු වගුරවමින් හඬන්නේ ද රට ගිනි තැබීම විශාල වරදක් බව තම හදවත දන්නා බැවිනි. ඒ සඳහා රටේ ජනතාවගේ අනුකම්පාව ලබාගැනීම උදෙසාය. නමුත් කූඩැල්ලා මෙට්ටයේ තැබිය නොහැකි සේම ඔවුන්ටද රාජ්‍ය පාලනයට හවුල් වී ජනතාවට වැඩක් කළ නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් පවතින්නට නම් ගැටුමක් අත්‍යාවශ්‍යය. ඔවුන්ට වැඩබිමේ, වීදියේ හෝ විශ්වවිද්‍යාලයේ ගැටුම් නිර්මාණය කරන්නැතිව පැවැත්මක් නැත.

ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මැතිවරණවලදී වේදිකාව මතට රටේ සිටින බුද්ධිමතුන්, කලාකරුවන් ගෙනවිත් රටේ ජනයා දැනුවත් කිරීමට පියවර ගනී. නමුත් මෙවර මුළු මැතිවරණ ව්‍යාපාරය පුරාම වෛරයත්, ක්‍රෝධයත් වැපිරූහ. මීට අමතරව අනෝමා ෆොන්සේකා මහත්මිය වේදිකාවට ගෙන්වා ඇගේ කඳුළු කැට සරුවට විකුණුයේය. මැතිවරණය ආසන්න දිනයන්හිදී අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කළේ ජනරාල්ට හුස්ම ගන්නට බැරි බවකි. කතා කරගන්නවත් ඔහුට බැරි බව ප්‍රකාශ කළාය. නමුත් මැතිවරණයත් සමඟම මේ කතා නැවතිණි. දැන් රූපවාහිනියෙන් අපට එවැනි දර්ශන දකින්නට නැතිවීම විසින් කියාපාන්නේ කුමක්ද? දේශපාලන අවස්ථාවාදයයි. වෙන කිසිවක් නොවේ.

දේශපාලන පිදුරු ගස

පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රාමීය ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම දෙදරා ගොස් තිබුණි. හම්බන්තොටින් ඔවුන්ට කිසිදු මන්ත්‍රී ආසනයක් දිනාගන්නට හැකි වූයේ නැත. අනුරාධපුරයෙන් පොලොන්නරුවෙන් ද කිසිදු මන්ත්‍රී ආසනයක් දිනාගන්නට සරත් ෆොන්සේකා ප්‍රමුඛ ජවිපෙට හැකියාවක් ලැබී නැත. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර කම්කරු නායකයා ද, පොළොන්නරුවේ ගොවි නායකයා ද, මාතර ධීවර නායකයා ද යන තුන්දෙනාම ජනතාව විසින් පරාජය කොට තිබේ. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍යයන් බාර මන්ත්‍රීතුමා ද පරාජය කරන්නට ජනතාව කටයුතු කොට තිබීම දෛවෝපගත සිදුවීමකි.

1971 දී සහ 1988/89 කාලයේදී අහිංසක තරුණ තරුණියන්ට ජනතා විමුක්ති පෙරමුණ ධනපති ආණ්ඩු විසින් සමාජ සාධාරණත්වයක් ඇතිනොකරන නිසා ජනතා විමුක්ති පෙරමුණ වැනි මාක්ස්වාදී පක්‍ෂයක් බලයට ගෙන එන ලෙස පන්ති පවත්වමින් කියා සිටියේය. ඒ අහිංසකයෝ ඒ සඳහා දිවි හිමියෙන් කැප වූහ. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් එකී තරුණ පරපුරම සමූල ඝාතනය කළේය. එදා හමුදා කඳවුරේ සිට ගෙදර එන ගමේ හමුදා නිලධාරියා ගමේ කෝපි කඩේ ළඟදී හිසට වෙඩි තබා මරා දැමුවේය. එදා හමුදා නිලධාරියා ජවිපෙ නායකයන් දුටුවේ ධනපති ආණ්ඩුවේ මිලිටරි ජුන්ටාව ලෙසය. අද ඔවුන් හමුදා නායකයෙකුගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ගොස් ඇත.

වැරදුණු කරණම

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් සමග එක පෙරමුණක සිටි එක්සත් ජාතික පක්‍ෂයේ නායකයාට දැන් දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හට උපහාසාත්මක බැන වැදීම් කරති. විපක්‍ෂයේ නායකයා ලෙස ජනරාල් පත් කළ යුතු බවට ගෝරනාඩු කරති. මෙය හාස්‍යයට කාරණයකි. මක්නිසාදයත් විපක්‍ෂයේ බහුතරය සිටින පක්‍ෂයේ නායකයාට විපක්‍ෂනායකකම දිය නොහැකි බව පවසමින් මන්ත්‍රීන් අතේ ඇඟිලි ගණනටවත් නැති පක්‍ෂයක් විපක්‍ෂ නායකකම ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි විමසිය යුතුය.

කෙසේ නමුදු ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර පාර්ලිමේන්තුවේ සිටි වාමාංශික අදහස් දැරූ මන්ත්‍රීන්ට කියා සිටියේ ඔවුන් සාම්ප්‍රදායික වාමාංශික නියෝජිතයන් බවයි. ජවිපෙ විසින් ඔවුන් හඳුන්වා ගත්තේ රැඩිකල් වාමාංශිකයන් ලෙසටයි. දැන් රටේ ජනතාවට ප්‍රශ්නයක් ඇත. එනම් දැන් ජවිපෙ කවුරුන්ද යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ නම් ලාංකීය භූමිය තුළ දේශපාලන කරණම් ගැසූ ව්‍යාපාරය මින් මතුවට මතවාදීව හෝ ක්‍රියාකාරීව අපට ශශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුව තුළ දක්නට නොලැබෙනු ඇත. ඒ වෙනුවට බටහිර අධිරාජ්‍යවාදයේ බළල් අතක් වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නැමැති පුද්ගල ප්‍රතිරූප කිහිපයක් අපට දකින්නට ලැබෙනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ජාතිකත්වයෙන් හා දේශීයත්වයෙන් සිය කැමැත්තෙන් ඉවත්ව සිය බිම් මට්ටමේ සාමාජිකයා මංමුලා කොට සිය දේශපාලන කවන්දය සොහොන්ගත කොට ඒ මත ෆොන්සේකා නම් ප්‍රතිමාව ගොඩනඟා ඇත. මේ බොල් ප්‍රතිමාව ගල් ප්‍රතිමාවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ නොදැන සිටියාට රටේ බහුතර ජනයා ඉතා හොඳින් දනී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා