ප්‍රභාකරන් නැති අන්තර් මෝසම

 ප්‍රභාකරන් නැති අන්තර් මෝසම

හරියටම මීට වසරකට පෙර අද වැනි දිනෙක ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ සතුට පිටාර ගලන්නට විය. බොහෝ දෙනා රූප - පෙට්ටිය ළඟින් නො සෙල්වී සිදු වූ විස්මය දෙස බලා උන්හ.

2009 මැයි 19දා ශශ්‍රී ලංකාවේ විෂබීජය මරා දැමිණි. ප්‍රභාකරන් නමැති තිරිසන් ත්‍රස්තවාදියාගේ සිරුර නන්දිකඩාල් කළපුවෙන් ගොඩට ගෙන පැහැදිලි වැලි තීරුවක් මත තැබිණි. දසක තුනක් පුරාවට පැවැති භීෂණය එතෙකින් නිමාවට පත් විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය මාතෘ භූමිය සිපගෙන නිදහසේ අභිමානය සංකේතවත් කළේ ය.

ඒ ගිය වසරේ තත්ත්වය යි. එහෙත් මේ වසරේ මැයි වන විට බොහෝ දෙනකුට අතීතය අමතක වී තිබිණි. ඇතැමකුට ත්‍රස්තවාදයක් තිබූ බවක් හෝ ප්‍රභාකරන් කෙනකු සිටි බවක් හෝ මතක නැති ගණනය.

එහෙත් යුද්ධයට මුහුණ දුන් අයට ත්‍රස්තවාදය හෝ ප්‍රභාකරන් හෝ අමතක කළ හැකි ද? හරියට ම අන්තර් මෝසම කඩා වැටෙන විට රණවිරුවෝ අවසන් සටනෙහි පැටලී උන්හ. ඔව්හු සති ගණන් කළපුවල බැසගෙන උන්හ. සපත්තු නොගැලවූහ. ඔවුන්ගේ පා - ඇඟිලි කුණු වී ඕජස් ගලා ගියේ ය. එහෙත් සොල්දාදුවන් සටන අත්හළේ නැත.

රණවිරුවන්ගේ කැපවීම සිහිපත් කරන්නට මෙන් මෙවර ද මහ වැසි ඇද හැළෙන්නට පටන් ගෙන තිබේ. වැස්ස නො කඩවා පැතිර යයි. බස්නාහිර, සබරගමුව හා දකුණ යන පළාත්වලට ධාරානිපාත වැසි ඇද වැටේ.

දැන් එය මධ්‍යම පළාත වෙත ද පැතිර ගොස් ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයකට අනුව ඉදිරි දින කිහිපය තුළ ද වැස්ස අල්ලා හිටිනු ඇත. වැසි වතුර ගලා යමින් පාරවල් හා ගෙවල් යටවන්නට පටන් ගෙන තිබේ. ඒ අතර ගංවතුර අවදානමක් ද පවතී. කැලණි ගඟ, ගිං ගඟ, කළු ගඟ පිටාර ගැලීමට ආසන්න තත්ත්වයේ පවතින බව දැනගන්නට ලැබේ.

ස්වභාව ධර්මයේ නියමයට අනුව ගිය වසරේ මේ කාලය තුළ සතුට – නිදහස හා අභිමානය අප වෙත පැමිණ තිබූ අතර මේ වසරේ එම කාලය තුළ අසතුට හා අවදානම පැතිර යන්නට පටන් ගෙන තිබේ.

වැස්ස නිසා ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසකට අහිතකර බලපෑම් උදා වී ඇතැයි කියැවේ. ගම්පහ හා කොළඹ සැලකිය යුතු නිවාස ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇත. කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුරය යන නගරවල ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබිණි.

කොටුව - පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ කෝච්චි ධාවනය මුළුමනින් ම පාහේ අඩාල විය. බස් ගමනාගමනය ද ඇන හිටිණි. කාර්යාලවල රාජකාරි හරි හැටි සිදුවූයේ නැත. වෙළෙඳ හා ආර්ථික කටයුතු අඩාල විය. රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇත.

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ජලයෙන් යටවන්නට පටන් ගත්තේ වසර ගණනාවකට පෙර සිට ය. මීට බලපෑ එක් හේතුවක් වූයේ වගුරු බිම් ගොඩකිරීම ය. වගුරුබිම් නිසා ජලය බැස යෑමේ තුලනයක් ඇති වී තිබිණි.

එහෙත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු ඉවක් – බවක් නැතිව වගුරුබිම් ගොඩ කළහ. එහි පෙරමුණ ගත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ය. ඔහු පරිසරවේදීන්ට කන් දුන්නේ නැත. ඉංජිනේරුවන්ට නම්‍යශීලී වූයේ නැත. ප්‍රේමදාස මහතා හිතුවක්කාර ලෙස ඉඩම් ගොඩ කළේ ය. තම හිතවතුනට ඒ ඉඩම් මත නිවාස තනා දුන්නේ ය. අද ඒ සියලු නිවාස ජලයෙන් යටවෙයි.

කොළඹ නගර සභාව බොහෝ කාලයක සිට ම හිමි වූයේ අලියාට ය. හෙවත් එක්සත් ජාතික පක්‍ෂයේ හොඳ ම කෙරුමන්ට ය. ඔවුන් ඡන්දය හෙවත් කතිරය ගැන කල්පනා කළා මිස කොළඹ නගරය ගැන කල්පනා කළ බවක් පෙනෙන්නට නැත.

නගරයට නිසි කාණු පද්ධතියක් නැත. මංමාවත් නිසි ලෙස නඩත්තු වන්නේ් නැත. එක් පසෙකින් කුණු කඳු අහස උසට නැඟෙමින් පවතී. දීර්ඝ කාලයක් කොළඹ නගර සභාවේ බලය හිමිකර ගත් එක්සත් ජාතික පක්‍ෂය මේ ව්‍යසනයට හැම අතකින් ම වගකිව යුතුය.

මේ දිනවල කොළඹට එන විදේශීය සංචාරකයා යළි කිසි දිනෙක ශශ්‍රී ලංකාවට නො පැමිණෙනු ඇත. ඔහුට දකින්නට ලැබෙනුයේ නගරයක් නො ව මඩ වළෙකි. මේ තත්ත්වය වහා වෙනස් කළ යුතුව තිබේ.

කොළඹ බොහොමයක් වීථිවල පදික වේදිකාවේ ගමන් කළ නො හැකි තරමට කූඩාරම් ඉදිකර තිබිණි. ඒවායෙහි සිදුවූයේ වෙළෙඳාමක් නො ව ගසා කෑමෙකි. ඇතැම් විට නීති - විරෝධී ජාවාරම් ද සිදුවනු දක්නට ලැබිණි.

මේ කිසිවක් නිවැරැදි කිරීමේ වුවමනාවක් එදා පාලකයන්ට නො තිබිණි. ඒ නිසාම ප්‍රශ්නය බරපතළ විය. ගැටුමකට මුහුණ දෙමින් අනවසර කඩ ඉවත් කරන්නට ද ඔවුන් සඳහා විධිමත් කඩ කාමර ඉදිකරන්නට ද ආණ්ඩුවට සිදු වී තිබේ.

කුමන තත්ත්වයක් යටතේ වුව වර්ෂාව තර්ජනයක් නො විය යුතු ය. එය ආශිර්වාදයක් කර ගැනීමේ උපාය මාර්ග සමාජය විසින් නිර්මාණය කළ යුතු ව තිබේ. හැම ගංවතුරකට ම කැලණි පාලම මතට එන මිනිසුන් ගැන කතා අපි අසා ඇත්තෙමු. දෑසින් දැක ඇත්තෙමු. මින් ඉදිරියට එවැන්නක් සිදු නො විය යුතුය යන්න අපගේ වැටහීම ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා