ඉන්දියාවේ පොලිස් භටයන් රැගත් බස් රියකට මාඕවාදී ප්‍රහාරයක්

ඉන්දියාවේ පොලිස් භටයන් රැගත් බස් රියකට මාඕවාදී ප්‍රහාරයක්

මධ්‍යම ඉන්දියාවේ චටින්ගා ප්‍රාන්තයේ ගමන්ගත් පොලිස් භටයන් රැගත් බස් රථයක් මාවෝවාදී ප්‍රහාරයකට ලක්විය.

ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ දී මාඕවාදී කැරලිකරුවන්ගේ බිම්බෝම්බයට ගොදුරු වූ බස්රිය හා එහි ගමන්ගත් පොලිස් නිලධාරින්ගේ හා වැසියන්ගේ මළ සිරුරු විසිරී ඇති අයුරු. මෙම ප්‍රහාරයෙන් 35 දෙනෙක් ඝාතනය වූහ.

එම ප්‍රහාරයෙන් 35 දෙනෙක් පමණ මියගිය බව වාර්තාවේ. මේ අතර පොලිස් භටයන් 11 දෙනෙක්ද වේ. තුවාල ලැබූ සංඛ්‍යාව 15 කි.

මෙම පොලිස් භටයන් මාඕවාදීන්ට එරෙහිව සටන් වැදීමට විශේෂ පුහුණුවක් ලැබූ අයයි.

මාඕවාදීන්ට එරෙහිව රජය විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව මාඕ වාදීහු පවසති. ගැටුම් වඩාත්ම උත්සන්න වී ඇත්තේ “රතු කොරිඩෝව“ යනුවෙන් සැලකෙන ප්‍රදේශයේයි.

ගෝත්‍රිකයන්ගේ අයිතිවාසිකම් රැකගනීමේ අරමුණ ඇතිව බටහිර බෙංගාලයේදී 1967 දී මාඕවාදී ත්‍රස්තවාදය බිහි විය.

ඉන්දියාවට මුහුණදීමට ඇති ප්‍රබලම අභ්‍යන්තරික ආරක්ෂක තර්ජනය ත්‍රස්තවාදය බව අගමැති මන්මෝහන් සිං පවසා තිබේ. ත්‍රස්තවාදයේ මූල බීජය සොයා පිළියම් යෙදිය යුතු බව ස්වදේශ කටයුතු ඇමැති චිත්තම්බරම් පවසා ඇත.

ඒ අනුව මාඕවාදීන් සමග සාකච්ඡා පැවැත්වීමට ඔහු අදහස් කරයි.

ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමසේ බෙදී නොයාමත්, පළාත් පාලන ආයතනවල ඉහවහා ගිය දූෂණ නිසා අප්‍රසාදයට පත්වී සිටින සාමාන්‍ය ගැමියන්ගෙන් මාඕවාදීන්ට සහාය ලැබෙන බව ආරක්ෂක බලධාරීහු පවසති.

ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා බලය යෙදවීමට ඉන්දීය රජය මෙතෙක් ක්‍රියාකර නැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා