සිංහ කොඩිය යට නිදහස විඳීනවා!

සිංහ කොඩිය යට නිදහස විඳීනවා!

මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා

උතුර මානුෂීය මෙහෙයුමේ දී 58 වැනි බළ සේනාංකය මෙහෙයවා එම මෙහෙයුමේ වැඩිම දුරක් කෙටි කාලයකින් ජයගත් සුවිශේෂි වූ ජයග්‍රහණයන් රැසක් ලබාදීමට කැප වූ මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සමඟ කළ සාකච්ඡාවකි මේ.

රට ත්‍රස්තවාදයෙන් මුදා ගෙන වසරක් ගෙවෙනවා. මේ විජයග්‍රහණය ගැන අද ඔබට හිතෙන්නේ මොනවද?

මුලින් ම මම කියන්න ඕනෑ මම අද මගේ ජීවිතයේ කිසි දිනෙක නොවිඳපු ආඩම්බරකාර හැඟීමකින් සතුටක් ලබන බව. යුද්ධය ඉවර කළ දිනයේ දැනුනෙ නැති පුදුමාකාර හැඟීම් ගොඩක් මගේ හිතේ තිබෙනවා.

අද මගේ කාර්යාලයේ සිට හිස හරවලා ජනේලයෙන් එළිය බලනකොට මට පෙනෙන්නේ ගාලු මුවදොර දෙසින් හමන නිදහස් සුළගෙන් ළෙලදෙන දැවැන්ත සිංහ කොඩිය. මේ දෙස බලා ඉන්න එකතරම් සතුටක් මට තවත් නැහැ.

මේ හැඟීම ලබන්න මම කොයිතරම් වාසනාවන්ත ද කියා මට දැන් හිතෙනවා. මගේ ජිවිතය මා විසින් ම සැබෑ ලෙස අර්ථවත් කර ගත්තා කියන සිතුවිල්ල ලැබූ නිදහස සමඟ මම දැන් ප්‍රායෝගිකව අත්විඳිනවා.

යාන වාහන මිල මුදල් අඹුදරු සබඳතා යාළු මිත්‍රාදීන් අනේකවිද සම්පත් කොච්චර තිබුණත් වැඩක් නැහැ. මවුබිමේ නිදහස කවුරු හරි උදුරා ගන්න සටන් කරනවා නම් අද අපි සම්පූර්ණයෙන් ම නිදහස්.

දෙවැනි නිදහස් අරගලය LTTE  ත්‍රස්තවාදය පරදා මවුබිම නිදහස් කරගන්න දිවි හිමියෙන් සටන් කරපු තවත් එක් ලංකාපුත්‍රයෙක් හැටියට මම ආඩම්බර නොවී කොහොමඳ?

ත්‍රස්තවාදය පරදා ජයග්‍රහණය ලබන්න බලපෑ ප්‍රධානම රහස කුමක් ද?

මම මගේ ජීවිතයේ සාර්ථකත්වය රැගෙන යාමට ඉවහල් කරගත් උදෘත පාඨයක් තිබුණා. එය මම යුද බිමේ මගේ සහෝදර සෙබළුන් ජයග්‍රහණය කරා යොමුකරන්න සංකලනය කර ගත්තා.

ඒ තමා ‘සමගියේ ශක්තිය තුළින් කළ නොහැක්කක් නොමැත’ යන්නයි. මගේ සෙබළු සමගියේ ශක්තිය තුළින් කරන්න බැරි දෙයක් ලොව නැහැ යන්න පසුගිය වන්නි මානුෂීය මෙහෙයුම තුළින් පෙන්වා දුන්නා. අවුරුදු තිස් ගණනක් තිස්සේ කරගන්න බැරිව තිබූ දෙයක් අපි එකමුතුව කරල පෙන්නුවා.

58 සේනාංකයේ නියමුවා වූයේ ඔබ?

ඔව් 58 සේනාංකයේ වික්‍රමාන්විත පෙරහැරේ නියමුවා වශයෙන් මා හැඳින්වූවත් එහි ගෞරවය 58 සේනාංකයේ සිටි සියලු වීරෝදාර සෙබළුන් පෙරහැරේ නියමුවන් ලෙස හැඳින්විය හැකියි.

බටහිර මුහුදේ මන්නාරම සහල් නැලියෙන් පටන් ගත් සංග්‍රාමය මා නැගෙනහිර වෙල්ලමුල්ලි වෛක්කාල් මුහුදු තීරයේ අවසන් LTTE  බිම් අඟලත් අල්ලා ගන්නා තෙක් මා සමඟ LTTE  සටනට උරදුන් සියලු සෙබළුන් හා විශේෂයෙන් සටනින් දිවිදුන් හා අත්පා ශරීර අවයව අහිමිව ගොස් සදාකාලික හා අර්ධ ආබාධිත තත්ත්වයට පත් සහෝදර සෙබළු, ඔවුන්ගේ දයාබර බිරින්දෑවරු, මවුපිය දූ දරුවන් මා භක්තියෙන් යුතුව මෙනෙහි කරනවා.

වන්නි අවසාන සටනේ මගේ සේනාංකය වෙනුවෙන් ආශිර්වාද උපකාර කළ දයාබර ශ්‍රී ලාංකික ජනතාව වෙත මාගේ ගෞරවය පුද කරනවා.

යුද ජයග්‍රහණයේ වර්ෂ පූර්ණය ඒ පිළිබඳ ආපසු හැරී බැලීමට හොඳම කාලයයි.

58 සේනාංකය Killer vehicle එකක් හෙවත් මාරාන්තික යන්ත්‍රයක් ලෙස හැඳින්වූවා ඊට හේතුව පැහැදිලි කළහොත්?

මම මෙහෙයවපු 58 සේනාංකය දිහා බලන කොට සමහර අය මගේ සේනාංකය හැඳින්වූයේ Killer vehicle යනුවෙන්, මොකද වැඩිම ත්‍රස්ත සංඛ්‍යාවක් විනාශ කරමින් වැඩිම වේගයකින් ත්‍රස්ත බළකොටු අල්ලා ගනිමින් ඉදිරියට ගිය නිසා ඒක ඇත්තටම හරි.

58 සේනාංකය බාරගන්න කියලා පනිවුඩය මට ලැබෙනකොට මම හිටියේ අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් ලියපු උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ධ්ධ් පොත කියවා තිබුණා.

මගේ හිතට නිතැතින් ම ආපු දේ තමා කිලිනොච්චියේ ලුම්බිණි විහාරය. මට ඉදිරියේ සටන් කරන්නට වෙන්නේ ෙඓතිහාසික ගමන් මාර්ගයක ෙඓතිහාසික සටනක් කියලා මම තේරුම් අරගෙන තිබුණ.

මේ සටන ජය ගන්න නම් උත්සාහය විතරක් තිබිලා මදි කියන එක සියලු දෙනා තේරුම් ගත යුතුව තිබුණ. මේ යුද්ධය අප කළ යුතු වෙන්නේ එක් කොටසක් පාටක් බේරා ගන්න නොවේ.

මුළු මහත් ජාතියම බේරාගන්න කියන බැව් වටහා දෙන්න මම 58 සේනාංකයේ සියලු සෙබළුන් කරා ගමන් කරන්නට කටයුතු කළා. මම ඔවුනට පැවසුවේ හැකියාවන් විනිශ්චය කරන්නේ ‘උත්සාහයෙන් නොව ප්‍රතිඵලවලින් කියලයි’ අවුරුදු 30ක් තිස්සේ උත්සාහ කළා.

බැරිවුණා. දැන් අපි ප්‍රතිඵල පෙන්වමු ඒකට සුදානම් ද කියා මම සෙබළුන්ගෙන් ඇහුවා. එක හඬින් ඔවුන් පැවසුවේ සූදානම් බවයි.

මේ සටනට අත්‍යාවශ්‍යම බෙහෙත මම ඔවුන්ට කියා දුන්නා. ඒක තමා කැප කිරීම මොන දේ කළත් වැඩක් නැහැ හදවතින් ම ඒකට කැප වුණේ නැත්නම්. මගේ 58 සේනාංකය නොහිතපු වේගයකින් සතුරු බලකොටු බිඳගෙන ඉදිරියට ගියේ.

මේ කැප කිරීමේ සංකල්පය හරියට අවබෝධ කරගත් නිසා ඉතින් මගේ සේනාංකය යුද බිමේ මාරාන්තික වාහනය බවට පත් වුණා. මේ වාහනය පදවන්න මට ඉදිරි ගියර් ටික වගේ බළසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් හිටියා.

මට තිබුණේ ගියරය මාරු කර වේගය අඩු වැඩි කරන එක විතරයි. වාහන ගන්නකොටම මම මේ වාහනයේ පසුපස ගියරය ගලවා දැම්මා. ඒක අද වෙනකම් ලෝකයා දැනගෙන හිටියේ නැහැ.

විජයග්‍රහණයේ වර්ෂ පූර්ණයත් සමඟ ඔබ දකින්නේ කුමක් ද?

විජයග්‍රහණයේ වර්ෂ පූර්ණයත් සමඟ මම දකිනවා අපේ රටේ ජනතාවගේ සංවේදිභාවය. මේ විජයග්‍රහණය මහ ජාතියට වඩා මහ ඉහලින් සමරන්නේ ද්‍රවිඩ ජාතියයි. පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දේ මගේ දෑසින් ම දුටුවා.

මම සිංහල අවුරුද්දේ හිටියේ පුනරින්වල එම ද්‍රවිඩ ජනතාව සමගයි. මගේ මව මට කීව අවුරුදු ගණනාවකින් නිදහසේ සිංහල අවුරුද්ද සමරන්නේ. ඒකට ගෙදර ඉන්න කියලා. නමුත් මම කීවා මට මේ නිදහස සමඟ ප්‍රථම අවුරුදු උත්සවය එහි යන්න අවශ්‍ය බව මවගේ විරෝධතාවය මැද වුව ද මා එහි ගියා.

දෙමළ මිනිසුන් පහළොස්දහසක් පමණ උත්සවයට සහභාගි වුණා. පුනරින් කියන්නේ අපේ මෙහෙයුම් මාර්ගයේ වෙනසක් ඇති කරපු ස්ථානයයි. දශක ගණනාවක් කොටි ත්‍රස්තවාදීන්ගේ පයට පෑගෙමින් සියලු වරප්‍රසාද අහිමි කරගෙන සිටි ඔවුන්ට දැන් නිදහස් රටක් ලැබී තිබෙනවා.

මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්. උපන් ගම රට හැරදමා පැනගිය දෙමළ තරුණ තරුණියන් දැන් අප අතරට එන්න පටන්ගෙන. නොමඟ ගිය තව සුළුතරයක් විදේශවල. තම මතවාදවල තවම හිරවෙලා.

ඔවුන්ටත් දෑස් පාදා ගන්නට දැන් කාලය එළඹිලා. අවසන් සටනේ ජයග්‍රහණයෙන් පස්සේ දැන් අපේ රට සිංහල/දෙමළ/මුස්ලිම් ජාතිභේද තුරන් කරන්නට පටන් අරගෙන. මේ වෙනස අද අපි හොඳින් දන්නවා. ඉතින් සංවර්ධනයේ අරුනලු අප දෙසට වැටෙන්නට පටන් අරගෙන.

මේ සුවිශේෂී විජයග්‍රහණයට ශක්තිය ලබා දුන්නේ කවුද?

මේතාක් කාලයක් අපි ලොව දරුණුම ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කළත් සෙබළාගේ සෙබළ විලාශය මා දුටුවේ පසුගිය මානුෂීය මෙහෙයුමේ දී කවුරු කෙසේ කීවත් සෙබළාට නියම පිරිමියෙක් විදියට සටන් කරන්න ශක්තිය දුන්නේ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි.

ඒ බව මා නොබියව ප්‍රකාශ කරනවා. මට හරි සතුටුයි කියන්න මම මෙහෙයවූයේ නියම පිරිමි සොල්දාදුවන් සමූහයක් කියලා.

එඩිතර නිර්භීතභාවය මුසු කොට අප පියාණන් වන දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න විසින් නිර්මාණය කළ ගජබා රෙජිමේන්තුව බිහි කළ වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ගලවා ගැනීමේ සටනේ නිහඬ මාර්ගෝපදේශකයා බව අමුතුවෙන් කිව යුතු නැහැ.

කාලීනව පහළ වූ ත්‍රිවිධ හමුදාව සන්නද්ධ නායකත්වයත් කුඩා දරුවාගේ පටන් වියපත් ජ්‍යෙෂ්ඨතම පුරවැසියා දක්වාත් මවුබිම පිළිබඳව ඇතිකරවූ දේශප්‍රේමී අනුරාගයත් අතර සංකලනය වූ මවුබිම ගලවා ගැනීමේ මහ සටනේ අවසන් ඵලය අපි අද භුක්ති විඳින්නේ මොන තරම් සොම්නසකින් යුතුවද?

යුද්ධයෙන් පසු හමුදාව රට සංවර්ධනයට දායක වී සිටිනවාද?

අවියට හුරු වූ අපේ දෑත් අද රට නංවන්නට පුරෝගාමී වී ඇති බව බලන්නට රටේ ජනතාව උතුරට/නැඟෙනහිරට ආ යුතුයි. දැන් අපිට සංවර්ධන ඉලක්කයක් තිබෙනවා. යුද ජයග්‍රහණයේ වර්ෂ පූර්ණ සැමරුමේ දී මේ සියලු දේ මෙනෙහිකර මම අද ආඩම්බර වෙනවා.

අපට දැන් නිදහස් රටක් තිබෙනවා. මුදාගත් රට රැක ගන්න ඉදිරියට යාමට අපට තව වැඩ ගොඩක් කරන්න තිබෙනවා. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම බව මා පසක් කොටගෙන අවසානයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා