කොටි කපිතාන් ‘මත්තලඟු’ සැඟ වූ යුද උපකරණ රැසක් සොයා ගනී

කොටි කපිතාන් ‘මත්තලඟු’ සැඟ වූ යුද උපකරණ රැසක් සොයා ගනී

අත්අඩංගුවට ගත් යුද උපකරණ පරීක්‍ෂා කරමින්.

ඉන්දියාවට පලායෑමට තැත්කිරීමේ දී ගල්කිස්ස කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය මගින් ඉකුත් දා අත්අඩංගුවට ගත් කොටි කපිතාන් මත්තලඟු සැඟවූ ක්ලේමෝ බෝම්බ දහයක් සමඟ තවත් යුද උපකරණ රැසක් සොයා ගෙන තිබේ.

මත්තලගු හෙවත් ශිවඥානම් අයින්කරන් නැමැති අත්අඩංගුවට ගත් සැකකරු වෙල්ලමුල්ලවයික්කාල් හි පැවැති අවසන් සටනේ දී තුවාල ලබා රෝහල්ගත කැර සිටියදී පලාගොස් තිබිණි.

පසුව ඔහු ගල්කිස්ස දුම්රියපොළ පාරේ හෝටලයක ලැගුම්ගෙන සිටියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඉකුත් 14 දා අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු ඉන්දියාවට පලායාම සඳහා එහි සැඟවී සිටි බවත් යුද්ධය පැවැති දිනවල ප්‍රහාර සඳහා සඟවන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් මුලතිව් ප්‍රදේශයේ තිබෙන බවත් හෙළිකර ඇත.

ඒ අනුව මුලතිව් අම්පලාවන්පොක්කනෙයි ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී ක්ලේමෝ බෝම්බ 10 සමඟ විදුලි ඩෙටනේටර්, වයර් හා බැටරි කට්ටල තුනක්, තමිලන් වර්ගයේ කොටි නිෂ්පාදනය කළ අත්බෝම්බ 03 ක්, පතරොම් ගැබ් 02 ක්, කළුකොටි ඇඳුම් කට්ටලයක්, කැළෑ සටන් වලදී භාණ්ඩ අසුරණ කට්ටල 02 ක්, ප්‍රථමාධාර තුවාල වෙළුම් හා ප්‍රභාගේ ප්‍රතිපත්ති අඩංගු පොතක් සොයාගෙන තිබේ.

සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් තවදුරටත් ප්‍රශ්න කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා