ගම්පහ ජා - ඇළ පාර බස් නැවතුම්පොළ පරිහානියට පත්වෙලා

ගම්පහ ජා - ඇළ පාර බස් නැවතුම්පොළ පරිහානියට පත්වෙලා

වර්ෂ 2000 අප්‍රියෙල් 08 දින මහජන අයිතියට පැවරුනු ගම්පහ ජා-ඇළ පාර බස් නැවතුම්පොළ හා වෙළෙඳ සංකීර්ණය මේවනවිට ජනතාවට අපේක්ෂිත පහසුකම් නැති, බරපතළ ලෙස පිරිහෙමින් පවතින ස්ථානයක් බවට පත්වෙමින් පවතී.

මේ බස් නැවතුම්පොළ ප්‍රධාන මහා මාර්ගය ආසන්නයේම සීමිත ඉඩක පිහිටුවීම නිසා බස්රථ ගාල් කිරීමේදී, නිරන්තරයෙන්ම ගැටලු ඇතිවේ.

ඉඩ කඩ මදකම නිසා ප්‍රධාන මාර්ගය අවහිරවනසේ බස් රථ ගාල් කර ඇති අන්දම.

මේ පොදු බස් නැවතුම් පොළේ පොදු පහසුකම්වල අඩුපාඩු රාශියකි. එහි මහජනතාවගේ් සනීපාරක්ෂක කටයුතු සඳහා ඉදිකැර ඇති ඉදිකිරීම් බොහොමයක් අභාවයට ගොසිනි. වැසිකළි වළවල් උතුරා විටෙක පිටාර ගලයි. මේ වැසි දිනයන්හි එම වැසිකිළි ඉදිරිපිට පිහිටුවා ඇති වෙළෙඳසල් වැසි ජලයෙන් නිරතුරුවම යටවෙමින් පවතී. එම ව්‍යාපාරිකයෝ බලවත් ලෙස පීඩාවට පත්ව සිටිති.

බස් නැවතුම්පොළේ පිහිටුවා ඇති වෙළෙඳ ආයතන හිමියන් පවසන්නේ අදාළ කුලී මුදල්, බදු නිසි පරිදි අය කළත් පහසුකම් ඇත්තේම නැති බවයි. මේ ස්ථානය වැසි දිනයන්හි එකම ජලාශයක්. බස් නතර කරන ස්ථානයේදී වළවල් හෑරී ඇත.

නිසි සැලැස්මකින් තොරව, අවිධිමත්ව ඉදිකැර ඇති මේ බස්නැවතුම්පොළ හා වෙළඳ සංකීර්ණය ජනතාවට, ව්‍යාපාරිකයන්ට පීඩාවක් මිස සහනයක් නොවන ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන්ද පවසනුයේ.

ගම්පහ නගරය කේන්ද්‍රකොටගෙන මීගමුව, කටුනායක ගුවන්තොටුපළ, දිවුලපිටිය, කඳාන, රාගම ඇතුළු ප්‍රසිද්ධ නගර ගණනාවකට සේවයේ යොදා ඇති බස්රථ සඳහා දිනපතා විශාල ජනතාවක් මේ ස්ථානයට පැමිණෙති. එහෙත් අවශ්‍ය පහසුකම් තබා බස්රථයක් එනතුරු රැඳී සිටින විටද ඇතිවන අවහිරතා ජනතාවට පීඩාවකි.

තමා පුරපතිවරයා වශයෙන් පත්වී සුළු කාලයක් වුවද පෙර කාලයේ සිට ඇතිවී ඇති මේ අඩුපාඩු ගැන අවධානය යොමුකර අඩුපාඩු සපුරාලීමට කටයුතු යොදන බව පුරපති එරංග සේනානායක මහතා පවසයි.

පෞද්ගලික බස් රථ ගාල් කිරීමේ ස්ථානයක් ගැනද අවධානය යොමු කෙරෙන බවද පැවසේ. වසර ගණනාවක් සිට රජයන් කිහිපයක පාලනය පැවති නගර සභාවක ඇතිවී ඇති ගැටලුවකට පුරපතිවරයා ලෙස පත්වී නොබෝ කලකින්ම ක්ෂණික විසඳුමක් ලබාදීම අපහසු වුවද උපරිම සහාය ලබාදී ගම්පහ නගරයේ ජනතාවට සේවයට කැපවී සිටින බවද පුරපතිවරයා පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා