රාජකීය - සා. පීතර් රගර් ගැටුම 22දා

මෙවර අපරාජිතයන් අතර සටනේ ජය කාටද?

රාජකීය - සා. පීතර් රගර් ගැටුම 22දා

ජනාධිපති කුසලාන පාසල් රගර් තරගාවලියේ කාගේත් අවධානයක් ඇති රාජකීය - සාන්ත පීතර අතර තරගය 22 වැනිදා රාජකීය ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පැවැත්වේ. මේ තරග වාරයේ දැනට දෙපිලම අපරාජිතව සිටින අතර මේ තරගයෙන් පසුව සැබෑ දක්‍ෂයන් තීරණය වනු ඇත.

මෙතෙක් රාජකීය හා සාන්ත පීතර විදුහල් තරග 4 බැගින් සහභාගි වී එම සියලු තරග දිනා ඇත. පසුගිය වසරේ සූරයන් වූ රාජකීය විදුහලට තියුණු සටනක් දීමේ අපේක්‍ෂාවෙන් සාන්ත පීතර ක්‍රීඩකයෝ පසුවෙති.

වසර 2009 දී පැවැති රාජකීය - සා. පීතර අතර තරගයේ උණුසුම් අවස්ථාවක්.

පසුගිය වසරේදී සාන්ත පීතර විදුහල් පිටියේ පැවැති තරගයෙන් රාජකීය විදුහල ලකුණු 30 – 10 ක් ලෙස සාන්ත පීතර විදුහල පරාජයට පත් කෙළේය. රාජකීය ක්‍රීඩකයන්ට වඩාත් හුරු ක්‍රීඩා පිටියක මෙවර තරගය පැවැත්වීම ඔවුන්ට ඇති අමතර වාසියකි.

රාජකීය විදුහල වෙතින් දැනට ධර්මරාජ, වෙස්ලි, වේල්ස් කුමාර හා සාන්ත අන්තෝනි විදුහල් පරාජය වූ අතර සාන්ත පීතර විදුහල වෙතින් වේල්ස් කුමාර, ත්‍රිත්ව, ඉසිපතන හා ධර්මරාජ විදුහල් පරාජය වී ඇත.

ප්‍රවේශපත් මිල අඩු කර නෑ

මේ පාසල් රගර් වාරයේදී ප්‍රවේශපත් මිල සියයට පනහකින් ඉහළ දැමීම පිළිබඳ බොහෝ අංශවලින් චෝදනා එල්ල වුවද මිලෙහි වෙනසක් මෙතෙක් සිදු වී නැත.

ශ්‍රී ලංකා පාසල් රගර් සංගමයේ ලේකම් ටෙරන්ස් ඩෙන්සිල් මහතා පැවැසුවේ පාසල් රගර් තරගවල ප්‍රවේශපත් මිල ඉහළ දැමීම පිළිබඳ තම සංගමයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

පාසල් රගර් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය (Home ground) වෙන්කරන පාසලේ රගර් කමිටු මගින් ප්‍රවේශපත් මිල තීරණය කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

කෙසේ වුවද පාසල් රගර් තරග නැරඹීමට මෙවර විශාල ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණෙන හෙයින් විශාල ලාභයක් ඉපැයීමට වඩා ප්‍රේක්‍ෂකයින්ට සහනයක් සැලසීම විදුහල් රගර් කමිටු මගින් සිදුවිය යුතු බව නරඹන්නන්ගේ අදහස වී ඇත.

මේ සතියේ පාසල් රගර් තරග

21දා වේල්ස් කුමාර - සා. තෝමස් හැව්ලොක් පිටියේදී

22 දා රාජකීය - සා. තෝමස් රාජකීය පිටියේදී , ඉසිපතන - සා. අන්තෝනි හැව්ලොක් පිටියේදී ,ධර්මරාජ – කිංග්ස්වුඩ් බෝගම්බර දී

23දා - වෙස්ලි - ත්‍රිත්ව රාජකීය පිටියේදී

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා