දේශීය නිෂ්පාදකයා නඟා සිටුවීමට රජය සැම විටම අවධානය යොමු කර තිබෙනවා

දේශීය නිෂ්පාදකයා නඟා සිටුවීමට රජය සැම විටම අවධානය යොමු කර තිබෙනවා

- මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම

භාණ්ඩ මිල පාලනය කිරීම පිළිබඳව මෙන්ම දේශීය නිෂ්පාදකයා නඟා සිටුවීම පිළිබඳව රජය හැමවිටම අවධානය යොමු කර ඇති බව මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) ප්‍රකාශ කළේය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ විවාදයට එක් වෙමින් ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවැසීය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (18) පෙරවරු 9.30 ට රැස්විය.

නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු වාර්තා හා ලිපි ලේඛනාදිය පිළිගන්වන ලදී.

වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්න සඳහා ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එ. ජා. ප.) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

ජල සම්පාදන හා ජලාපවාහන ඇමැති සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ඉදිරිපත් කෙළේ ය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ වූ නියමයන් තුන පිළිබඳ විවාදය ආරම්භ කරමින් මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා - 2008 / 2009 වර්ෂය තුළ ලෝකය විවිධ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නා.

තෙල් මිල ඉහළ යාම නිසා බඩු මිල වැඩිවීම දරා ගන්න බැරිවූ ජනතාවට රජය සහන පැකේජයක් ඉදිරිපත් කළා. එක් පැත්තකින් ව්‍යාපාරිකයාට බැංකු මඟින් සහනයක් දී පාරිභෝගිකයාට සහන මිලට බඩු ලබාදීමට ක්‍රියා කළා. සංයුක්ත බදු ක්‍රමය අප එහිදී ක්‍රියාත්මක කළා. සංයුක්ත බද්දෙන් පාරිභෝගිකයාට සහනයක් දීමට හැකි වුණා.

ඒ නිසා රජයේ ආදායම විශාල ලෙස අඩු වුණා. එහෙත් පාරිභෝගිකයාට සහනයක් දීමට හැකි වුණා. අය වැය පරතරය වැඩි වීමට පවා එය හේතුවක් වුණා.

අප හැම විටම බලන්නේ ජනතාවට සුබ සාධන දෙන ගමන් සියලු අංශ සමබරව කළමනාකරණය කිරීම යි. බොහෝවිට එයින් හැම දෙනාම සතුටු නොවුණත් සමබරව කළමනාකරණය කිරීම අපේ අරමුණයි.

අප මේ රටේ සීනි නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ කරනවා. පැලවත්ත හිඟුරාන සීනි කම්හල් හරහා මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික් වලට පොම්ප කරනවා ද? අවුරුදු ගණන් වැනි වැනි තිබී දැන් හිඟුරාන නිෂ්පාදන පටන් ගන්න යනවා. ඒ අනුව ප්‍රදේශයේ දුප්පත් ජනතාවට කොපමණ මුදලක් ලැබෙනවා ද?

දේශගුණික හේතු නිසා අපට මේ රටට හාල් අවශ්‍ය වුණා. එවිට බද්ද අඩු කළා. අප හැම විටම දේශීය ගොවියාට නිෂ්පාදකයාට මුල් තැන දෙන්න ඕනෑ. අපේ රටේ දේශීය නිෂ්පාදනය දැන් වැඩි වී තිබෙනවා.

නිෂ්පාදනය සහ භාණ්ඩ මිල අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබෙනවා. භාණ්ඩ මිල පාලනය කෙරෙහි මෙන්ම දේශීය නිෂ්පාදනය නඟා සිටුවීම කෙරෙහි රජය අවධානය යොමු කරනවා.

දේශීය නිෂ්පාදනය නඟා සිටුවීම වැරැදි ද? එදා අනුර දිසානායක මන්ත්‍රීතුමා දේශීය කිරි නිෂ්පාදනය නඟා සිටුවීමට උත්සාහ කළා. අප අද ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්තියයි. අද ඇයි ඒකට විරුද්ධ වන්නේ ඇයි.

අනුර දිසානායක මහතා - බද්ද වැඩි කළ පමණින් දේශීය නිෂ්පාදනය වැඩි වන්නේ නැහැ.

අද කිරි පිටි මේ රටට ගෙන ඒම වැඩි වී නැද්ද.

අමුණුගම මහතා - අප ප්‍රශස්ත මට්ටමට පැමිණ ඇතැයි මා කියන්නේ නැහැ. දේශීය නිෂ්පාදනයෙන් රට මීට වඩා පෝෂණය කළ යුතු බව මා පිළිගන්නවා. සංයුක්ත බද්ද මඟින් ඒ තත්ත්වයට පත් වීමට හැකියාව තිබෙනවා.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - මේ බදු ගෙනල්ල තියෙන්නේ වී වගාව වත්, කෘෂි ආර්ථිකය ආරක්‍ෂා කිරීමටවත් නෙවෙයි. විදේශ ණය ගෙවීමට ඇති නිසා රජය බඩු වැඩි කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මුදල් වියදම් කිරීමට අනුමැතියක් අවශ්‍යය යි. එහෙත් මැයි මාසයේ සිට මුදල් වියදම් කිරීමට අනුමැතියක් නැහැ.

උතුරු නැඟෙනහිර සංවර්ධනයට බ්‍රිතාන්‍යයෙන් මුදල් ලබා දෙන බව ඇමැතිවරයා ප්‍රකාශ කළා. එහෙත් ඒ ජනතාව නැවත පදිංචි කරවීමට බ්‍රිතාන්‍ය රජයෙන් දුන්න මුදල්වලට මොනවද කෙළේ. රණසිංහ ප්‍රේමදාස මහතා නිවාස ලබා දුන්න පිරිසක් ඒ නිවාසවලින් එළියට දාලා.

කොළඹ නගරය යටවෙලා ගංවතුර, නිවාසවල ජනතාවට ඉන්න විදිහක් නැහැ. මේ මිනිසුන්ට මොකද වෙන්නෙ.

නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා - කතානායක තුමනි, මා අදයි දැන ගත්තේ නායකත්වය බේරගන්න මොන තරම් මහන්සි වෙන්න ඕනෙද කියලා.

සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා - එක්සත් ජාතික පක්ෂය මහා ගංවතුරකට ලක්වෙලා. ඒකෙන් බේරෙන්න බැරිවයි රනිල් වික්‍රමසිංහ මහතා දඟලන්නෙ. අද ඉදිරිපත් කරන්නේ අලුත් බදු ක්‍රමයක් නෙවෙයි.

රජය සුබසාධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් දරනවා.

අද වෙනකොට රට තුළ නිදහසක් තිබෙනවා. රට පුරා ඇවිදින්න පුළුවන්. රටේ තිබුණ අනාරක්ෂිත බව දුරු කෙළේ මහින්ද රාජපක්‍ෂ මහතා. ලෝක ආර්ථික අර්බූදය හමුවේ ප්‍රබල රටවල් කඩා වැටුණා. චීනය වැනි රටවල නිෂ්පාදන ඉදිරියේ යුරෝපා රටවල් කඩා වැටිලා.

ජෝන් අමරතුංග මහතා - ගංවතුර තත්ත්වයක් රට පුරා නිර්මාණය වෙලා. ඒ වෙනුවෙන් රජයේ වැඩපිළිවෙළ මොකක්ද?

පෙරේරා මහතා - ගංවතුර කළමනාකරණය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා. එතුමා අදාළ පියවර ගනීවි.

(නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මූලාසනයට පැමිණියේය.)

ෆීලික්ස් පෙරේරා මහතා - පාසල් පොත් වාර ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් රජය මිලියන 7438 ක් වැය කරා. පොහොර සහනාධාරය වෙනුවෙන් මිලියන 26935 ක් වැය කළා. ඒ වගේ ම අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් මොන තරම් මුදලක් වෙන් කළා ද? මේවා වෙනුවෙන් බදු පැනවීමට අවශ්‍ය නැද්ද?

රටක සංවර්ධනය සිදු කිරීමේ දී බදු පැනවීමට සිදු වෙනවා.

ගී‍්‍රසියේ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරලා. එහෙත් අපි ගෙවනවා. බ්‍රිතාන්‍යයේ ස්ථාවර රජයක් නැහැ. අපට ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙන්න හැදුවේ බ්‍රිතාන්‍යය යි.

එහෙත් අද ප්‍රථම වතාවට ඔවුන්ට ස්ථාවර පාර්ලිමේන්තුවක්, ස්ථාවර රජයක් නෑ. එහෙත් අපට තිබෙනවා ස්ථාවර, ශක්තිමත් රජයක්. යුද්ධය අවසන් කළ වසරක් තුළ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු වී තිබෙනවා. සංචාරක හෝටල්වල කාමර සංචාරකයින් ගෙන් පිරිලා.

අපේ රටේ සංචාරක කර්මාන්තයට උදව් කිරීමට ලෝක බැංකුව එකඟ වෙලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා (එ. ජා. ප) - මෝදර, මට්ටක්කුලිය, ඔබේසේකරපුර හැම පැත්තකම ජනතාව ජලයෙන් පීඩාවට පත්වෙලා. ඒ නිසා මේ අයට කන්න දෙන්න ඡන්ද කාලේ ජනතාවට මූණ පෙන්නල ඡන්දෙ ඉල්ලපු කව්රුත් පීඩාවට පත්උන ජනතාවට පිහිට වෙන්නෙ නැහැ.

පාන් මිල, පාන් පිටි මිල, ගෑස්, කිරිපිටි හැම දේකම මිල වැඩියි. ඒ නිසා මේවාගෙ මිල අඩු කරන්න, බදු අඩු කරන්න. බදු අඩු කරන්නෙ නෑ කියපු රජය බදු වැඩි කරලා. කොළඹ හැම තැනම යටවෙලා.

එදා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා කිව්වේ කිසිසේත්ම බදු වැඩි නොකරන බවයි. ඒත් එකොළොස් වතාවක් දැනට මේ ආණ්ඩුව බදු වැඩි කරලා අපට අවශ්‍ය ජනතාව ආරක්‍ෂා කර ගැනීමට මිස ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට නොවේ. අද රජයේ ආයතන රැසක් පාඩු ලබනවා. කව්ද මේවට වගකියන්නේ.

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා - දේශීයත්වය අගයන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක් සහ ආණ්ඩුවක් තමයි අද මේ රටේ තියෙන්නේ.

මේ දේශීයත්වය රැකගැනීමේ වගකීම අද විපක්‍ෂයටත් තේරී ඇති බවයි අපට පෙනෙන්නේ. 1994ට පසු මේ පාර්ලිමේන්තුවට ප්‍රථම වරට ජාතික ඇඳුම ඇඳගෙන රවී කරුණානායක මහතා පැමිණියේ ඒ නිසා විය යුතුයි. පක්‍ෂයේ නායකත්වයට පත් වීමට නම් ජාතික ඇඳුම ඇඳිය යුතු බව එතුමාට තේරුම් ගොස් තිබෙනවා.

අද මේ රටේ දේශීය නිෂ්පාදන ඉහළ ගොස් තිබෙනවා. උදාහරණයක් වශයෙන් 35%ක් පමණ වූ බඩඉරිඟු නිෂ්පාදනය අද 60% - 70% දක්වා වැඩි වී තිබෙනවා. පිටරටින් ආනයනය කරන ද්‍රව්‍යවලට බදු අය කිරීම දේශීය නිෂ්පාදනය ඉහළ යෑමට හේතු වෙනවා.

වසර 30ක් තිස්සේ උතුරේ කෘෂි නිෂ්පාදන කොළඹට ආවේ නැහැ. ළූණු, මිරිස් විශාල වශයෙන් නිෂ්පාදනය වූ ඒ ප්‍රදේශයේ යුද්ධය නිසා මේ කටයුතු මුළුමනින්ම ඇණහිට තිබුණා.

අද උතුරු වසන්තය වැඩ සටහන යටතේ උතුරේ කෘෂි නිෂ්පාදන යළි කොළඹට පැමිණෙමින් තිබෙනවා.

1977 විවෘත ආර්ථිකය නිසා අපට මොකද වුණේ. මා නියෝජනය කරන මොණරාගල – බිබිල ප්‍රදේශයේ දොඩං වගාව මුළුමනින්ම විනාශ වුණේ මේ විවෘත ආර්ථිකය නිසයි. කිරි නිෂ්පාදනයට සිදුවුණෙත් එයමයි. අප නැවත මේවා නඟා සිටුවමින් සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා - (ප්‍ර. ජා. පෙ) - අපේ රට ජාතික ආපදාවකට ලක්ව ඇති අවස්ථාවකයි අප අද මේ විශේෂ වෙළඳ භාණ්ඩ පනත පිළිබඳ කතා කරන්නේ.

අද අප කළ යුතු වන්නේ මේ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට දේශපාලන භේදයකින් තොරව සහන සැලැසීමයි. එහෙත් ඒ වෙනුවට සිදු වන්නේ ආපදාවට ලක්ව සිටින ජනතාව පිට තව තවත් බදු බර පැටවීමයි.

ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස අප මේ ආණ්ඩුවට පවසනවා. ඒ වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩවලට පවා බදු පැනවීම අපි අනුමත කරන්නේ නෑ.

චන්ද්‍රසිරි ගජධීර මහතා - බදු වැඩි කරලා නැහැ. බද්ද අඩු කරලායි තියෙන්නේ. ඔබ මේ පනත හරිහැටි කියවලා නෑ.

හඳුන්නෙත්ති මහතා - මම හොඳට කියෙව්වා. එදා ආණ්ඩුව කෙළේ බදු ක්‍රමය වෙනස් කරමින් සංයුක්ත බද්දක් හඳුන්වා දෙමින් බදු වැඩි කිරීමයි. අදත් කරන්නේ වෙනත් ක්‍රමයකට බදු වැඩි කිරීමයි.

යුද්ධය පැවැති කාලයේදී පැනවූ ජාතික ආරක්‍ෂක බද්ද තවමත් අය කෙරෙනවා. ඇයි අද මේ බද්ද ඉවත් කරන්නට බැරි කිරිපිටි මිල විශාල ලෙස ඉහළ ගියේ මේ බද්ද නිසයි. තවමත් කිරිපිටි මිල එහෙමමයි.

තාක්‍ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා - එදා ජ. වි. පෙ. ඉන්දීය භාණ්ඩ ගෙන්වන්න එපා කීවා. රට බේරා ගැනීමට යන හමුදා සොල්දාදුවන් මැරුවා. ඒවා ජනතාවට මතකයි. සංයුක්ත බදු දහය එදා ගෙනාවේ ආර්ථික උද්ධමනයක් තිබූ අවස්ථාවකයි.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය දහයක බදු අඩුවෙනවා. මේ බදු පැනවීම නිසා 2009 දී පමණක් රජයට රුපියල් මිලියන 6320ක් අහිමිවුණා. ජනතාවට මේ සහන ලබාදෙනවාට ජ. වි. පෙ. විරුද්ධ වෙනවාද?

පාර්ලිමේන්තුව යටවෙන තැනක හැදුවා කියා අපි ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට බනින්නෙ නැහැ. ජලයෙන් යටවෙනවාට විකල්ප හොයන්න ඕනෑ. අද රටේ ඕනෑම තැනකට යන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යන ගමන, ඒ සංවර්ධනය ආපසු හරවන්න බැහැ.

අද ආර්ථික සංවර්ධනය සඳහා අලුත් අමාත්‍යාංශයක් ඇති කළා. ඇමැති පදවි ගණන අඩු කිරීම ගැන කතා නොකරන්නෙ ඇයි. අප සමඟ ගමන යන්න එකතුවන්නැයි එ. ජා. ප. තරුණ මන්ත්‍රීවරුන්ට කියනවා මොන කතා කීවත් අවලාද නැගුවත් රජයේ ගමන නවත්තන්න බැහැ.

(දිවා විවේකයෙන් පසුව, නියෝජ්‍ය කතානායක පිංයකර ජයරත්න මහතා ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 පාර්ලිමේන්තුව නැවත රැස්විය.)

පත්කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (එ. ජා. ප) - මේ විවාදය පැවැත්වීම මඟින් සිදුවෙන්නේ කාලය අපතේ යැවීමක්. මේ නියමයන්වල කාලය ඉවරයි. පාර්ලිමේන්තුවට පරිභාහිර මූල්‍ය කටයුතු රජයකට හිතුමතේ කරගෙන යන්නට බැහැ.

ඒ වගේම බඩු මිල ජනතාවට දරා ගන්නට බැහැ. අසීමිත ලෙස බඩු මිල ඉහළ ගිහින්.

රටක ආර්ථිකය සංවර්ධනය කිරීමට නම් නාස්තිය අවම කර නිවැරැදි කළමනාකරණයක් තිබිය යුතුයි. කෙටිකාලීන ආර්ථික වර්ධනයක් දක්නට ලැබෙනවා. මාත් එය පිළිගන්නවා. එහෙත් පසුගිය කාලයේදී රැකියා අවස්ථා එක්ලක්ෂ දොළොස්දහසක් රටට අහිමි වී තිබෙනවා.

රටේ සංවර්ධනය වෙනුවෙන් අපගේ දැනුම දායක කරගන්න. ඒ වගේම මේ නියමයන්වලින් බදු වැඩිවෙන්නෙ නෑ. එහෙත් මේ තරම් බදු අඩු කරල රටක් පවත්වාගෙන යන්නෙ කොහොමද?

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එ. ජ. නි. ස) - දේශීය කෘෂිකර්මාන්තය, දේශීය ගොවිතැන නඟාසිටුවීම අප රජයේ අරමුණයි. ජනතාවගේ උර මත බදු බර පැනවීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැමැති නැහැ. ඒ වගේම මේ මඟින් භාණ්ඩ ගණනාවක බදු ඉවත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා - පක්ෂ විපක්ෂ අප දෙපාර්ශවයට ම වැදගත් කරුණක් මා මතු කරන්නේ. එළියෙන් ලැබෙන තොරතුරු අනුව තව පැය භාගයක් වැස්සොත් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවෙනවා. ඒ නිසා වහාම තීරණයක් ගන්න. පක්ෂ නායක රැස්වීමක් පවත්වා හෝ එය තීරණය කරන්න.

නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා - වර්ෂාවෙ තත්ත්වය බලා පාර්ලිමේන්තුව පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා. ඒ වගේම පාර්ලිමේන්තු සේවකයන් ගමන් කරන මාර්ග බොහෝ ප්‍රදේශවල යටවෙලා. ඒ නිසා වහාම තීරණයක් ගන්න.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී වික්ටර් ඇන්ටනි බියන්වල මහතා (එ. ජ. නි. ස) - අද මේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම පිබිදීමක් ඇති වී තිබෙනවා. කර්මාන්ත, කෘෂිකර්මාන්ත ආදී සෑම ක්‍ෂේත්‍රයකම වර්ධනයක් ඇති වී තිබෙනවා.

මහින්ද චින්තනයෙන් කියන්නේ මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කරන්නේ කොහොමද කියලයි. අනාගතයේ මේ රටට අවශ්‍ය ශ්‍රම බලකාය පිටරටින් ගෙන ඒමට සිදුවන බව අපට විශ්වාසයි.

දිනේශ් ගුණවර්ධන මහතා - අධික වර්ෂාව නිසා අද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හා සේවකයන්ට නිවෙස්වලට යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. එම නිසා අප විවාදය නවතා පාර්ලිමේන්තුව කල් තැබීමට පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කළා.

පාර්ලිමේන්තුව අද (19) උදේ 9.30 දක්වා කල් තැබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා