මහා සංචාරය

මහා සංචාරය

වර්තමානය ඉතිහාසයට කැටුව යන චාරිකාව...

විශිෂ්ට නළුවකු පමණක් නොව දුලබ ගණයේ හැකියාවන් ගණනාවක් විදාරණය කළ ජැක්සන් ඇන්තනි මෙරට රූපවාහිනී සංචාරක වැඩසටහන් නිර්මාණ කලාවේ පුරෝගාමියාය. ගඟ දිගේ, රෝම පුරාණය, අවාරේ සිරිපා ඔහුගේ එම සංචාරක එඩේර දිවියේ නවාතැන් වේ. මේ ඉතිහාස සංචාරකයා කදිර මලෙයිතුඩුවේ සිට මහනුවර මඟුල් මඩුව දක්වා ශත වර්ෂ ගණනාවක වංශ කථා පියමං ඔස්සේ ‘මහා සංචාරයකට’ මුල පුරා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ‘මහා සංචාරය’ වැඩසටහන සුප්‍රසිද්ධ LMRB  වර්ගීකරණයට අනුව මෙරට ජනප්‍රිය වැඩසටහන් දහය අතරට එක්වී ඇත. මේ සංවාදය එම මහා සංචාරය පිළිබඳවයි.

* ටෙලි නාට්‍ය හා රියැලිටි ටීවී නැරැඹුම් මැදිරියක් බවට පත්ව ඇති රූපවාහිනියට ඔබ ‘මහා සංචාරය’ ගෙන එන්නේ කුමන අරමුණින්ද ?

අවාසනාවකට අපේ රටේ රූපවාහිනිය ටෙලි නාට්‍යය පෙන්වන තැනක් බවට පත්ව තිබෙනවා. ලෝකයේ වෙන කිසිම රටක රූපවාහිනියකට ඒ කල ලබලා නැහැ. ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇති වෙන්න වේදිකා හා චිත්‍රපට කර්මාන්තයේ හා සාහිත්‍යයේ පිරිහීම බලපාලා තිබෙනවා. එකම ප්‍රසාංගික රසාලිප්ත බලාපොරොත්තුව රූපවාහිනිය බවට පත් වෙන්න ඒක ප්‍රධාන හේතුවක්. ලෝකයේ වෙනත් රටවල් රූපවාහිනිය විචිත්‍ර අධ්‍යාපනික මාධ්‍යයක් හැටියට භාවිතා කරනවා. එහිදී සංචාරක වැඩසටහන් ලෝකයේ රූපවාහිනී ආයතන අතර ඉහළ ප්‍රමුඛත්වයකින් භාවිතයට ගැනෙනවා.

* ඉතිහාසය මුල් කොට ගෙන ඔබ ඉදිරිපත් කළ වැඩසටහන් දෙකකටම ‘මහා’ යන අන්වර්ත නාමය යොදා ගෙන තිබෙනවා. ඔබ ඇයි මේ වචනයට මේ තරම් ආශක්ත ?

අතීතයේ අපේ රට මහා විශ්මයක්. ඇරිස්ටෝටල්ගෙන් පටන් ගෙන ඔනතිතිකස්, මෙගස්තීනියස්, ක්ලෝඩියස්, ටොලමි මේ හැමෝම ක්‍රි. පූ. 5 සිට ක්‍රි. ව. 2 සියවස දක්වා ලංකාව ගැන ලියුවේ මහා විශ්මයක් කියන අදහසින්. නමුත් වර්තමානය දක්වා ගමන් කරන විට පසුකාලීනව අපි යටත් විජිතයක් බවට පත්ව මන්දෝත්සාහිව අපි අපිවම හීන්දෑරි කර ගත්තා. පහුගිය කාලයේ අපිම විදේශිකයන්ට අපේ රට ‘Small Miracle’ ලෙස හැඳින්වූවා.

එම වරද්දා ගැනීම සිදු වූයේ ප්‍රතිකාල ආක්‍රමණ හරහා අපිට ආපු හීනමානය නිසයි. අපේ රටේ ඉතිහාසය මහා ඉතිහාසයක්. ඒ නිසා තමයි මහානාම හාමුදුරුවෝ අපේ වංශ කථාව ‘මහා වංශය’ කියලා නම් කළේ. ඒ නිසා ඉතිහාසය හා සම්බන්ධ කාරණාවලට අත ගහන කොට ඒ ‘මහා’ කියන වචනයත් සම්බන්ධ විය යුතු කියා මා හිතනවා. අපිට මහා බ්‍රිතාන්‍යය කියන්න පුළුවන් නම් මහා භාරතය කියන්න පුළුවන් නම් ඇයි මහා සිංහලය කියන්න බැරි.

* මෙම ඉතිහාස සංචාරයට ‘මහා සංචාරය’ යනුවෙන් නම් කළෙත් එම අදහසින්ද ?

මගේ මේ සංචාරය හුදු සංචාරයක් නෙමෙයි. මෙහිදී මම ඉතිහාසය හරහා ඇවිද යනවා. ඒ නිසා වංශ කථා, මහා වංශ කථා නම් ඉතිහාසය මහා ඉතිහාසයක් නම්, ඉතිහාසය හරහා ඇවිද යාමේ සංචාරය වනාහි මහා සංචාරයක්.

* මෙම වැඩසටහනින් සාකච්ඡා කෙරෙන්නෙත් මෙයට පෙර ඔබ ‘මහා සිංහලයේ වංශ කථාව‘ හරහා සාකච්ඡාවට ගත් විෂය කරුණුමද ?

මහා සිංහලයේ වංශ කථාව ශාස්ත්‍රීය සාකච්ඡාවක්. එය මේ රටේ ඉතිහාස විද්‍යාර්තීන් 18 දෙනෙක් සම්බන්ධ වූ පැය 240 ක දීර්ඝ ඉතිහාස සාකච්ඡාවක්. මා දැන් මහා සංචාරය තුළින් උත්සාහ කරන්නේ එම දැනුම එයට වඩා ප්‍රසාංගික ආකාරයට උත්කර්ෂණීය විදියට ඉදිරිපත් කරන්නයි. බොහෝ විට ‘මහා සිංහලයේ වංශ කථාවට’ සම්බන්ධ වුණේ විෂයානුබද්ධ එහෙම නැත්නම් වැඩිහිටි ප්‍රේක්‍ෂකාගාරයක්. නමුත් මට උවමනා කරනවා ඊළඟ පරම්පරාවට මෙම දැනුම ගෙනියන්න. අලුත් පිරිසකට ඉතිහාසයේ ගමන් කරන්න යෝජනා කරන එක පාරක් තමයි මහා සංචාරය කියන්නේ. මේ වැඩසටහන ඉතිහාසය ඉගෙන ගැනීමට අත්වැලක්.

* ඇයි ඔබේ සංචාරය විජයාවතරණය සිදු වූ ස්ථානයෙන් ආරම්භ නොකොට ශ්‍රී මහා බෝධිය අසලින් ආරම්භ කළේ

ක්‍රි. පූ. 3 සියවසේ සිට තවමත් දළුලන, ඵල දරන, හුස්ම ගන්න ඉතිහාසයේ ජීවමාන සාක්ෂිකරුවා ශ්‍රී මහා බෝධියයි. ශ්‍රී මහා බෝධිය පිහිටවූ රට නිසයි රජරටට පිහිටිරට කියන නම ලැබුණේ. ඉතිහාස වංශ කථා ගවේෂණය කරන විට ලෝකයේ කිසිම රටක අතීතය පිරික්සීමේදී අපිට ජීවමාන ඉතිහාසයක් හමුවන්නේ නැහැ. දේශයක ඉතිහාසය ගවේෂණය කරන්නේ පුරාවිද්‍යාත්මක සාහිත්‍යයික හා ජනශ්‍රැතික ඉතිහාසය හරහායි. නමුත් ලංකාවේදී එයට අතිරේකව ජීවමාන සාක්ෂිකරුවෙක්ද අපට හමු වෙනවා. ඒ නිසයි මම එතැනින් මගේ මහා සංචාරය ආරම්භ කළේ. ඒ වගේම දිග ගමනක් යන්නට පෙර ශ්‍රී මහා බෝධිය වැඳ නමස්කාර කොට පිටත්ව යාම අපේ සංස්කෘතියේ ලක්ෂණයක්. ඒ අනුවත් ශ්‍රී මහා බෝධිය සමීපයෙන් මේ ගමන ආරම්භ කිරීම උචිතයි කියා මා විශ්වාස කරනවා.

* සංචාරයේ ආරම්භක ස්ථානය දැනටමත් අප දන්නවා. ඔබ මෙම සංචාරය අවසන් කිරීමට අදහස් කරන්නේ කොතැනින්ද ? ඒ තෝරා ගැනීමට හේතුව කුමක්ද ?

වංශ කතා ඉතිහාසයේ මර්මස්තානය ලෙස මම සලකන්නේ කුදිරමලෙයි තුඩුව. විජය රජු ලංකාවට ගොඩ බැස්සේ එතැනින්. එතැන් සිට මේ රට සුදු අධිරාජ්‍යවාදීන්ට පවරා දුන් මහනුවර මඟුල් මඩුව දක්වා මේ ගමන යනවා. ඒ නිසා මම මෙම පළමු මර්මස්ථානයේ සිට අවසාන මර්මස්ථානය දක්වා ගමන් කරනවා. ඒක අවුරුදු හතරක් පමණ ගත වේවි. ඒ තරම් අපේ ඉතිහාසය දිගයි. රජවරු 182 ගිය මග ඔස්සේ මහා සංචාරය ඇවිද යනවා.

* මේ ගමනේ අනෙකුත් නවාතැන් පොළවල් මොනවාද ?

තවම මම රැඳී සිටින්නේ අරිප්පුවේ මල්වතු ඔය නිම්නයේ. මෙම නිම්නය දිගේ තමයි විජය රජු සමග ආර්ය ජනාවාස රට තුළට සංක්‍රමණය වුණේ. මේ ගමනේදී මම අතුරු කථාවන්ටද යොමු වෙනවා. ඒ අනුව ඉදිරියේදී මම රාවණ ප්‍රවෘත්තියේ අක්මුල් සොයා ගෙන හනුමන්තා නිර්මාණය කළා යැයි සඳහන් වන පාලම පිළිබඳ සොයා බලන්නට අදහස් කරනවා. මෙම පාලම නිර්මාණය වී තිබෙන්නේ ඓතිහාසික වැලි වැටියකින්.

ඊට දූපත් 18 ක් තිබෙනවා. එම වැලි කඳු 18 තරණය කළ විට ඉන්දියාවට පයින් යන්න පුළුවන්. මම මේ ගමනේදී එම වැලිකඳු 18 න් අපේ රටට අයත් අවසාන 8 වෙනි වැලිකන්ද දක්වා ගමන් කළා. ඊට අමතරව ඉදිරියේදී බුදුන් වහන්සේ ලංකාවට පැමිණි බුද්ධ භූමි සොයාගෙන ගමන් කිරීමට අදහස් කරනවා. ඉන් පසු නැවත මල්වතු ඔය නිම්නය ඔස්සේ උපතිස්ස ග්‍රාමයටත් එතැනින් පණ්ඩුකාභය ප්‍රවෘත්තිය සොයා ගෙන දොරමඩලාවට රිටිගලට දිඹුලාගලටත් ගමන් කරනවා. මුටසිව රජු අනුරාධපුර නගරය බිහි කළ ආකාරය ගවේෂණය කිරීමටත් මිහිඳු හිමියන් ලංකාවට වැඩි කතා ප්‍රවෘත්තිය සොයාගෙන මිහින්තලයටත් ඉන් පසු ගමන් කිරීමට අදහස් කරනවා.

අනතුරුව මගේ ඉලක්කය සංඝමිත්තා මෙහෙණිය ලක්දිවට ශ්‍රී මහා බෝධිය ගෙන ආ දඹකොළ පටුන පිහිටි කන්කසන්තුරේ වෙත ගමන් කිරීමයි. එහිදී මුළු යාපනයේම ඓතිහාසික ස්ථාන හරහා සංචාරය කරන්නට මා අදහස් කරනවා. එතැනදී මට මහා පෙරහරක් මුණ ගැසීමට නියමිතයි. එය මහා බෝධිය වඩම්මවාගෙන සංඝමිත්තා තෙරණිය දේවානම්පියතිස්ස රජු සමඟ අනුරාධපුරයට පැමිණි ගමන සිහිගන්වනවා. මම එම පෙරහරට එක්ව ඔවුන් සමග නැවතත් අනුරාධපුරයට පැමිණෙනවා. ඒ මග වැටී ඇත්තේ ඒ 9 පාර හරහා. එහිදී මට ඈත ඉතිහාසයේ හා මෑත ඉතිහාසයේ සාක්ෂිකරුවන් මුණ ගැසෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

* ‘මහා සංචාරය’ වැඩසටහන විකාශය වීමට පෙර සිටම එයට එරෙහිව මත පළවන්නට පටන් ගත්තා. එම මතවාද වැඩසටහනේ ඉදිරි ගමන සඳහා දායක කර ගන්නේ කෙලෙසද ?

ඉතිහාසය කියන්නේ සමාජීය අයිතිවාසිකමක් තිබෙන විෂයක්. මම ඉදිරිපත් කරන්නේ සමාජීය ප්‍රකාශනයක්. එලෙස සමාජීය අයිතිවාසිකමක් තිබෙන විෂයක් පිළිබඳ සාකච්ඡා කෙරෙන ඕනෑම කෙනෙකුට විවාදාත්මක කාරණා වලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා මම විවාදාත්මක කාරණා වලට මුහුණ දීමට සූදානම්. බහු විධ මතවාදි කාලාපයකට තමයි ඉතිහාසය කියන්නේ. එහි සැරිසරන විට නොඑකඟතාවයන්ට මුහුණදීමට සිදු වෙනවා. මේ සංචාරයේදී මතුවන කාරණා පිළිබඳ මතුවෙන මතවාදයන්ට මුහුණදීමට සර්වප්‍රකාරයෙන් සූදානම් ව තමයි මා මේ සංචාරයට එළැඹුණේ.

මේ සංචාරයේ මම යෙදෙන්නේ හිස් අතින්. මා ගෙන යන්නේ අවු. 20 ක් මුළුල්ලේ මා කරනු ලැබූ හැදෑරීම්වල ගමන් මග පමණයි. හැබැයි මම පොදි බැද ගත් කරුණු කාරණා අධ්‍යයන මඟ රාශියක් මා ළඟ තිබෙනවා. ඒ නිසා මම ඉතාමත්ම සන්තෝ්ෂ වනවා එහෙම විවාදාත්මකව මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න පුළුවන් නම්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා