දෙවැනි නිදහස් සටනේ පෙර ගමන් කරුවෝ

දෙවැනි නිදහස් සටනේ පෙර ගමන් කරුවෝ

ජාතික රණවිරු සැමරුම අදට යෙදී ඇත. දශක තුනකට පසු මාතෘභූමිය මත නිදහසේ කාහල නාදය දසතින්ම නැඟෙන මොහොතක අප මෙවර ජාතික රණවිරු දිනය සමරන්නෙමු. එනයින්ම අපේ නිදහස සැබෑ ලෙස උරුමකර දුන්නවුන් පිළිබඳ ඉතිහාසය හා එක්විය යුතු වන්නෙමු. ලංකීකයන් වූ අප නිදහස භුක්තිවිඳිය හැකි වාසනාවන්තයින් වන මේ මොහොතේ ලාංකීය ඉතිහාසය අනාගත ලොවට පාර කියනු ඇත.

රටත්, ජාතියත් රැකීමේ කාර්යභාරයේදී සමස්ත ජනතාවගේම වගකීම ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ එරට රණවිරුවාටය. උවදුරට ආසන්නවම සිටින්නේ ද ඔහු ය. ඔහු ප්‍රබල වන විට සෙස්සන්ද ප්‍රබල වන අතර ඔහු දුබල වන විට සෙස්සෝ දුබලව ඇද වැටෙති. එනිසාම වීරෝදාර රණවිරුවන් යම් රටක් සතුව පවතී ද එකී රටවැසියන් ඉමහත් භාග්‍යවන්තයෝ වන්නාහුය. ලාංකීය දේශප්‍රේමී සටන් ඉතිහාසයේ එවැනි රණවිරුවෝ බොහෝ ය. එබැවින් ලාංකීය ජාතිය භාග්‍ය සම්පන්නය.

ලංකාවේ ඉතිහාසය යනු මාතෘභූමියේ ස්වෛරීභාවය රැකීමට උරදී ජීවිතය පරිත්‍යාගයෙන් ක්‍රියාකරන ලද ඒ දේශප්‍රේමී සටන්වල ඉතිහාසයයි. ජාතිකත්වය ගොඩනැගීමෙහිලා ප්‍රාග් බෞද්ධ යුගයේ ලංකාවේ පාලකයෙකු වූ පණ්ඩුකාභය රජු මහත් මෙහෙයක් ඉටුකරන ලද්දේය. ඔහුගේ සටන් පෙරමුණේ ඉදිරියෙන් සිටි වීරවරයන්ගේ නාමයන් අද අපට අසන්නට නැතත් ඔවුන්ගේ ජීව රුධිරයෙන් පෝෂණය වූ මෙබිමෙන් උපන් වීර රණවිරුවන් රැසකගේ හිමිකාරිත්වය අප සතුව පවතී.

ලාංකීය දේශප්‍රේමී සටන් ඉතිහාසයේ සිංහල රජවරුන් සහ රණවිරුවන් පිළිබඳව සටහන් පිරි පවතින නමුත් සිංහලයන් කිසි විටක ජාතිවාදින් ගමන් ගත් මඟක ගොස් නැත. ලංකාවේ අනන්‍යතාවය රැක ගත යුතු අවස්ථාවක කිසිවිටක ඔවුන් ජාතියක් වශයෙන් පසුබට වීද නැත. මෙබඳු කදිම අවස්ථාවක් දුටුගැමුණු රජුගේ යුගයේදී අපට පෙන්වා දෙයි.

එළාර නම් ආක්‍රමණිකයා මෙරට ආක්‍රමණය කළේ ජාතික ආගමික ප්‍රබෝධයෙන් ඇළලී සිටි අවධියකය. ද්‍රවිඩ ජාතිය නියෝජනය කරන්නෙකුවත් නොවීය. හුදු මංකොල්ලකරුවෙක් විය. යුද ශක්තියක් ප්‍රබලව නොතිබූ අසේල රජුගේ පාලනය යටතේ පැවති එම කාලය මහින්දාගමනයෙන් ලත් ආගමික ප්‍රබෝධයේ සිසිල පිට පැවතිණ. එළාර එක්සිය විසිවසක් වූ මහලු අසේල රජු මරා මේ රටේ රාජ්‍ය බලහත්කාරකමින් පැහැර ගත්තේය. රටත්, ජාතියත්, ආගමත් බලවත් ආපදාවකට මුහුණ දුන්නේය.

දුටුගැමුණු මහ රජු මාගමින් පැන නැගී සේනාව ගෙන රජ රට කරා පැමිණියේ ජාතික මෙහෙවරක් ඉටු කිරීමට මිස ද්‍රවිඩ විරෝධියෙක් ලෙස නොවේ. ඔහුගේ සේනාංක දහයේ එකම රණවිරුවෙකු හෝ පටු ජාතිවාදියෙකු ලෙස සඳහන් වී නොමැත. රට ආක්‍රමණිකයෙකු අත පැවතීම බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුරය ඔවුන් අත පැවතීම වැනි ජාතික වීරවරයන් රටත්, ජාතියත් ආගමත් ගලවා ගැනීම ඔහුගේ අරමුණ විය. රටේ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම අරමුණ විය. එය රට වැසියෙකු වශයෙන් ඔහුගේ වගකීම හා යුතුකම විය. මේ උදාර අරමුණින් එදා අපේ රණවිරුවෝ ක්‍රියා කළහ.

ධාතුසේන රජු පළමුවෙනි විජයබාහු රජු වැනි රණවිරුවන් සමග එක්ව සිටි බලමුළුවල අරමුණ ද මෙයම විය. රට පැහැරගෙන ජාතිය පෙළා ආගම අඩපණ කළ සතුරන් ඉදිරියේ අභීතව සටන් කළාහු මේ වීර රණවිරුවෝ ජයග්‍රහණය ළඟා කර ගත්හ. 1017 දී මේ රටට කඩා වැදුණු සොළී සේනාව රජ රට අල්ලාගෙන අනූපන්දහසක සේනාවක් රෝහණය කැළඹීමට යැවූහ. සමසක් මුළුල්ලේ කීර්ති හා බුද්ධ යන සෙන්පතියන් දෙදෙනා අභීතව සටන් කොට ඔවුන් පලවා හැරියේය.

මේ රටට කාලිංග මාඝ ආයේ 1225 දී කේරළ සේනාවක් ද සමගය. අපි කේරළ යෝධයම්මයි ඔහුගේ භටයෝ මුර දුන්හ. වෙහෙර විහාර, දාගැබ් පෙති පිළිම බිඳ මහබෝ සිඳ රට යකුන් නැටූ කෙළි පිටියක් සේ කළහ. රට, ජාතිය, ආගම වැනසිණි. දහම් පොත්පත් වීථිමග ඇඳගෙන ගියහ. වෙහෙර විහාර කේරළ භටයින්ගේ නිවස්න විය. මහා සංඝයා වහන්සේ, කුලවත්තු රජරට රෝහණයේ පිහිට සෙවූහ. ජාතියට වූයේ බලවත් විපතකි.

තෙවන විජයබාහු රජු මායා රටින් සේනාව ගෙන කේරළයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබුණු පොළොන්නරුව සිය පුත් පැරකුම්බා මඟින් පලවා හැරියේය. රට මුළුල්ලේ සිටි කාලිංග මාඝ හා ජයබාහුගේ සේනාවන් පලවා හැරියේ අපේයාමි ලංකාමි (නොදෙනිය හැකි ලංකාව) යනුවෙන් වොඩංග දේවයන් ශිලා ලේඛනගත කළ කීර්ති නාමය අන්වර්ථ කරමිනි. කාලිංග මාඝගෙන් ශේෂව ගිය පිරිසද කෝට්ටේ හය වන පැරකුම්බා රජුගේ කාලයේ සපුමල් කුමරු විසින් පලවා හරින ලද්දේය.

කෝට්ටේ රාජධානි යුගයේ මෙරටට පැමිණි පෘතුගීසි ආක්‍රමණය අප මාතෲ භූ®මියේ මුහුණ දුන් තවත් අධිරාජ්‍යවාදී ආක්‍රමණ දාමයක ආරම්භ සනිටුහන් කරයි. පෘතුගී‍්‍රසීහු කෝට්ටේ රාජධානියේ පහළ වූ ධර්මපාල නම් දුර්වල නායකයා බිය ගන්වා කතෝලික සමය කුලවද්දා දොන් ජුවන් ප්‍රොපෙන්දර යන නම් කරවා මෙරට කිරුළ ගෙන රට ජාතිය ආගම වැනසූහ. ජාතියේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ සබරගමුවට වැඩම කළහ. පළමු වන රාජසිංහ රජු පහළ වූයේ මෙවන් ජාතික උවදුරකට රට මුහුණ පෑ අවධියකය.

රට ජාතිය නිදහස් කර ගැනීමට පෙරමුණට ආ හෙළ රණවිරුවෝ මුල්ලේරියා වෙල කලත්තෑවක් පත් කළෝ තම යුතුකම ජාතිය වෙනුවෙන් ඉටු කළහ. පෘතුග්‍රීසින්ද රන්දෙණිවලදී අපේ රණවිරුවන්ට මුහුණ දිය ගත නොහැකි විය. කරුන්කා ගෙඩියක් අවුලවා ඊතලයේ සවිකර වෙඩිබෙහෙත් වේලන පෘතුග්‍රීසීන්ද විද්ද අපේ දුනු විරුවෝ පර සතුරන් පිටු දැක්කාහ. විමලධර්මසූරිය, දෙවන රාජසිංහ රජ්ජුරුවන් කරන ලද්දේද මේ රට ගළවා ගැනීමේ උදාර කාර්යයයි. 1815 දී මේ රට ඉංග්‍රීසීන්ට ලියා ලද්දේ විය.

ලෝකයේ කිසිදු රටකදී පරාජයකට නොපත්වී යැයිද හිරු නොබසින අධිරාජ්‍යයක හිමිකරුවනැයි ද කී ඉංග්‍රීසීහු පරාජයේ පාඩම් උගත්තේ අපේ රණවිරුවන් අතිනි. 1818 මේ රට වාසීන් ඇති කළ විමුක්ති අරගලයේදී වීරකැප්පෙටිපොළ වැනි උදාර වීරයන් මේ රටේ ජීවත් වන්නන්ගේ වීරෝදාර අරමුණු ඉංග්‍රීසීන්ට හෙළි කර දෙන ලදී.

මෙරට රණවිරුවන් පිළිබඳ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙයි. ඒ අන් ජාතීන් සතු දේශයන් කොල්ලකෑමට නොයාමය. ජාතිවාදීන් නොවීමය. ඕනෑම ජන වර්ගයක් සමඟ මිත්‍ර වී සහයෝගයෙන් විසීමය. පළමුව කිසිවෙකුට පහර නොදීමය. අපේ මුළු ඉතිහාස ගමන තුළම ඇත්තේ අපේ මේ පිළිවෙළය.

අපගේ පුණ්‍යවන්ත මාතෘභූමියේ නිදහස ස්ථාපිත කිරීමට අද අපගේ යුද, නාවික, ගුවන් හා පොලිස් රණවිරුවෝ සමත් වුවහුය. මෙරට ජනජීවිතයේ බියෙන් සැකයෙන් අවිනිශ්චිතභාවයෙන් ගෙවමින් ත්‍රස්තවාදය ගෙයි එළිපත්තටම පැමිණෙමින් තිබූ මොහොතක එදා 2006 වසරේ ජූලි 26 දා උතුරේ මානුෂීය මෙහෙයුම් අරඹමින් මාවිල්ආරුහි ජනතාවගේ ජල බිඳුවද තම කුරිරු ග්‍රහණයට ගෙන තිබූ LTTE ත්‍රස්තවාදයේ රුදුරු රකුසා පරදවමින් ජල සොරොව්ව ආරක්ෂා කර අසරණ ගැමි ජනතාවට නැවත ලබා දෙමින් අපේ රණවිරුවෝ තම ප්‍රථම ජයග්‍රාහී පියවර තැබූහ.

එතැන් පටන් මුතූර් නගරයේ, කට්ටපරිච්චාන් නගරයේ බලය තහවුරු කර ගත් ආරක්ෂක හමුදාවෝ සාම්පූර්, වාකරේ, කදිරවේලි, කොමතලාමඩු, ප්‍රදේශ මුදාගන්නේ අති විශාල සිවිල් වැසියන් සංඛ්‍යාවක් ද ත්‍රස්තග්‍රහණයෙන් මුදා ගනිමිනි. අම්පාර කංජිකුඩිච්චිආරු මුදා ගනිමින් පේරාරු සහ කුඩිරුප්පිඩි කොටි කඳවුර වැනසූ රණවිරුවෝ නැගෙනහිර අවසන් ඉලක්කය වූ තොප්පිගල ත්‍රස්ත බලය බිඳහෙලූහ.

එතැනින් වන්නි මෙහෙයුමට ප්‍රවිශ්ට වූ අපේ රණවිරුවෝ 2007 සැප්තැම්බර් 01 දා සිලාවතුර මෙහෙයුම අරඹමින් අරිප්පු හා සිලාවතුර ජයගනු ලැබූහ. වවුනියාව කන්දපෙරුම්කුලම් ප්‍රදේශය මුදාගනිමින් කොටි වියට්නාම් බේස් කඳවුර අත්පත් කරගනී. එතැන් සිට උයිලන්කුලම, ආරක්ෂක හමුදාවන් විසින් කිතුනු බැතිමතුන්ගේ වන්දනීය ස්ථානයක් වූ මඩු දේවස්ථානය මුදා ගන්නා ලදී. මන්නාරම අඩම්පන්, පාලමොඩෙයි, මුන්දිමුරිප්පු, පෙරියමඩු හමුදා යටතට ගනිමින් මන්නාරම සහල් නැලිය ත්‍රස්ත ග්‍රහනයෙන් මුදාගත්හ.

නච්චි සිට මුලංකාවිල්, උයියන්කුළම්, හරහා LTTE දෙවනි අගනගරය වූ මල්ලාවිය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගන්නා අතරම තවත් පසෙකින් නච්චිකුඩාත්, වවුනියාව, පාලමොඩෙයිත් අත්පත්කර ගනිමින් අපේ රණවිරුවන් නව ජීවයකින් මානුෂීය මෙහෙයුමේ ක්‍රියාකාරී වූහ.. 2008 ඔක්තෝම්බර් මාසයේ කිළිනොච්චි දිස්ත්‍රික්කයට ඇතුළු වූ රණවිරුවෝ ඒ - 9 මාර්ගය හා ඒ - 32 මාර්ගයන්හි ඉදිරියට යමින් 2008 නොවැම්බර් 15 දා පුණරින් ජය තහවුරු කළේය.

එතැන් සිට සතර දිශාවෙන්ම බල මුළු ගැන්වෙමින් අපගේ රණවිරුවෝ මුලතිවු හා කිළිනොච්චි අත්පත් කර ගැනීම දක්වාත් එතැන්සිට පුදිකුඩුඉරිප්පු ඔස්සේ වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් ත්‍රස්ත බිම් අඟලද මාතෘ භූමිය වෙත විජයග්‍රාහීව උදාකර දීමට සමත් වූහ. අද අප ජයග්‍රාහීව, සාඩම්බරයෙන්, සාමකාමීව භුක්තිවිඳින්නේ තම ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් විසින් උරුමකර දුන් එකී නිදහසයි.

එකී ජයග්‍රහණයයි. එනයින්ම අද දවසේ මාතෘභූ®මියේ නිදහස වෙනුවෙන් ස්වකීය ජීවිත පුද හළ වීරෝදාර රණවිරුවන්, වීරවරියන් වෙනුවෙන් මැයි 20දා රාතී‍්‍ර 07 ට පහනක් දල්වා උපහාර පුදමු. ලංකාවාසී සැවොම එක්ව විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වා ඔවුන්ගේ අමරණීය වූ පරිත්‍යාගයන් සිහිකරමු ! ඔවුන් වෙනුවෙන් එම රණවිරු පවුල් සාමාජිකයන් හා එක්ව කටයුතු කරමු. ශ්‍රී ලංකාවාසී අප කළගුණ දත්, යුතුකම් දත් ශිෂ්ට සම්පන්න ජාතියක් බව ලොවට පහදමු !

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා