සයනයිඩ් බැඳි ගෙළට රන් තාලි පැළඳි දා...

සයනයිඩ් බැඳි ගෙළට රන් තාලි පැළඳි දා...

වුන් නිදහස්ය. නිදහසේ සුසුම් තුළ ආදරය, සෙනෙහස, කරුණාව උතුරා යන්නේය. වව්නියාව පොම්පමඩු ප්‍රදේශයද ඒ සතුටින් ඉපිළී ගොස් තිබුණේය. වරින් වර හමා යන සීතල සුළඟ රැස්ව සිටි පිරිසගේ චමත්කාර ජනක සිතුවිලි ඇති කරන්නට සමත් වීම අරුමය නොවීය. සයනයිඩ් කරල වෙනුවට තැල්ලක්, තුවක්කුව වෙනුවට මුද්දක් අතලා ගත් තරුණ ජෝඩු 53ක් එකට හිඳගෙන උන්හ.

මීට වසරකට පෙර මොවුන් පෙළගැසුණේ යුද්ධ කිරීමටය.සිහින රාජ්‍යයක් වෙනුවෙන් මරා ගැනීමට ය. අද ඔවුන් හැඩ ගැන්ව සිටියේ සිය ජීවිතය නැමැති ලෝකය ජය ගැනීමට ය. මා මේ ලියන්නට උත්සාහ ගන්නේ යුද්ධය ගැනවත් යුද්ධයෙන් පසු විපරමක් ගැනවත් නොවේ. යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය හා ප්‍රේමණීය සටහන් ගැනය. එකවර විවාහ දිවියට පා නඟන තරුණ ජෝඩු 53කගේ කතාවයි.

මානුෂීය මෙහෙයුම් අවසාන අදියරට පැමිණෙද්දී එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවෝ 12000ක් පමණ හමුදාවට බාර වූහ. එම පිරිස අතර විවිධ වයස් ප්‍රමාණයේ අයවූහ.හමුදාවෝ මොවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළහ. කිසිදු සම්බන්ධයක් නැති, යම් යම් සම්බන්ධතා ඇති දරුණු ඝනයේ අපරාධ කළ පිරිස් ලෙස හඳුනාගෙන පුනරුත්ථාපනය පටන් ගත්තේය. මොවුන්ට විවිධ පාඨමාලා, භාෂා දැනුම ඉගැන්වීම මධ්‍යස්ථාන තුළ සිදුවිය.

බොහෝ පිරිස් තුළ එල්.ටී.ටී.ඊ, සංවිධානය තුළ සිටියදී ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගී තිබුණද සංවිධානය විසින් ඒ සියල්ල තහනම් කර තිබූ හෙයින් සිතට පමණක් සියල්ල සීමා විය. මේ අතර නීත්‍යානුකූ®ලව විවාහ නොවූ පිරිස් ද සිටියහ.නිදහසේ කාලය ගත කරන්නට ලැබෙද්දී යළිත් කිසිදා හමුනොවේ යැයි සිතූ පෙම්වතා, පෙම්වතිය එකිනෙකාට මුණ ගැසෙන්නට වූහ.

“අපි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. කියලා සංවිධානය දැන ගත්තු දවසේ පුදුම වද වේදනාවකට ලක්වෙන්න සිදු වුණේ. අපි දෙන්නා වෙන්කළේ කුරිරු විදියට. තවදුරටත් සම්බන්ධය තිබුණොත් මරණවා කියලා තර්ජනය කළා. මාව හිර කරලා තිබ්බා. අනන්තවත් ජීවිතේ නැති කර ගන්න හිතුණා. ඒත් ශාන්තිනී මතක් වුණාම ඒ වේදනාව සැනසීමක් වුණා.”

බාලචන්ද්‍රන් ජයකාන්තන් කියන්නේ තාමත් තරුණයෙක්. ඔහු එල්.ටී.ටී.ඊ, සංවිධානයට බැඳීලා නැහැ. එල්.ටී.ටී.ඊ. ය විසින් ඔහු බලෙන් රැගෙනවිත් තියෙන්නේ ඔහුගේ අධ්‍යාපනයත් කඩා බිඳ දමමින්.“මම සංවිධානයට ඇවිත් ටික කාලයකදී ශාන්තිනී හමුවුණා. ටික දවසක් යද්දි අපි අතර බැඳීමක් ඇති වුණා. එකිනෙකා නොදැක ඉන්න බැරි තරමටම ළං වුණා.”

ඇය නමින් ජෙකාන්තන් ශාන්තිනී. ඇය සුන්දර යුවතියක්. බැලූ අයකුට කිහිප විටක් බලන්න හිතෙන සුද්දරත්වයක් ඇය සතුව තිබුණි.“මම අධ්‍යාපනය හදාරන අතරතුර ගෙදරට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඇවිත් කිව්වා සංවිධානයට බැඳෙන්න කියලා. ඒත් අධ්‍යාපනය නතර කරලා දෙමාපියෝ සහෝදරියෝ දාල යන්න බැහැ කියලා කිව්වම ඇදගෙන ගියා.” දමිළ ජනතාවට ආවේනික වූ සුන්දර නාද රටාවන් ආරම්භ විය. පූජකවරුන් සිය චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කළහ. චන්ද්‍රකාන්තන් ශාන්තිනී ඇතුළු විවාහ දිවියට එළඹීමේ උත්සවයට සූදානමින් සිටි සියල්ලෝ එකවර නැගිට ගත්හ. අපි මඳක් ඈත්ව සිදුවන්නේ කුමක්දැයි බලා සිටියෙමු.

පූජකවරුන් මනාල මනාලියන්ට තිලක තැබීමට අවස්ථාව ලබා දුන්හ. එකිනෙකා හොරැහින් නමුත් ආදරණීය බැල්මෙන් සිය මනාලියව තිලකයෙන් හැඩ ගන්වනු දක්නට ලැබිණි. තරුණයා හැඳ සිටි වේට්ටියත් තරුණිය ඇඳසිටි සාරියත් ඉන්දියාවෙන් ගෙන්වා තිබිණි. සියල්ලෝම එකවගේ හෙයින් සමනල්ලු රෑනක්දෝයි කියා ඈත සිට බලන්නෙකුට සිතෙනු නියතය. මොවුන් හැඳ සිටි සාරි හා හැඩගැන්වීම් සියල්ල සිදුකර තිබුණේ අපේ ප්‍රවීන සිනමා නිළි අනෝජා වීරසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායම විසිනි.

මනාලයාගෙත්, මනාලියගේත් පාර්ශ්වයන්ගෙන් විවාහය නිත්‍යානුකූ®ල කර සාක්ෂියට අස්සන් කිරීමට දකුණේ සිට රාජතාන්ත්‍රික පිරිස් මෙන්ම ඉන්දියානු සුපිරි නළුවෙක්ද පැමිණ සිටියේය. මැති ඇමැතිවරුන් වන ඩිව් ගුණසේකර, ඩග්ලස් දේවානන්ද, රිෂාඩ් බදියුදීන්, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, නාමල් රාජපක්ෂ, රෝෂාන් රණසිංහ, ඉන්දීය සිනමා නළු විවේක් ඔබ්රොයි මහත්වරුන් මෙන්ම අපේ හමුදා නිළධාරීන් වන මේජර් ජනරාල් දයාරත්නායක, මේජර් ජනරාල් කමල් ගුණරත්න, බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මෙන්ම ත්‍රිවිධ හමුදා නිළධාරීන් රැසක් විවාහයන්ට අස්සන් තැබූහ.

“මේ පිරිස විවාහවෙලා සතුටින් ඉන්නව දැක්කම මේ අයගේ දෙමාපියන්ටත් වඩා සතුටු වෙන්නේ අපියි. අපේ දරුවෝ විවාහ වුණා වගේ සතුටක් සිතට දැනෙනවා. යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජනරාල් දයාරත්නායක මහතා පැවසුවේ සියල්ලන්ටම සිතන්නට යමක් ඉතිරි කරමිනි. චන්ද්‍රකාන්තන් ශාන්තිනී වගේම අනෙක් අයත් ප්‍රේමය දිනා ගන්න වින්ද දුක ලියන්න පත්තරයත් ඉඩ මදි වෙතැයි මට සිතිනි. මේ අය අතුරින් වරින් වර ඇසුණු කතාවලින් පුංචි හෝ කොටසක් ලියන්නට සිතුණි.

මට කන්න ඕනේ නෑ මට බාලචන්ද්‍රන් හමුවෙනකම් කන්නේ නෑ.” මම ඔයාවදාලා යන්නේ නෑ. මම මැරෙන්නෙත් ඔයා ළඟ. ඔයා යන්න මුන්ගෙන් බේරිලා යන්න. කවදා හරි අපි හමු වේවි. ගිණි අවියට, මරාගෙන මැරෙන ඇඳුමට, බෝම්බයට, සයිනයිඩ් කරලට ආදරය විනාශ කරන්නට බැරිය. එය පසක් වූයේ මොවුන් ගේ වදන් වලින්ම ය. සියල්ලන්ගේම කල්පනා ලෝකය බිඳීමින් සිනමා නළු විවේක් ඔබ්රෝයි සමත්විය. ඔහු අපේ දමිළ තරුණ තරුණියෝ එක්ක නර්තනයට එක් විය. ඉන්දියානු සිනමාව මොහොතකට වව්නියාව පොම්පමඩුවලට ගෙන එන්නට විවේක්ට හැකි වූයේය.

දරුවන් කොතරම් උරණ වුණත් උඩුගම්බලා පීනන්නට උත්සාහ කළත් අම්මා, තාත්තා එයින් දරුවන් ගලවා ගන්න උත්සහ ගනී. මෙහිලා ඒ ගෞරවය හිමිවන්නේ ජනාධිපතිතුමා ඇතුළු පවතින රජයට ය. ඒ නොමඟගිය දරුවන් යහමඟට ගන්න සැබෑ ලෝකය කියා දුන්න නිසාය. විවාහකර දුන් නිසාය. පදිංචියට ගෙයක් රුපියල් 10000ක තැන්පතු මුදලින් ජීවිතයට නැගී සිටින්නට කියාදුන් නිසාය.

මනාල යුවළට පිටත්ව යන්න වේලාව පැමිණ ඇත. ඔවුන් කඳුළු සඟවාගෙන ප්‍රීතිමත් මුහුණින් පිටව ගියහ. ඔවුන්ට සුබ අනාගතයකට ආසිරි පතන්නට අපිත් එක්වූයෙමු.
 

හදවතේ භක්තිමත් තැනෙක ඔබ තබා ගමි

අග්නි දෙවියන් සාක්ෂියි; අපි අපේමයි

ඉර හඳ පවත්නා තාක් එක්ව හිඳින්නෙමු...

මංගල උත්සවයට පැමිණි ආරාධිත අමුත්තෝ...

ඔබේ ආත්මීය බැඳීමට මගේ සුබ පැතුම්...

ඉන්දියානු සිනමාව වවුනියාවට ඇවිදින්...

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා