මැල්කම් රංජිත් කාදිනල්තුමා දැයට අභිමානයක්

මැල්කම් රංජිත් කාදිනල්තුමා දැයට අභිමානයක්

තාලයට බිමට වැටෙන වැහි පොද පරිසරය තව තවත් සීතල කළේය. කටුනායක ගුවන් තොටුපොළ සිසාරා වතිකානුවේ සිට ලෝකයටම දැනෙන්නට සැලැස්වූ දේවාශීර්වාදය හදවතට දැනී කතෝලික බැතිමත්හු දකුණතින් පපුවේ කුරුසය සලකුණු කොට වමතින් සුදු ධජය ගෙන නව කාදිනල්තුමාට පවන් සැලූහ.

ශාන්තව තැන්පත්ව කටුනායක ගුවන් තොටේ පසෙක වැඩ සිටි මහා සංඝරත්නය සුඛෝ දීඝායුකෝ භව ගාථා පාඨයෙන් සෙත් පිරිත් සජ්ඣායනා කරද්දී කාදිනල් මැල්කම් රංජිත් පියතුමෝ අපේක්‍ෂා කළ ආගමික සංහිඳියාව ප්‍රතිනිර්මාණය විය.

වතිකානුවේ දී බෙනඩික් පාප්වහන්සේ අතින් රක්ත වර්ණ හිස් වැස්ම පැළඳ මවුබිමට වැඩියේ තමන්ට පැවරූ වගකීම එලෙසින්ම ඉටු කරන්නට ජනතාව හමුවේ ප්‍රතිඥා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තව තවත් ඔප් නංවන්නට වසර 46 කට පසුව කාදිනල් පදවියෙන් පිදුම් ලැබූ මැල්කම් රංජිත් පියතුමෝ කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු යනුවෙන් ජනතාව වර්ග කළේ නැත.

උන්වහන්සේගේ උපදේශය වන්නේ ඕනෑම ආගමික බැතිමතෙකුට පල්ලියේ බැසිලිකා දෙව්ලෝ දොරවල් විවර කළ යුතු බවය. එසේ දේශනා කොට නිහඬ වූයේ නැත. කතෝලික බැතිමතුන් බොරැල්ලේ බැසිලිකාවට ගෙන්වා තෑගි භෝග පිරිනැමූහ.

මහා සංඝරත්නය වැඩම කරවා පිරිත් සජ්ඣායනා ශ්‍රවණය කොට දනක් පිදූහ. අගරදගුරු නිවස වෙසක් දා දන්සලක් බවට පත් කළේය. තමන් උදෙසා මල් මාලා ඇතුළු සැරසිලි ප්‍රතික්‍ෂේප කරන කාදිනල්තුමා නත්තල් කෑම මේසය දුප්පතුන් සඳහා විවර කරන්නැයි යෝජනා කර සිටිති.

මහා වගකීමක් හදවතින් දරාගෙන මාතෘ භූමියට පැමිණි නව කාදිනල් මැල්කම් රංජිත් පියතුමාට අපි යළි යළිත් දේවාශීර්වාදය පළ කරමු.  හිස නමා ප්‍රණාමය පුද කරමු. ඔබ වැනි කාදිනල්වරුන් දැයේ වාසනාවක් බැවිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා