පේ‍්‍රමදාස පිටියේ තණ තීරුවට වඩා පල්ලේකැලේ තණ තීරුවේ පන්දුව දඟ කැවේවි

ශ්‍රී ලංකා-කොදෙව් තෙවැනි ටෙස්ට් ගැටුම අද ඇරැඹේ

පේ‍්‍රමදාස පිටියේ තණ තීරුවට වඩා පල්ලේකැලේ තණ තීරුවේ පන්දුව දඟ කැවේවි

- ශ්‍රී ලංකා නායක

ඉන්දියා උප මහාද්වීපයේ ටෙස්ට් තරග මාලාවක් ජයගත් දිනයක් මතකයට එන්නේ නැහැ

- කොදෙව් පුහුණුකරු

කුමාර් සංගක්කාර

ඩැරන් සැමී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද ඇරැඹෙන තෙවැනි හා අවසාන ටෙස්ට් තරගය පැවැත්වෙන පල්ලේකැලේ තණතීරුව දෙවැනි ටෙස්ට් තරගය පැවැති කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේ තණ තීරුවට වඩා දඟ කැවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, තරගයේ තෙවැනි දිනය වන විට දඟ පන්දු යවන්නන් මෙහි වැඩි දස්කම් දක්වනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඊයේ පැවැසීය.

අද ඇරැඹෙන තරගය 2011 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිවන පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මංගල ටෙස්ට් තරගය වේ. මේ තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක්වන බැවින් ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනෙක් හා දඟ පන්දු යවන්නන් දෙදෙනකුගෙන් සන්නද්ධව තරග බිමට පිවිසෙනු ඇතැයි ද සංගක්කාර කීවේ ය.

මැද පෙළ පිතිකරුවන් මේ තරගයේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇතැයි ද විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට තමා අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කෙළේ ය. පල්ලේකැලේ ක්‍රීඩාංගණය දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් ක්‍රීඩාංගණයට බෙහෙවින් සමාන බවත්, මෙහි වැඩ නිම වූ පසු එය ලෝකයේ තිබෙන හොඳම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වනු ඇති බවත් සංගක්කාර කීවේ ය.

“මෙවර තරගාවලියේ වඩාත්ම තීරණාත්මක තරගය මෙයයි.  ඒ නිසා අපි ඉතා හොඳින් ක්‍රීඩා කළ යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ තුනේම අපි හොඳින් ක්‍රීඩා කිරීමට වග බලා ගත යුතුයි” ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසා සිටියේ ය. දෙපිල අතර මෙතෙක් පැවැති තරග දෙකම ජය පැරැදුමින් තොරව අවසන් වූ බැවින් ත්‍රිත්ව ටෙස්ට් තරගාමාලාව දැනට 0 – 0ක් ලෙසින් සම තත්ත්වයේ පවතී.

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් මනා ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවත් හෙට (අද) උදේ තණ තීරුව පරීක්ෂා කිරීමෙන් පසුව පන්දු යැවීමේ විකල්ප පිළිබඳ තීරණයක් ගන්නා බවත් කුමාර් සංගක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කෙළේ ය. මහනුවර ඉහළ අහස වළාකුලෙන් බරව තිබූ අතර ඊයේ දහවලේ සිට වැසි පතිත වෙමින් තිබිණි.

මේ දේශගුණය පිළිබඳව කළ කිරීමට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පුහුණුකරු ඔටිස් ගිබ්සන්, එහෙත් එය අපට පාලනය කළ නොහැකි දෙයක් බව පවසයි. ශ්‍රී ලංකාව සතුව ඉතාමත් ශක්තිමත් මැද පෙළ පිතිකරුවන් සිටින බව අප දන්නා බවත්, සංගක්කාර ඉතා හොඳින් පන්දුවට පහර දෙන බවත් ගිබ්සන් කියා සිටියේ ය. ඒ නිසා අපේ පන්දු යවන්නන් හරි තැනට පන්දුව පතිත කළ යුතුයි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි ලකුණු රැස් කිරිමට ඉඩ නොදීමට අපේ පන්දු යවන්නන් පරිස්සම් විය යුතුයි” ශිවනාරින් චන්දර්පෝල් යළි ලකුණු අතරට පිවිසෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්, ඔහු යළි ලකුණු අතරට පැමිණියහොත් තම කණ්ඩායම ද පිති හරඹය අතින් ශක්තිමත් වනු ඇති බවත් ගිබ්සන් කියා සිටියේ ය. දැනට කොදෙව් ඉනිම ගොඩ නැඟෙන්නේ ක්‍රිස්ගේල් වටා බව කී කොදෙව් පුහුණුකරු එබැවින් කණ්ඩායමේ අනික් පිතිකරුවන් ද ලකුණු රැස් කිරීම අද ඇරැඹෙන තරගයේ අවශ්‍යතාවය බව ද ඔහු ප්‍රකාශ කෙළේ ය.

කොදෙව් පිලේ පන්දු යැවීම අතින් බලනවිට සුලෙයිමාන් බෙන් ප්‍රතිඵල ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව කී ඔටීස් ගිබ්සන් කොදෙව් පිල ඉන්දීය උප මහද්වීපයේ ටෙස්ට් තරගමාලාවක් ජය ගත් දිනයක් තමන්ට මතක් කර ගත නොහැකි බවත්, එය මේ තරගයේ දී වෙනස් වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් කියා සිටියේ ය.

‘සංගා’ යළි මුදුනට

මේ අතර ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටි ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් අභිබවා යමින් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයට කුමාර් සංගක්කාර පත්ව සිටී. ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ පළමු ටෙස්ට් තරග දෙකේදී සංගක්කාරගේ දක්ෂතා නවසීලන්තයට එරෙහිව තෙන්ඩුල්කාර්ගේ දක්ෂතා අභිබවා යාම නිසා ජගත් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල මේ ස්ථාන මාරුව සිදුව තිබේ.

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගමාලාවේ සංගක්කාර දැනට ලකුණු 228ක් ලබාගෙන ඇති අතර ඒ අනුව ඔහුට ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 882ක් හිමිව තිබේ. එය තෙන්ඩුල්කාර්ට වඩා ලකුණු 23ක පෙරමුණකි. තෙන්ඩුල්කාර්ට නවසීලන්තයට එරෙහිව ඉනිම් 4ක දි ලබාගත හැකි වුයේ එක් අර්ධ ශතකයක් පමණි.

තෙන්ඩුල්කාර්ට වඩා ලකුණු 9ක් පිටු පසින් විරේන්ද්‍ර ෂෙවාග් තෙවැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාවේ ජැක්ස් කලීස් ලකුණු 806ක් ලබාගෙන සිවු වැනි ස්ථානයේ සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා