මල් බඳු දරුවනට නෙත් බඳු පොත්

මල් බඳු දරුවනට නෙත් බඳු පොත්

අධ්‍යාපන විද්‍යාවේදී සමාජා’නුයෝගය නම් ශිල්පීය වචනයක් භාවිත කරනු ලැබේ. දැනුම, ආකල්ප, කුසලතා, සමාජ සාරධර්ම උකහා ගනිමින් සමාජයීය ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන ශක්තිමත් මිනිසකු බිහිකිරීම සමාජා’නුයෝගයෙහි ඉලක්කය යි. එය මිනිස් ජීවිතය මෙහෙය වනු ලබන ප්‍රධාන බලවේගයෙකි. ඉන් ප්‍රධාන කරුණු දෙකක් ඉටුවේ. පළමුවන්න; සමාජයේ සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමට පුහුණු කිරීම ය. දෙවන්න; සමාජය වෙත ගලාඑන අභියෝග ජයගැනීම සඳහා පුද්ගලයාගේ අත්දැකීම් හා බුද්ධිය මෙහෙයැවීම ය. මේ දෙකම අධ්‍යාපනය මගින් ඉටුවේ.

අධ්‍යාපනය ගැන කියත්ම ලෙනින්ගේ ප්‍රකාශයක් අප සිහියට නැඟේ. සාර් පාලනය යටතේ පැවැති රුසියාව තුළ අධ්‍යාපනය යනු වරප්‍රසාද ලත් පන්තියේ සම්පතක් විය. ඒ අනුව එදා රුසියාවේ මුළු ජනගහනයෙන් 90%ක් පමණ අකුරු කියැවීමට නොදත්හ. සාර් පාලනය යටතේ රුසියානුවන් අන්ධකාරයේ ජීවත්වූ බවත් එම අන්ධකාරය යුරෝපයේ අන් රටවලට වඩා තම රටෙහි භයානක ලෙස පැවැති බවත් ලෙනින් පෙන්වා දුන්නේ ය. 1917 විප්ලවයෙන් පසු රුසියාවේ සියලු දෙනාට ම සාර්ථක අධ්‍යාපනයක් ලබාදෙන ක්‍රමයක් නිර්මාණය විය. ඉන් නො නැවතුණු සෝවියට් දේශය තම මිත්‍ර රටවලට ද නොමිලේ අධ්‍යාපනය ලබාදීමට ක්‍රියා කළේය.

තුන්වන ලෝකයේ රාජ්‍යයන් අතර සාර්ථක ම අධ්‍යාපන ක්‍රමවේදයක් පැවැති රට ලෙස ටැන්සානියාව හැඳින්වේ. අපි‍්‍රකාව පුරා නූගත්කම පැතිර යද්දී; ටැන්සානියාව අධ්‍යාපනය අතින් පෙරමුණට පැමිණියේ ය. ඊට මූලිකත්වය දුන් නායකයා වූයේ ජුලියස් නියරේරේ ය. ඔහු 1967 දී හඳුන්වා දුන් අරූෂා ප්‍රකාශනය මගින් රටේ සමස්ත අධ්‍යාපනය පරිවර්තනයකට ලක් කළේ ය. වැඩිහිටි අධ්‍යාපනයට ද අරූෂා ප්‍රකාශනය මගින් ප්‍රමුඛ තැනක් ලැබිණි. දේශපාලන නායකත්වය අධ්‍යාපනයේ බර කරට ගත යුතු ය. රටේ සංවර්ධනය, ඉදිරිගමන, නිදහස යන සියලු කරුණු තීන්දු කරන ප්‍රධාන බලවේගය අධ්‍යාපනය යැයි කිව හැකි ය.

ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපනයක් පවතින නිදහස් රාජ්‍යයෙකි. හෝඩියේ සිට විශ්වවිද්‍යාල උපාධිය තෙක් නොමිලේ අධ්‍යාපනය ලබාදෙන එකම රාජ්‍යය ශ්‍රී ලංකාව වන්නට පුළුවන. මුළු ජාතික ආදායමෙන් සැලකියයුතු ප්‍රතිපාදනයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ. මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකනු ලබනුයේ කන්නන්ගර මැතිතුමන් ය. 1945 දී එතුමා හඳුන්වා දුන් ප්‍රතිපත්ති මෙරට ධනපති පන්තියේ ගර්හාවට ලක්විය. බූර්ෂුවා පන්තිය ඊට විරුද්ධ ලෙස කටයුතු කළ ආකාරය ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් 1956 ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය නිසා නැවතත් නිදහස් අධ්‍යාපනය ස්ථාපිත විය. අද අප පැමිණ සිටිනුයේ නිදහස් අධ්‍යාපනයේ තවත් ස්වර්ණමය යුගයකට ය.

ජාතියේ අනාගතය භාරගැනීමට නියමිත ලක්ෂ හතළිහකටත් අධික දූ – දරුවන් උදෙසා නොමිලේ නිල ඇඳුම්, නොමිලේ පෙළ පොත් ලබාදුන්නේ කවුද? ඉතා කෙටි කාලයක් තුළ පාසල් දහසක් සංවර්ධනය කිරීමට තීන්දු කළේ කවුද? වත්මන් ආණ්ඩුවට ජාතියේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලි සැලැසුමක් හා දැක්මක් ඇතැ’යි නිසැක ලෙසම කිව හැකි ය. අධ්‍යාපන ලේකම්වරුන්ගේ අභිමතයට අනුවද, අමාත්‍යවරුන්ගේ අභිමතයට අනුවද හිතුවක්කාරී ලෙස අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කොට අනාගත පරපුර අසහනයට පත් කළ කාලයක් තිබිණි. සියලු විෂයයන් ඉංගී‍්‍රසියෙන් ඉගැන්විය යුතු යැයි එක්තරා කාලයක ගත් තීන්දුව අප මතකයට නැඟේ. එබඳු තීන්දු ගත හැක්කේ රට හා ජාතිය ගැන අල්පමාත්‍ර හෝ හැඟීමක් නැති අයටය.

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය නායකයා දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතා වුවමනාවෙන් කටයුතු කරනු දක්නට ලැබේ. ශ්‍රී ලංකාව බහුජාතික හා බහු ආගමික රාජ්‍යයක් ලෙස සලකා සියලු දරුවනට ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමටත්; ආගමික අධ්‍යාපනය හැදෑරීමටත් අවශ්‍ය පසුබිම දැන් සකස් වී තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා මෙන් ම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ද තම කාර්යයන් වගකීමෙන් යුතුව ඉටුකරමින් සිටිති. කලා හා සෞන්දර්යය අංශයේ උසස් අධ්‍යාපනය සඳහා ගණිතය විෂයයෙන් සමත්වීම අනිවාර්ය නොවන බවට තීන්දුවක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගෙන තිබේ. එය ඉතා බුද්ධිමත් තීන්දුවක් සේ සැලැකිය හැකි ය. පොත් බෑගය සම්බන්ධයෙන් ද පාසල් වෑන් රථ ධාවනය සම්බන්ධයෙන් ද එබඳු බුද්ධිමත් තීරණ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගෙන තිබේ.

ශශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ශාඛාවක් මාලදිවයිනෙහි පිහිටුවීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා තීන්දු කර තිබේ. මෙවැන්නක් මීට පෙර සිදුවී නැත. මෙරට විශ්වවිද්‍යාල අන්තර්ජාතික මට්ටමට ගෙනඒමේ දැඩි උත්සාහයක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට තිබේ. එතුමාගේ වැඩපිළිවෙළ නිවැරැදිය. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය අන්තර්ජාතික මට්ටමට ගෙන යා යුතුය.

අපගේ අධ්‍යාපනය කොදෙව් මානසිකත්වයෙන් මුදාගත යුතුය යන්න මෙරට ඇතැම් දේශපාලන ව්‍යාපාර තවම තේරුම් ගෙන නැත. ඒ අනුව අධ්‍යාපනයේ පුළුල් දැක්මට එරෙහිව සටන් වදින කණ්ඩායමක් බිහිව සිටිති. අධ්‍යාපනය ඉදිරියට ගමන් කරනුයේ එම බාධාකිරීම්ද සමඟ ය.

අධ්‍යාපනයේ මූලික අරමුණ යහපත් පුරවැසියන් බිහිකිරීම ය. ඒ සමඟ රටට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීම ය. මේ සාධක දෙක රටක ඉදිරිගමන හා සංවර්ධනය සමඟ අත්‍යන්තයෙන් බැඳී පවතී. දරුවනි ! හොඳින් ඉගෙනගන්න ! රටට හා ජාතියට ආඩම්බර විය හැකි දූ – පුතුන් වන්න ! හෙට දවසේ අනාගතය ඔබ අතට පත්කරමු ! වැරැදි චර්යා ඉවත් කිරීමට ද නිවැරැදි චර්යා මතුකර ගැනීමට ද අවශ්‍ය ඥානය අපේ දරුවන් වෙත පහළ වේවා ! ආණ්ඩුවේ ද අපගේ ද ප්‍රාර්ථනය එය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා