අලුත් පාසල් වාරය

අලුත් පාසල් වාරය

අලුත් අවුරුද්දේ පාසල් වාරය ඊයේ ආරම්භ වූ නිසා අලුත් ඇඳුම් ඇඳගෙන අලුත් පොත්ටික අලුත්ම බෑග් එකක දමාගෙන අලුත් පන්තියට යන පුංචි දූලා පුතාලා ගැන පුංචි සටහනක් තැබීම යෝග්‍ය යැයි අපට සිතුණි. සුදට සුදේ කිරි කොකුන් සේ දූ දරුවන් ගමේ පාරවල් දිගේ හිරිමල් සිනහවෙන් එක පොදියට යන හැටි දකින විට අතීතයට හිත යොමු කරන්නේ හරිම ආශාවකිනි.

ඒ වගේ ම නගරයේ ලොකු ලොකු පාසල්වලට යන අය පාසල් වෑන් රථවලින් ද සල්ලිකාර දෙමාපියන්ගේ දරුවන් නම් තඩි කාරයක පිටුපස ආසනයට බර වී රියැදුරා සමඟ පාසල් යන හැටිත් ඒ කාර් එකේ යන දුවට පුතාට උගන්වන ගුරුවරුන් පදික වේදිකාව දිගේ පයින් යන හැටිත් අපට මැවී පෙනේ. අම්මා තාත්තා කොයිතරම් සල්ලිකාරයෙක් වුණත් තඩි කාර්වල ඉස්කෝලේ ගියත් අකුරු කරන්නට පන්තියට ගිය විට පදික වේදිකාවේ පයින් ගිය ගුරුවරුන්ට උජාරුකම් පෙන්වන්නේ නැත. ගුරුතුමා දරුවාට සර්ය.

ගුරුතුමිය මිස් නැතිනම් මැඩම් ය. පාසලේ අවසන් අවුරුද්දේ අවසන් විභාග දින කිහිපය ගැනත් අලුත් අවුරුද්දේ මුල් සතිය ගැනත් ගොඩනැ¼ගුණ ලස්සන කතාවක් ද තිබේ. එය මේ රටේ නිර්දන පන්තිය වෙනුවෙන් පෙනී සිටි මාක්ස්වාදී දේශපාලනඥයන්ට ඇණුම් පදයක් ලෙස නිර්මාණය වූ කතාවකි. දෙසැම්බර් මාසයේ වාර විභාගය අවසන් වූ විගස මාක්ස්වාදය පටන් ගන්නා බව කියති. ඒ කියන්නේ හැම දරුවෙක්ම තමන්ට ලැබුණ මාක්ස් නැතිනම් ලකුණු ගැන සාකච්ඡා කිරිමය. ඊයේ පාසල්වල පන්ති සටන ඇරැඹිණි.

ඒ කියන්නේ අලුත් පන්තියට ගොස් අලුත් ඩෙක්ස් එකක් අලුත් පුටුවක් ගන්නට දරුවන් පොරකන නිසා ය. කෙසේ හෝ නව වසර ආරම්භ වන්නේ අලුත් තීන්දු රැසක් සමඟ ය. පාසල් කැන්ටිමේ ජරාව විකිණීම සම්පූර්ණයෙන් තහනම් ය. දරුවන් ගෙන යන පාසල් වෑන් රථවලට බලපත්‍රයක් ගත යුතුම ය. බලපත්‍ර රහිත වෑන් රථ සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක වෙයි. එසේ කරන්නේ දරුවන්ගේ ම ආරක්ෂාවටය. අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශයට අලුතින් විෂයන් එකතුවීම ද නව වසරේ ගන්නා අලුත් තීන්දුවකි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් වුව ද සාමාර්ථයක් ලැබෙන තුරු ණයට උසස් පෙළ කිරීම මේ වසරේ වෙනස් වන්නේ ය. ගණිතය අසමත් වුව ද එම දරුවන්ට උසස් පෙළ පන්තිවල දොරවල් විවර වෙයි. කොන්ද නමාගෙන බර පැට වූ බූරුවන් සේ පාසල් ගිය දරුවාට බර නැති අලුත් බෑගයක් හඳුන්වා දී ඇත්තේ ද මේ වසරේ සිට ය. හැබැයි පුංචි කසු කුසුවක් ද ඇසේ.

හේතුව බෑගය රුපියල් 750 සිට මිල නියම කිරීමය. එම බෑගය අනිවාර්යය නොවේ. අධ්‍යාපන ඇමැතිතුමා ඛ්යන්නේ බෑගයට එවැනි මුදලක් වැය කරන්නට බැරි නම් පංමල්ලක හෝ කොට්ට උරයක වුව ද පොත් ටික දාගෙන පාසලට යා හැකි බවයි. අලුත් බෑග් එක හඳුන්වා දුන්නේ පොඩි එකාට මහවදයක් වූ බෑග් රැගෙන යාමට සිදුවීම ගැන දෙමව්පියන්ගෙන්ම ලැබුණු පැමිණිල්ලක් නිසා ය. අලුත් පන්තියට යන සියලු දූ දරුවන්ට අපි සුබ පතමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා