සැබෑ මිනිසකුගේ කතාවෙන් බිඳක්

සැබෑ මිනිසකුගේ කතාවෙන් බිඳක්

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පහළ වූ අද්විතීය රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ යැයි හැඳින්වීම අතිශයෝක්තියක් හෝ පුරාජේරුවක් හෝ නො වේ. වසර හයසිය ගණනකට පසු ශ්‍රී ලංකාව එක්සේසත් කළ නායකයා ඔහු ය. වසර තිහකට පසු ත්‍රස්තවාදය පරාජය කොට මව්බිමට නිදහස ලබා දුන් නායකයා ද ඔහු ය. 1948 න් පසු බිහි වූ රාජ්‍ය පාලකයන් අතර අද්විතීය ස්ථානයක පවතින්නට එම හේතු දෙක වුව ප්‍රමාණවත් ය. විනයගරුක සමාජයක් සමඟ රට ආර්ථික සමෘද්ධිය කරා මෙහෙයවන්නට ඔහුගේ දැනුමෙන්, අත්දැකීමෙන් හා බුද්ධියෙන් නිර්මාණය වූ මහින්ද චින්තනය නම් දර්ශනය සමත් වේ යැයි දේශීය හා විදේශීය උගත්හු පිළිගනිති.

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවන වරට ද ජනාධිපති පදවිය සඳහා බහුතර මහජන ඡන්දයෙන් තේරී පත් වූයේ අද වැනි දිනෙක ය. එම ඓතිහාසික සංසිද්ධියට වසරක් සම්පූර්ණ වේ. මහින්ද රාජපක්‍ෂ මහතා නො වන්නට මේ රට යන අත කිසිවකුටත් සිතා ගත නො හැකි ය. අප්‍රිකානු මහාද්වීපයේ විශාලම රාජ්‍යය වූ සුඩානය ත්‍රස්තවාදයට හා බටහිර අධිරාජ්‍යවාදයට යට වී මීට සති කිහිපයකට පෙර දෙකඩ විය. දකුණු සුඩානය හා උතුරු සුඩානය නමින් රටවල් දෙකක් දැන් දකින්නට ලැබේ. මේ ලෙසින් ම සර්බියාවේ කොටසක් කඩා කොසෝවෝ රාජ්‍යය බිහිකරන ලදී. රටවල් බෙදා වෙන්කිරීම ලෝක බලවතුන්ගේ සෙල්ලමක් බවට පත් ව තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් නො වූයේ නම්; ශ්‍රී ලංකාව ද කැබැලි වී යනු ඇත.

ඔහු දෙවන වර බලයට පත්වන විට ත්‍රස්තවාදය අවසන් වී තිබුණ ද වෙනත් දේශපාලන අභියෝග රැසක් පැවැතිණි. එම දේශපාලන අභියෝග අතර විවේචන, ගැරහුම් හා මඩ ගැසීම් ද තිබිණි. තව පිරිසකගේ උත්සාහය වූයේ ඔහු අන්තර්ජාතික අධිකරණයක් හමුවට ගෙන ගොස් යුද අපරාධකරුවකු ලෙස දඬුවමට ලක්කිරීම ය. ඒ සඳහා ක්‍රියාත්මක වූ දේශීය හා විදේශීය කුමන්ත්‍රණ ගණනාවක් පැවැතිණි. මානව හිමිකම් චෝදනා ශ්‍රී ලංකාවට එල්ල විය. බටහිර රටවල් විවේචනාත්මක දෘෂ්ටියකින් මහින්ද රාජපක්‍ෂ මහතා දෙස බලන්නට පටන් ගත්තේ ය. ත්‍රස්තවාදයට සහාය දක්වන පිරිස් දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද ක්‍රියාත්මක වූහ. මහින්ද රාජපක්‍ෂ මහතා මේ සියල්ලට මුහුණ දුන්නේ සංසුන් හා තැන්පත් ආකාරයකින් ය.

දෙවන වර ජනාධිපතිවරණය පැවැත්වීමට තීන්දු කළ විට විපක්‍ෂය ඊට එරෙහි ව නැඟී සිටියේ ව්‍යවස්ථාව මුල්කරගෙන ය. එහි යටි අදහස වූයේ රට එක්සේසත් කළ ජනපි‍්‍රය නායකයාගේ නැවත පත්වීම අහෝසි කිරීම ය. නෛතික ප්‍රතිපාදන සහිතව එම ගැටලුව නිරාකරණය නො වූයේ නම්; ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන නැවත ඇණහිටින්නට ඉඩ තිබිණි. දේශපාලන ස්ථාවරත්වය හා සාංස්කෘතික උරුමය යන කරුණු දෙක ම රටක සංවර්ධනය කෙරෙහි තදින් ම බලපායි. මහින්ද රාජපක්‍ෂ මහතා දේශීය උරුමය රැකගනිමින් දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟා ගත් නායකයෙකි. චීනය, ඉන්දියාව, ජපානය වැනි ආසියාවේ බලවත් රාජ්‍යයෝ මේ තත්ත්වය මැනැවින් විග්‍රහ කොට ශ්‍රී ලංකාවට හා එහි රාජ්‍ය නායකයාට සහයෝගය දැක්වීමට පටන් ගත්හ. එම පසුබිම මෙරට ආර්ථික ගමන්මඟෙහි සන්ධිස්ථානයක් ඇතිකිරීමට සමත් විය.

එදා විපක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි ව නැඟූ ප්‍රධාන දේශපාලන චෝදනා දෙකක් තිබිණි. පළමුවැන්න ඔහුට ලෝක දේශපාලනය තුළ පිළිගැනීමක් නැත යන්න ය. දෙවැන්න මහින්ද රාජපක්‍ෂ මහතාට සාර්ථක ආර්ථික වැඩපිළිවෙළක් නැත යන්න ය. ඔහු එම චෝදනාවලට පිළිතුරු සපයන්නට ගියේ නැත. එහෙත් කාලය ගෙන ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූයේ චෝදනා දෙක ම පුස්වෙඩිලි බව ය. ඇමෙරිකාව මහින්ද රාජපක්‍ෂ මහතා දැක්මක් ඇති දක්‍ෂ පාලකයකු බව කියා සිටියේ ය. එරට ධනවත් ව්‍යාපාරිකයනට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැ’යි උපදෙස් ලබා දුන්නේ ය. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහින්ද චින්තනය හා එහි ඉදිරි දැක්ම සාර්ථක ආර්ථික වැඩපිළිවෙළක් ලෙස පිළිගෙන ණය හා ආධාර ලබා දුන්නේ ය. මේ අයුරින් ආර්ථිකයත්, දේශපාලනයත් අලුත් මාවතකට ගෙන ඒමට ඔහු සමත් විය.

ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අවශ්‍ය මූලික සාධක සියල්ල ම පාහේ සම්පූර්ණ කිරීමට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමත් ව තිබේ. ඒ ඉතා කෙටි කාලයක් තුළ ය. කොළඹ වරාය පුළුල් කර ඇති අතර හම්බන්තොට තවත් අන්තර්ජාතික වරායක් ඉදි වී තිබේ. තවත් වරායවල් ගණනාවක් අලුතින් ඉදිවෙයි. වරායක් යනු ලෝක වෙළෙඳාමට පිවිසිය හැකි දොරටුවක් බඳු ය. විදුලිය හා මහාමාර්ග සංවර්ධනය කැපී පෙනෙන සංවර්ධන සාධක දෙකක් ලෙස පවතී. මෙරට රාජ්‍ය නායකත්වයට පත්වන ඕනෑම දේශපාලකයකුට ඉහත කී සාධක නො මැති ව රට සංවර්ධනය කළ හැකි නො වේ. මහින්ද රාජපක්‍ෂ මහතා දැක්මක් ඇති ව මෙරට ආර්ථිකය හසුරවන බව දැන් බොහෝ දෙනා පිළිගනිති. මේවායෙහි ප්‍රතිලාභ ජනතාව වෙත ගලා එන්නට තව සුළු කාලයක් ගතවනු ඇත. එහෙත් දුෂ්කර කාලය නිමාවෙමින් පවතී.

නිදහසින් පසු රාජ්‍ය නායකත්වයට පත් වූ හොඳම හා සාර්ථක ම පාලකයා මහින්ද රාජපක්‍ෂ යැයි බොහෝ දෙනා කියති. ඒ සඳහා දක්වන ප්‍රබල තර්කයක් වනුයේ නිදා සිටි රට අවදි කිරීම ය. නිදහස ලබන විටත් මෙරට මිනිසුන්ගේ චින්තනය වූයේ සීසීකඩ ය. බොහෝ අයට රට හා ජාතිය ගැන විශේෂ හැඟීමක් හෝ ආදරයක් හෝ තිබුණේ නැත. මහින්ද රාජපක්‍ෂ මහතා මව්බිම සංකල්පය රටවැසියන් අතර ප්‍රචලිත කළේ ය. බාල පරම්පරාව රටට ආදරය කරන පිරිසක් බවට පත්කිරීම සඳහා ඔහු හැම විට ම මහන්සි ගත්තේ ය. එහි ප්‍රතිඵලය ඉතා සාර්ථක විය. රට හැර ගිය අය ද පෙරළා මව්බිමට එන්නට පටන් ගත් හ. වසර හැට ගණනක් පුරාවට දක්නට නො ලැබුණු දේශමාමකත්වයක් දැන් ගොඩනැඟී තිබේ.

මේ වන විට රටට ඉලක්කයක් තිබේ. ශ්‍රී ලාංකික ජාතියට අරමුණක් තිබේ. මේ පෙරැළිය ඇති කළ නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. ඔහු ගේ දේශපාලන ගමන් මඟට ඇති ප්‍රබල ම ශක්තිය ග්‍රාමීය ජනතාව ය. ග්‍රාමීය ජනතාව යනු මේ රටේ මුළු ජනගහනයෙන් 80% ක් පමණ නියෝජනය කරන නිහඬ එහෙත් රටට ආදරය කරන බුද්ධිමතුන් පිරිස ය. අප ඔවුන් බුද්ධිමතුන් ලෙස හඳුන්වනුයේ ඔවුන්ගේ තීන්දුව නිවැරැදි බැවින් ය. මහින්ද රාජපක්‍ෂ මහතා හැකි සෑම විටකම ගමට යයි. ගමේ මිනිස්සු ඔහු බැලීමට ද ඔහුගේ දෑත අල්ලා ගැනීමට ද පොරකති. ඒ ඔවුන්ගේ නායකයා ය. ඔවුන්ගේ හිතවතා ය. මේ බැඳීම හා හැඟීම චිරාත් කාලයක් පවතිනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා