රුසියාවේ ඩොමොඩෙඩුවා ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

රුසියාවේ ඩොමොඩෙඩුවා ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ජනපති උපදෙසින් රට පුරා ආරක්ෂාව තර කරයි

* 35 දෙනෙක් මිය යති

* 130කට තුවාල

රුසියාවේ මොස්කව් නගරයේ විශාලතම ගුවන් තොටුපොළ වන ඩොමොඩෙඩුවා ගුවන්තොටුපළේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් පෙරේදා (සඳුදා) පුපුරුවා හරින ලද බෝම්බයකින් 35 දෙනෙක් මියගොස් තිබේ. මේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 130කට අධිකය. මේ අයගෙන් 20 දෙනෙක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අවස්ථාවේදී එම ගුවන්තොටුපළෙහි අති විශාල පිරිසක් රැඳී සිට ඇත.

රුසියාවේ මොස්කව් හි ඩොමොඩෙඩෝවෝ අන්තර් ජාතික ගුවන් තොටුපොලේ 35 දෙනකු ඝාතනය වුණු බෝම්බ පිපිරීමෙන් පසු තරකෙරුණු ආරක්ෂක තත්ත්වය මැද ගුවන් මගීන් සෝදිසි මුරපොළක් පසුකිරීමට පේලි ගැසී එන අයුරු.

ඒ. එෆ්. පී.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික හදිසි රැස්වීමක් රුසියන් ජනාධිපති ඩිමිට්‍රි මෙද්වදෙව් විසින් කැඳවන ලදී. එහිදී රටේ ප්‍රධාන පෙළේ ගුවන්තොටුපළවල් සහ දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක මුරකා යොදන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සහ තවත් විදේශිකයන් කිහිපදෙනෙක් සිටි බව වාර්තාවේ. මේ මාරාන්තික ප්‍රහාරයෙන් අනතුරුවත් ගුවන් තොටුපළේ කාර්යයන් සාමාන්‍ය පරිදි සිදුකරගෙන ගොස් ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුගේ බවට සැකකෙරෙන “අරාබි ස්වරූපයෙන්” යුත් හිසක් රුසියන් විමර්ශන කණ්ඩායම විසින් සොයාගෙන ඇති බව “ඉන්ටර් ෆැක්ස්” පවසයි. මූලික තොරතුරුවලට අනුව, බෝම්බකරු මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු කොකේසස්හි පදිංචිකරුවෙක් බව පැවැසේ. මේ ප්‍රහාරය හේතුකොටගෙන රුසියාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ප්‍රබල පහරක් එල්ල වී ඇත.

එමෙන්ම එරට ආරක්ෂාව පිළිබඳව විශ්වාසය පලුදු වී ගොස් තිබේ. 2014 ශීත ඔලිම්පික් තරගාවලිය සහ 2018 ලෝක සූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ රුසියාවෙහිය. පසුගිය වසර කිහිපය තුළ මොස්කව් නගරය ත්‍රස්තවාද ප්‍රහාර ගණනාවකට ගොදුරු විය. අමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු ලෝක නායකයන් මේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා