එජනිස නාම යෝජනා බාරදීම හෙට

එජනිස නාම යෝජනා බාරදීම හෙට

පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා බාරදීම හෙට (27) සිදුකෙරේ. නාමයෝජනා බාරදීමේ කටයුතු ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු නීතිඥවරුන්ගේ මාර්ගයෙන් සිදුකෙරෙන අතර ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකටම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නීතිඥ කණ්ඩායමක් පත්කොට ඇත.

අපේක්ෂකයන් හාරදහස් දෙසියකට අධික පිරිසක් ඊයේ සවස වන විට නාමයෝජනා අස්සන් කර තිබූ අතර අද (26) සියලු නාමයෝජනා අස්සන් කර අවසන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා “දිනමිණ” ට පැවසීය. මේ අතර පළාත් පාලන ආයතන 301 ක් සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට (27) දහවල් 12ට අවසන් වේ. එක්සත් ජාතික පක්‍ෂය,

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පිළිගත් දේශපාලන පක්‍ෂ අද (26) හා හෙට (27) සිය නාම යෝජනා භාර දී අවසන් කරනු ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය විශ්වාසය පළ කරයි. ස්වාධීන කණ්ඩායම් රැසක් මේ වන විට පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවකට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයට වාර්තා වී තිබේ.

ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12ට පෙර අවසන් කළ යුතුය. ඇප මුදල එක් අපේක්‍ෂකයකු සඳහා රුපිල් 250 කි. මහ නගර සභා 4ක්, නගර සභා 39ක් සහ ප්‍රාදේශීය සභා 258ක් සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීමට මෙම නාම යෝජනා භාර ගැනේ. ඡන්ද විමසීමේ දිනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් හෙට (27) දහවල් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබයි.

නාම යෝජනා භාර ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි (දිසාපති) කාර්යාලවල විශේෂ විධිවිධාන යොදා තිබේ. එම කාර්යාල හා අවට ආරක්‍ෂක විධිවිධාන තර කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.  නාම යෝජනා භාර දීමට පැමිණෙන පිරිස සීමා කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ වැඩපිළිවෙළක් ද සකස් කැර තිබේ. ඒ අනුව නාම යෝජනා භාර දීම සඳහා තේරීම් භාර නිලධාරි වෙත යා හැක්කේ දේශපාලන පක්‍ෂයක නම් ලේකම් හෝ ඔහුගේ නියෝජිතයාටත්, ස්වාධීන කණ්ඩායමක නම් එම කණ්ඩායමේ නායකයාටත් පමණි.

ඒ හැර ඔවුන් සමඟ අවසර ලත් තවත් එක් පුද්ගලයකුට යාමට අවස්ථාව ලබා දී තිබේ. නාම යෝජනා භාර ගැනීම හෙට දහවල් 12ට අවසන් වීමෙන් පසු විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පැය 1 1/2ක කාලයක් ලැබේ. ඉන් අනතුරුව පිළිගත් නාමයෝජනා පත්‍ර පිළිබඳ හා ප්‍රතික්ෂේපිත නාම යෝජනා සම්බන්ධවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීහු නිල වශයෙන් ප්‍රකාශ කරති.

පෙරේදා සවස් වන විට දේශපාලන පක්‍ෂ 6ක් හා ස්වාධීන කණ්ඩායම් 16ක් නාම යෝජනා පත්‍ර භාර දී තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙරේදා (24) රාත්‍රී පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා