කඩා වැටුණු මලල ක්‍රීඩාව නංවන්න ප්‍රවීණයන් 13කින් විශේෂ කමිටුවක්


වසර 4ක ඉදිරි සැලැසුමක් ඇමැති ඉල්ලයි

කඩා වැටුණු මලල ක්‍රීඩාව නංවන්න ප්‍රවීණයන් 13කින් විශේෂ කමිටුවක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ දියුණුව උදෙසා ඉදිරි වසර 4ක කාලයක් සඳහා වන සැලැසුමක් සැකසීමට ක්‍රීඩා ප්‍රවීණයන් 13ක ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර ඇත. මේ කමිටුවේ ප්‍රධානත්වය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට පවරා ඇති අතර ලේකම් ලෙස පේ‍්‍රමා පින්නවල මහතා කටයුතු කරනු ඇත.

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවන් වන යෝගානන්ද විජේසුන්දර, සුනිල් ගුණවර්ධන, ඩර්වින් පෙරේරා යන මහත්වරු මෙන්ම ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ශ්‍රියාණි කුලවංශ හා සුගත් තිලකරත්න යන හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මේ කමිටුවට නම් කිරීම විශේෂත්වයකි. එයට අමතරව පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් අනිල් වීරසිංහ, වැඩබලන ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි. කේ. කුලරත්න මලල ක්‍රීඩා සංගමයේ ලේඛකාධිකාරී සමන් කුමාර, මොරටු විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සී. රත්නමුදලි, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක හා මලල ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී කේ. පී. ඥානපාල යන මහත්වරු මේ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

වර්තමානයේ මලල ක්‍රීඩා ජාත්‍යන්තර ජයග්‍රහණ අවම මට්ටමක ඇති හෙයින් නිවැරැදි වැඩපිළිවෙළක් මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය සැලැසුම ලබා දීම මේ කමිටුවේ වගකීම බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘දිනමිණ’ ට පැවැසීය. “අපේ ජාතික සංගමය හා පාසල් සංගමය අතර සම්බන්ධතාව වැඩි විය යුතුයි. ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ මලල ක්‍රීඩා සංචිත අඛණ්ඩව පවත්වාගෙන යෑමත්, දෙස්, විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ලබාගත යුත්තේ කෙසේ ද කියා සැලැසුමක් අවශ්‍යයි.

ක්‍රිඩාංගණවල මලල ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් කෙබඳු විය යුතු ද ? මේ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් මා ඉල්ලා තිබෙනවා” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. මේ කමිටුවට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම් කෙළේ ක්‍රීඩා පිටියේ ඇති අඩුපාඩු ගැන ඔවුන්ට හොඳ වැටහීමක් ඇතැයි යන විශ්වාසයෙන් යුතුව බවද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය. මලල ක්‍රීඩා සැලැසුම සකස් කිරීමට නම් කළ පිරිස මේ වන විටත් මූලික සාකච්ඡාවක් පවත්වා ඇතැයි එහි කමිටු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කෙළේ ය.

සියලු යෝජනා ඇතුළත් අවසන් වාර්තාව ලබන මාසයේ මුල් දින කිහිපයේ දීම ක්‍රීඩා ඇමැතිවරයාට භාරදීමට බලාපොරොත්තු වන බව ප්‍රනාන්දු මහතා පැවැසීය. වසර 4ක මලල ක්‍රීඩා ඉදිරි සැලැසුම සකස් කිරීමට පත් කළ කමිටු සාමාජික සාමාජිකාවන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණු හෙයින් අදාළ අරමුණ සාර්ථක කර ගැනීම පහසුවනු ඇතැයි ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කෙළේ ය. “සෑම අංශයකම කරුණු ඇතුළත් හොඳ සංවර්ධන යෝජනාවක් දෙනවා. ඒ වගේ ම ඒ වැඩ පිළිවෙළට ඉලක්ක හා පසුවිපරමක් ඇතුළත්. මලල ක්‍රීඩාව දියුණු කිරීම උදෙසා අමාත්‍යාංශ මට්ටමේ දිරි ගැන්වීමක් ලැබුණු හොඳම අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසගත වෙනවා” යැයි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා