රටට වැඩ කළ අපට පුංචි ඡන්දය අභියෝගයක් නොවේ

රටට වැඩ කළ අපට පුංචි ඡන්දය අභියෝගයක් නොවේ

මෛත්‍රිපාල සිරිසේන
සෞඛ්‍ය ඇමැති, ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්

2010 ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් සපිරේ. එම ජනාධිපතිවරණ විජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුළ රටට සිදුවූ සංවර්ධන හා ආර්ථික ක්‍රියාමාර්ග කෙසේද ඉදිරි පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ සූදානම හා තවත් කාලීන දේශපාලන කරුණු පිළිබඳව ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සිදුකළ සංවාදයකි මේ.

* ජනාධිපතිවරණය පවත්වා වසරක් ඇතුළත පළාත් පාලන මැතිවරණය කැඳවීම ආණ්ඩුවට අභියෝගයක්ද ?

මැතිවරණයක් පවත්වා වසරක් ඇතුළත තවත් මැතිවරණයක් පැවැත්වීම අපිට අභියෝගයක් නෙවෙයි. පළාත් පාලන ඡන්ද, ජනාධිපතිවරණ, මහ මැතිවරණ යනාදී මැතිවරණ රාශියකට මුහුණ දීලා අපේ පක්ෂ යාන්ත්‍රණයේ හැම දැති රෝදයක්ම හොඳට මුවහත් වෙලයි තිබෙන්නේ. ඒ නිසා අපිට මැතිවරණවලට මුහණ දෙන්න අමුතුවෙන් ප්‍රතිසංවිධාන කිරීම් ඇති කරන්න උවමනා නැහැ.  මෙම මැතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා කැඳවූ අවස්ථාවේ සිට මෙයට පෙර කිසිම පළාත් පාලන මැතිවරණයකදී දැකගත නොහැකි වූ ආකාරයට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දැඩි තරඟකාරීත්වයක් ඇතිවී තිබුණා.  අපිට අවාසි දායක තත්ත්වයක් රටේ තිබෙනවා නම් මේ විඳිහට අපේක්ෂකයින්ගෙන් ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ.

අනිත් පැත්තෙන් අපි ගම නැඟුම, මඟ නැඟුම වගේ ව්‍යාපෘති හරහා විශාල වශයෙන් ගම් සංවර්ධනය කර තිබෙනවා.  නව විදුලි බල ව්‍යාපෘති ඇතිකොට අලුත් පිරිසකට විදුලිය ලබාදී තිබෙනවා. කෘෂි කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා පොහොර සහනාධාර, කෘෂි උපකරණ සඳහා සහනාධාර ලබාදී තිබෙනවා. ලක්ෂ ගණනකට රැකියා ලබාදී තිබෙනවා. කර්මාන්ත ශාලා ඇරැඹීම සඳහා පහසුකම් ලබාදී තිබෙනවා. මේ නිසා අපිට බය නැතිව ජනතාව අතරට යන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නෙවෙයි. ඔවුන් සිහින දකිනවා ඇති ඒත් ඒ සිහින සැබෑ වෙන්නේ නැහැ.

* පළාත් පාලන මැතිවරණය නව මැතිවරණක්‍රමයක් යටතේ පැවැත්වීමට රජය මුලින් අදහස් කරගෙන සියයක් පසුව ඒ අදහස් වෙනස් කොට පැරැණි ක්‍රමයටම මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ ඇයි.

නව මැතිවරණ ක්‍රම යටතේ මැතිවරණ පැවත්වීමේදී ඒ අනුව ඡන්ද කොට්ඨාශ තීරණය කොට සැලසුම් සකස්කළ යුතුයි. ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවෙනවා. ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට නියමිත කාලවකවානුව තුළදී අවස්ථාව ලබා දිය යුතු නිසා ඡන්දය කල් දමන්නේ නැතිව නියමිත මොහොතේ දී පැවැත්වීමට රජය තීරණය කළා.

* නාගරික ජනකොටස්වල සහය විපක්ෂයට හිමිව ඇති නිසා මහ නගර සභාවන්හි ඡන්දය නොපත්වා අනෙකුත් ප්‍රදේශවල ඡන්දය පවත්වන බවට විපක්ෂය චෝදනා කරනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනවලට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වෙන නිසා මහනගර සභාවල ඡන්දය පැවැත්වීම ටික දිනකට කල් දැම්මා. නගරයේ සහාය විපක්ෂයට ලැබෙන බවට මේ ජය පසුගිය ඡන්දවලදින් අනාවැකි කිව්වා. මොකක්ද අන්තිමට වුණේ. ක්‍රිකට් තරඟාවලිය අවසන්වූ ගමන්ම අපි ඉතිරි නගරසභාවලත් ඡන්දය තියනවා. මාර්තු දෙවෙනි සතිය වෙනකොට කාගෙ කාගෙත් තත්ත්වය බලාගත හැකිවේවි.

* පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට කොපමණ දෙනෙක් ඉල්ලුම් කළාද ?

පළාත් පාලන නියෝජිතයන් හැටියට පත්විය හැක්කේ සීමිත පිරිසකට පමණයි’ නමුත් දස දහසකට වැඩි පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පමණක් අපේක්ෂකත්වය බලාපොරොත්තුව ඉල්ලුම් කළා.

* පක්ෂ සමුළුවෙන් පසු එ.ජා.පයේ සියලුම කොටස් සමඟිව ඇති නිසා ආණ්ඩුව පෙරලීමේ ගමන මෙම මැතිවරණයෙන් ආරම්භ කරන බව එ.ජා.ප.ය ප්‍රකාශ කරනවා.

හැමදාමත් යූ.ඇන්.පිය ප්‍රතිසංවිධානය කරනවානේ. ඒක අද ඊයේ පටන් ගත් දෙයක් නෙවෙයි. 94 ඉඳලාම කෙරෙන වැඩක්. හැබැයි හැමදාම මැතිවරණ වලින් පරදිනවා. පළාත්පාලන මැතිවරණය ආණ්ඩු පෙරලන්න පුළුවන් මැතිවරණයක් නෙවෙයි. එ.ජා.ප.ය. ඒ බව නොදන්නවා වුණාට ජනතාව දන්නවා. ජනමතය මොකක්ද කියලා නොදන්න නිසයි යූ.ඇන්.පියට එකදිගට මැතිවරණ 17ක් පරදින්න වුණේ.පක්ෂයක් පරදින කාලවලදි ගෙවල්වල ගිහිල්ලා අපේ පක්ෂයේ හොයාගන් ඕන.

අද එහෙම නෙවෙයි අපිට ගෙවල්වලට, කාර්යාල හා අමාත්‍යාංශවලට අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් පැමිණෙනවා. අද යූ.ඇන්.පිය. මැතිවරණ ව්‍යාපාරයක් නැහැ. නායකයා තෝරාගන්න බැරිව මොන ඡන්දද. මහජනතාව අවශ්‍ය ගමට වැඩක් කරගන්නයි. රජය පරාජය කරලා ඒක කර ගන්න බැරි බව ජනතාව දන්නවා. ආණ්ඩුව ගෙන යන සංවර්ධන යෝජනා ක්‍රමවල ප්‍රතිපල ලැබී තිබෙන්නේ ජනතාවටයි. තව තවත් සංවර්ධනය කර ගැනීමට නම් රජය යන ගමන ශක්තිමත් කළයුතු බව මහජනතාව දන්නවා.

* පරිසර අලංකරණයට බාධාවන නිසා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් කටවුට් යනාදිය ප්‍රදර්ශනය කිරීම වෙන් කරන ලද ස්ථානවලට පමණක් සීමා කිරීමේ නීතිය මැතිවරණ කාලයටත් අදාළද ?

පෝස්ටර්, කටවුට් යනාදිය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට පටහැනියි. මැතිවරණ නීතිය අතරටම ක්‍රියාත්මක කරන්න කියලා අපි උපදෙස් දී තිබෙනවා. පක්ෂ විපක්ෂ හැම අපේක්ෂකයකුටම මෙම නීතිය අදාළයි.

* රජයේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ පසුගිය කාලය තුළදී පහතවැටී ඇති බවට පළවී ඇති මතය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද ?

රුබෙල්ලා එන්නත ලබාගත් දරුවන් දෙදෙනෙකුට 2008 වර්ෂයේදී පමණ ඇතිවූ අනතුරක් නිසා මෙම එන්නත් පාවිච්චි කිරීම අනතුරුදායකයි යැයි හැඟෙන මතයක් විපක්ෂය ගෙන ගියා. එයින් ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයට බලපෑමක් ඇතිවුණා. ප්‍රතිශක්ති ව්‍යාපාරය සාර්ථක අයුරින් ක්‍රියාත්මක කරවන අපි නැවත වරක් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එම වැඩපිළිවෙළ පිළිගෙන තිබෙනවා. වසංගත රෝග මැඩ පැවැත්වීම සම්බන්ධයෙනුත් අලුත් ජාතික වැඩපිළිවෙළක් ඇතිකළා. ඩෙංගු මර්දන ව්‍යාපාරයට ඉතාම සාර්ථක වී තිබෙනවා.

* සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඔබ ආරම්භ කර ඇති මත්පැන් පානය කොට අනතුරට ලක් වූවන්ගෙන් කිසියම් මුදලක් අයකර ගැනීමේ ක්‍රමයක් නිදහස් සෞඛ්‍යයට අත තැබීමක් ලෙස විපක්ෂය දකිනවා. මෙවැනි ක්‍රමයක් ආරම්භ කළේ ඇයි ?

විපක්ෂයේ සෞඛ්‍ය තත්වය හොඳටම පිරිහිලා. නිදහස් සෞඛ්‍යය සේවාව ශක්තිමත් කරන්න අපි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. සදාචාරාත්මක සමාජයක් ගොඩනැඟීම සඳහායි මෙම තීන්දුව ගත්තේ. මෙමඟින් කිරීමට බලාපොරොත්තු වන්නේ මත්පැන් පානය කිරීම අධෛර්්‍යය කිරීමයි. නිදහස් සෞඛ්‍ය සේවය නැති කිරීම වත් භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත් රජය මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ආරම්භකර ඇති “මතට තිත” තැබීමේ ජාතික ව්‍යාපාරය තවත් අයුරකින් ශක්තිමත් කිරීමට මේ වැඩසටහන බලාපොරොත්තු වෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා