චක්‍රලේඛය අමතක කිරීම

චක්‍රලේඛය අමතක කිරීම

ර වටක් ගංවතුරේ ගිලී සිටින පුද්ගලයකු බේරා ගැනීමට ඔහුගේ ආදායම් තත්ත්වය සෙවීම එක්කෝ විහිළුවකි. නැතිනම් මෝඩකමකි. ගංවතුරේ ගසාගෙන ගොස් ජීවිතය බේරාගත් අයකුට බෙහෙත් පෙත්තක්, කෑම වේලක්, බිස්කට් එකක් දෙන්නට කලින් ඔහුගේ මාසේ පඩිය කීයදැයි විමසා බැලීම මනුෂ්‍යත්වයට එහා ගිය තිරිසන් ක්‍රියාවකි. හතර වටේම ජලයෙන් යටවී ගේ තුළ හිරවී සිටින අය ගලවාගෙන ඔහුට සියලු සහන නොදීමට ඔහු අවතැන් කඳවුරක නොසිටීම හේතුවක් කරගන්නේ නම් එය නොහොබිනාකමකි.

මේ තත්ත්වය යටතේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ අයට සහන දීමේ දී චක්‍රලේඛය අමතක කිරීමට රජය තීරණය කර ඇත. ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් සලකා බැලීමෙන් පසු එම තීරණයට එළඹ තිබේ. රජයේ චක්‍රලේඛයට අනුව ආපදාවට පත්වූවන්ට සහන දීමේ දී ඔහුගේ ආදායම තත්ත්වය සොයා බැලිය යුතුය. ගිණුමේ බැලන්ස් එක සොයා බැලිය යුතුය. සහන කඳවුරක සිටිය යුතුය. කෙනකුට ආදායමක් ඇති බව සැබෑවකි.

එහෙත් සියලු දේ ගංවතුරට ගසාගෙන ගියා නම් කිසිම ගිණුමක පිහිටක් ඔහුට නොලැබේ. ඔහුට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි. බැංකු ගිණුමෙන් කීයක් හරි ගන්නට වුවද ගංවතුර බැස යා යුතුය. ඒ නිසා උතුර, නැඟෙනහිර, මධ්‍යම, උතුරු මැද, ඌව ආදී ප්‍රදේශවල ගංවතුරට ලක්වූ පවුල් දෙලක්ෂ අසූ දහසකට අයත් පුද්ගලයන් දස ලක්ෂයකට අධික පිරිසකට සහන සැලසීමේ දී චක්‍රලේඛය කන්තෝරුවේ ලිපිගොනුවේ පරිස්සමට තැබීමට ගත් තීරණය පැසසිය යුතුමය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා