රාජ්‍ය සේවයේ ඇත්ත කතාව

රාජ්‍ය සේවයේ ඇත්ත කතාව

ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවේ වත්මන් තතු විමසන රනිල් වික්‍රමසිංහ මහතා විස්මයටත්; කෝපයටත්; දුකටත් පත්වනු ඇත. විස්මයට පත්වන්නේ ගෙවී ගිය වසර පහකට ආසන්න කාලය තුළ රාජ්‍ය සේවාව තහවුරු වී ඊට ලක්ෂ හයක් අලුතින් එක් කරගෙන ඇති නිසා ය. කෝපයට පත් වන්නේ තමන් කිසිසේත් ම අපේක්ෂා නො කරන දේ ආණ්ඩුව ඉටු කරන නිසා ය. දුකට පත්වන්නේ තමන් රාජ්‍ය සේවාව අහෝසි කොට ලක්ෂ ගණනාවක් ගෙදර යැවීමට සැලසුම් සකස් කළ නිසා ය. එතුමා ලෝක බැංකු උපදේශය මත රාජ්‍ය සේවාව අහෝසි කිරීමට පියවර ගනිමින් සිටියේ ය. ලෝක බැංකුවේ හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි උපදේශනය වූයේ පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට අලෙවි කළ යුතු බව ය.

නැතහොත් වසා දැමිය යුතු බව ය. රාජ්‍ය අංශය අකාර්යක්ෂම බවත් එම අංශයට වෙළෙඳාම බැරි බවත් ලෝක බැංකු උපදේශකවරු කියා සිටියහ.  දුප්පත් රටවල් පෞද්ගලික අංශය දිරි ගැන්විය යුතු බවත්; ආණ්ඩුව ව්‍යාපාරවලින් ලබාගන්නා බදු මගින් රාජ්‍ය වියදම් පියවාගත යුතු බවත්; ලෝක බැංකුව කියා සිටියේ ය. 1977 සිට 2005 වන තුරු මෙරට සිටි පාලකයෝ එම උපදේශනය පිළිගත්හ. ඒ අනුව රාජකාරි කළහ. එක්සත් ජාතික පක්ෂය. අංශ දෙකකින් රාජ්‍ය සේවාව පීඩනයට ලක් කළේ ය. පළමුවන්න රාජ්‍ය සේවක ඉල්ලීම් නොසලකා හැර වර්ජකයනට පහරදීම ය. මේ සඳහා සංවිධානාත්මක මැර කල්ලියක් ඔවුනට තිබිණි. දෙවන්න නිත්‍යානුකූලව රාජ්‍ය ආයතන වසා දැමීමට, විකිණීමට හා සේවක කප්පාදුවට පියවර ගැනීම ය.

වික්‍රමසිංහ මහතාගේ ලුහුඬු ආණ්ඩු සමය තුළ එක ද රාජ්‍ය සේවකයකු හෝ බඳවාගෙන නැත. රාජ්‍ය අංශය ආණ්ඩුවකට බරක් යැයි එජාපය විශ්වාස කළේ ය. රාජ්‍ය අංශයේ සේවක අතිරික්තයක් ඇතැ’යි ද විශ්වාස කළේය. 1977 සිට 1994 දක්වා කාලය තුළ රාජ්‍ය සේවයේ පැවැති වැටුප් විසමතා, ඌන සේවා ප්‍රශ්න, උසස්වීම් පිළිබඳ ගැටලු, ජීවන වියදම් දීමනා පිළිබඳ ප්‍රශ්න යන කිසිවක් විසැඳීමට පියවර ගෙන තිබුණේ නැත. ගුරු සේවාව තුළ මෙබඳු ප්‍රශ්න ගණනාවක් තිබිණි. එම ප්‍රශ්න නො විසඳා සිටීම ඬසා ගුරුවරු කලකිරීමෙන් යුතුව සේවයෙහි නිරත වූහ. මේ තත්ත්වය ජාතික අධ්‍යාපනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේ ය. සමස්තයක් ලෙස ගත්කළ රාජ්‍ය සේවයෙහි සෑම වෘත්තියක් සම්බන්ධයෙන් ම ගැටලු පැවැතිණි.

ඒවා වසරින් – වසර වර්ධනය විය. මෙරට රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් පැවැති මූලික ගැටලුවක් වූයේ ඔවුන් බියෙන් හා සැකයෙන් යුතු අවිනිශ්චිත ජීවිත ගත කිරීම ය. 2005 වනතුරු ම එම තත්ත්වය පැවැතිණි. පාඩු ලබන ආයතන වසා දැමීම, ඇතැම් ආයතන විකිණීම, රාජ්‍ය සේවක කප්පාදුව, විශ්‍රාම වැටුප් කපා හැරීමට සැලැසුම් කිරීම, වැටුප් වර්ධක ලබා නොදීම, උසස්වීම් ප්‍රමාද කිරීම වැනි සාධක නිසා රාජ්‍ය සේවකයා රාජකාරිවල යෙදුණේ අවිනිශ්චිතභාවයකින් යුතුව ය. ඔවුනට හෙට ගැන බලාපොරොත්තුවක් නො තිබිණි. මේ හැරෙන්නට දේශපාලන පළිගැනීම් හා අයථා උසස්වීම් ලබාදීම දිගින් - දිගට ම සිදු විය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලට අනතුර වැඩියෙන් ම පැවැතිණි. එම ආයතන පාඩු ලබන හා රජයට අධික බරක් සහිත සේවාවන් ලෙස සැලැකිණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් වැඩ වර්ජන ගණනාවක් මෙහෙයැවන ලදී. ඒවා රජය විසින් මර්දනය කැරිණි. විදුලිබල මණ්ඩලයේ විරෝධතාවලට ද එම සන්තෑසියම සිදු විය. 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වන්නේ ඉහත කී ආයතන කඩාවැටීමට ආසන්න අවස්ථාවක ය. ඒ බව ඇතැමකුට අමතක වීම කනගාටුවට කාරණයෙකි. 2005න් පසු මෙරට රාජ්‍ය සේවාව තුළ ඇති වූ පැහැදිලි වෙනස කුමක් ද? එය ඉතා වැදගත් ප්‍රශ්නයෙකි. රාජ්‍ය සේවකයා නිදහසේ හුස්ම ගන්නට පටන් ගත්තේ එතැන් සිට ය. රාජ්‍ය ආයතන ඈවර නො කරන බවට ද අලෙවි නො කරන බවට ද රාජ්‍ය සේවාව තහවුරු කරන බවට ද පොරොන්දුවක් ජනාධිපතිවරයා විසින් ලබා දෙන ලදී. අද එය අකුරට ම ඉටු වී තිබේ. අද වන විට රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව දාහතර ලක්ෂයකට ආසන්න වී තිබේ.

මේ වසර තුළ ද රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමට නියමිත ය.  විදුලිබල මණ්ඩලය ඇතුළු පාඩු ලැබූ ආයතන ලාභ පෙන්වන්නට පටන්ගෙන තිබේ. මෙය පැහැදිලි වෙනසකි. දසක ගණනාවකට පසු උදා වූ යහපත් තත්ත්වයෙකි. සමස්තයක් ලෙස ගත් කළ මෙරට රාජ්‍ය සේවයෙහි වැටුප් විසමතා පිළිබඳ ගැටලුවලට විසැඳුම් ලැබී තිබේ. මෙවර අයවැයෙන් 5%ක වැටුප් වැඩිවීමක් සිදු විය. ජීවන වියදම් දීමනාව ඉහළ දැමිණි. ලෝක බැංකුව, අන්තර්ජාතික මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජපන් සංවර්ධන බැංකුව මහින්ද චින්තනය හා එහි ඉදිරි දැක්ම යන ආර්ථික දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවක කප්පාදුවක් ගැන කතාවක් නැත. රාජ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ සමස්ත සංවර්ධනය පිළිබඳ ප්‍රධාන වගකීම් දරන්නා ලෙස ආණ්ඩුව පිළිගෙන තිබේ. නූතන රාජ්‍ය සේවකයාට විශ්වාසයෙන් යුතු ව තම රාජකාරියෙහි නිරත විය හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා