ලිබියානු කැරැලිකරුවන් මර්දනයට පූර්ණ හමුදා බලය තවම යෙදෙව්වේ නෑ

ලිබියානු කැරැලිකරුවන් මර්දනයට පූර්ණ හමුදා බලය තවම යෙදෙව්වේ නෑ

මුඅම්මර් ගඩාෆිගේ පුත් සාදි ගඩාෆි කියයි

ලිබියානු නායක මුඅම්මර් ගඩාෆි කැරලිකරුවන් මර්දනය කරීමට පූර්ණ හමුදා බලය මෙතෙක් යොදා ගෙන නැති බව ඔහුගේ පුත් සාදි ගඩාෆි පවසයි. ලිබියානු නායකයා එසේ ක්‍රියා කළේ රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවී, විදේශීය හමුදා ආක්‍රමණයකට ලිබියාව ගොදුරුවීමෙන් වළකාගැනීමට බව ඔහු වැඩිදුරටත් පවසයි. අල් අරාබියා රූපවාහිනිය ඇමතූ ඔහු තවදුරටත් කියා අත්තේ කැරලිකරුවන්ගේ ඉල්ලීමට අනුව ලිබියානු නායක ගඩාෆිට ඉල්ලා අස්වීමට නොහැකි බවයි. එය සිවිල් යුද්ධයකට මඟපාදනු ඇති බවට ඔහු අදහස් පළකර තිබේ.

දැනට උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් තම සොහොයුරක්වූ සායිෆ් අල් - ඉස්ලාම් වගකිව යුතු බව සාදි ගඩාෆි පවසා තිබේ. ආර්ථික ප්‍රතිසංශෝධන ඇතිකරන බවට සායිෂ් ලිබියානු ජනතාවට පොරොන්දු වී ඇතත්, එසේ කිරීමට අපොහොසත්වීම ඊට හේතුව වශයෙන් ඔහු දක්වා තිබේ.  ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ තත්ත්වයට වඩා ලිබියාවේ තත්ත්වය වෙනස් බව පවසන සාදි, ලිබියානු නායකයා ඉවත්වුවහොත් රටේ ගෝත්‍රික ජනතාව අතර සිවිල් යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද අවධාරණයකර තිබේ.

තමන්ට ධුරයෙන් ඉවත්වීමට යම් ක්‍රියාදාමයක් සැලසුම් කිරීමට පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්විය යුතු බවට මුඅම්මර් ගඩාෆි විසින් පෙරේදා (සඳුදා) කළ යෝජනාව ලිබියානු කැරලිකරුවන් ප්‍රතික්ෂේප කළ බව අල් - ජසීරා රූපවාහිනිය පවසයි.  මෙය “ගෞරවාන්විත” ආකාරයට ධුරයෙන් ඉවත්වී තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වළකා ගැනීමට ලිබියානු නායකයා විසින් දරන උපක්‍රමයක් බවට කැරලිකරුවෝ චෝදනා කරති. මේ අතර ට්‍රිපොලි නගරයට සැතපුම් 60ක් පමණ බටහිරින් පිහිටි සවියාන් නගරයේ දරුණු ගැටුම් පවතින බව විරුද්ධවාදීන් සහ ලිබියානු මාධ්‍ය පවසති. මේ බිහිසුණු සටනින් 8 දෙනෙක් මියගොස් 31ක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා