සුපර් මාර්කට් වන්දනාවට තිත තබමු

සුපර් මාර්කට් වන්දනාවට තිත තබමු

ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ ජාතික මෙහෙයුම ලබන 12 වෙනිදා රට පුරා ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ ග්‍රාමසේවා වසම් දාහතර දහසක් සම්බන්ධ කර ගනී. එක් ග්‍රාමසේවා වසමකට ඒකක 100ක් තෝරා ගෙන තිබේ. මෙම ජාතික වැඩසටහනට සම්බන්ධ කරගන්නා ග්‍රාම නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරින් පුහුණු කිරීම දැන් ආරම්භ කර තිබේ.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව දියත් කෙරෙන මෙම ජාතික මෙහෙයුමේ එකම අරමුණ වන්නේ ළඟදී ලෝකයේ ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා රට සුදානම් කරවීමය. ජනතාවට තමන්ගේ ගෙවත්තේ කිසියම් එළවලු පැළයක් පලතුරක් වවන්නට යැයි කියා නිහඬව සිටීම වගකිවයුතු ආණ්ඩුවකට කළ නොහැක්කකි. ඒ නිසා රටේ ප්‍රශ්න ගැනත්, ගමේ මිනිසුන්ගේ ජීවන රටාව ගැනත් ගැඹුරට අධ්‍යයනය කර සිටින බැසිල් රාජපක්ෂ මහතා ගෙවත්තේ වගා කරන ඇත්තන් දිරිමත් කිරීමට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ගමේ ඇත්තෝ හැමදාමත් වවාගෙන කෑහ. එයට එදා අමුතු මඟපෙන්වීමක් තිබුණේ නැත. එහෙත් අද සියලු දෙයක් ම නවීකරණය වී තිබෙන යුගයක ගමේ ඇත්තන්ට ද ගෙවතු වගාවට පොඩි තල්ලුවක් දීම ආණ්ඩුවේ වගකීම වේ. ගෙදර ගහෙන් කපන තැඹිලි වල්ල කඩේට විකුණා, කරවල කූරියෙක් ගෙනවුත් කටට රහට කෑම අපේ ගැමියාගේ පුරුද්දය. ගෙදර එළදෙනගේ කිරි ටික කඩේට විකුණා ගෙදරට අවශ්‍ය තුනපහ ගෙන ඒම ද ගැමියාගේ පුරුද්ද වී තිබේ. දැන් ඒ රටාව වෙනස් වී ඇත්තේ ගම හැර සියලු දෙනාම සුපර් මාර්කට් වන්දනාවේ යෙදෙන බැවිනි. කූඩයක් අතින් ගෙන කොට කලිසමක් ඇද සුපර් මාර්කට් ගියාට කිසිවෙකු ඊර්ෂ්‍යයා කරන්නේ නැත.

එහෙත් මෙහි දී අපට මුහුණ දෙන්නට වන්නේ වෙනත් බරපතළ අර්බුදයකටය. එනම් කාලගුණ විපර්යාස නිසා ලෝකය ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවීම කිසිම බලවතෙකුට හෝ නවීන තාක්ෂණයකට වැළැක්විය නොහැකිය. ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් ආරම්භ කිරීමේ මෙහෙයුම දොළොස් වෙනිදා ආරම්භ වන්නේ ඒ නිසාය. එබැවින් දේශපාලන භේදයෙන් තොරව සමස්ත රටවැසියන් සියලු දෙනාම මෙම මෙහෙයුමට එකසිතින් සහාය පළ කළ යුතුය. නැතිනම් එය පසුතැවිල්ලකට හේතුවක් වනවා ඒකාන්තය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා