ආලෝකය බෙදන තවත් දවසක්

ආලෝකය බෙදන තවත් දවසක්

අද; ශ්‍රී ලංකාවට තවත් ආලෝකයක් ලැබෙන දිනයක් ලෙසින් හැඳින්විය හැකි ය. නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද විවෘත කරනු ලැබේ. මේ සමඟ මෙ. වො. 300ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වේ. ශ්‍රී ලංකාවේ පළමුවන ගල් අඟුරු බලාගාරය ලෙසින් එය ඉතිහාසයට එක් වනු ඇත. ගල් අඟුරු බලාගාර ලෝක බලශක්ති ක්ෂේත්‍රයෙහි 40%ක බරක් දරයි. විදුලිය නිෂ්පාදනයෙහි ලා යොදා ගත හැකි ලාභදායී ම බලශක්ති ප්‍රභවය ගල් අඟුරු ලෙස හැඳින් වේ. ඒ අනුව බලනවිට අප විශාල ජයග්‍රහණයක් ලබා ඇති බව පෙනේ.

1970 ගණන් වන විට ද ශ්‍රී ලංකාවේ විදුලිය අර්බුදයක් පැවැතිණි. එදා මෙරට ජනගහනයෙන් විශාල පිරිසකට විදුලියෙහි ආලෝකය හෝ විදුලියෙහි ජනන ශක්තිය හෝ ලබාගත නො හැකි විය. විදුලිය නිෂ්පාදනය මන්දගාමී ස්වරූපයක් ගත් අතර රටේ කාර්මික දියුණුව ද ඇනහිට තිබිණි.

මේ බලාගාරය අපගේ ආර්ථික ගමන් මඟට අලුත් පරිච්ඡේදයක් එකතු කරනු ඇත. එක අතකින් විදුලිය ගාස්තු අඩු කිරීමට ඒ මගින් අවස්ථාවක් උදාවනු ඇත. තව අතෙකින් විදුලිය සැපයුම පුළුල් කිරීමටත් ඒ මගින් හැකි වනු ඇත. විවිධ විරෝධතා නිසා හමස් පෙට්ටියට දැමූ නොරොච්චෝලේ සැලැසුම ඉදිකිරීමට මූලික වූ තැනැත්තා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ය. ආගමික විරෝධතා ද, පාරිසරික විරෝධතා ද මීට එරෙහි ලෙස නැඟී තිබිණි. මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස ඒ සියල්ල සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස නොරොච්චෝලේ බලාගාරය ඉදිවෙයි. එහි දෙවන හා තෙවන පියවර අවසන් වන විට තවත් මෙ. වො. 600ක විදුලිය ධාරිතාවක් මෙරට බලශක්ති ක්ෂේත්‍රයට එකතු වේ.

දේශපාලකයනට කළ නො හැකි බොහෝ දේ මහින්ද රාජපක්‍ෂ මහතා ඉටු කරයි. නායකයනට කළ නො හැකි බොහෝ දේ මහින්ද රාජපක්‍ෂ මහතා ඉටු කරයි. වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන භූමිකා හා මහින්ද රාජපක්‍ෂ මහතා අතර පවතින වෙනස එය වේ. ඔහු කියන දේ කරයි. කරන දේ කියයි. එම විශ්වාසය මේ රටේ ජනතාව ළඟ ද තිබේ. දින කිහිපයකට පෙර අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සනාථ කරන්නේ ද එම සත්‍යය යි.

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීමට ඉන්දියාවට පවා නො හැකි විය. ඉන්දියන් සාම-සාධක හමුදාව කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් හොඳට ම හෙම්බත් වූ බව අපි දනිමු. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී බලයට පැමිණ ඉතා කෙටි කලකදී ත්‍රස්තවාදය අතුගා දැමී ය. බෙදුම්වාදයට තිත තැබී ය. ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය මෙන් ම නොරොච්චෝලේ බලාගාරය ද එබඳු ජයග්‍රහණ වේ.

මීට වසර කිහිපයකට පෙරත් ශ්‍රී ලංකාව විදුලිය අර්බුදයකට මුහුණ දුන්නේ ය. දිනකට පැය හත – අට “ලයිට් කපන” යුගයක් අපට දක්නට ලැබිණි. එක අතකින් ඉල්ලුමට සරිලන සැපයුමක් නො වීය. තව අතෙකින් නියගය නිසා වරින් – වර විදුලිය කපා හැරීමට සිදුවිය. 1996 නියඟයේදී එම තත්ත්වය වඩාත් උග්‍රවිය. එහෙත් එදා පැවැති පාලක පක්ෂයට විසැඳුමක් නො තිබිණි. පැවැති එක ම විසැඳුම විදුලිය කැපීම පමණි. තවදුරටත් ජල විදුලිය මත විශ්වාසය තැබිය නො හැකි බව සාකච්ඡා වී ඇත්තේ 1980 ගණන්වල සිට ය. සාකච්ඡා, සංවාද, යෝජනා මිස වැඩ පිළිවෙළක් නො වීය.

නූතන මානවයාගේ ගමන් මඟ තීන්දු කරන ප්‍රධාන බලවේග ගණනාවක් තිබේ. බලශක්තියට ඒ අතරින් ප්‍රධාන තැනක් ලැබේ. අප ජීවත්වන යුගය තොරතුරු තාක්ෂණ යුගයක් ලෙසින් හැඳින්විය හැකි ය. තොරතුරු තාක්ෂණය විසින් ලෝකය තනි යායක් බවට පත්කර තිබේ. තොරතුරු තාක්ෂණය මුළුමනින් ම පාහේ රැඳී ඇත්තේ බල ශක්තිය මත ය. නැතහොත් විදුලිය නම් සාධකය මත ය. විදුලිය නො මැතිව ඉදිරි ගමනක් ගැන කල්පනා කළ නො හැකි ය. විදුලියෙන් තොර නූතන ජීවිතයක් නැතැ’යි යනුවෙන් එම තත්ත්වය විග්‍රහ කෙරේ.

මේ තත්ත්වයට අනුව ඉදිරියට යන සෑම රටක් ම බලශක්තිය බහුල ලෙසින් නිපදවා ගත යුතු ය. ගල් අඟුරු ලාභදායී බලශක්ති ප්‍රභවයක් ලෙස සැලකුව ද පාරිසරික පසුබිම අනුව ඊට බලවත් විරෝධතාවක් ද පවතී. නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවන පාරිසරික හානිය අව ම කිරීමට කටයුතු කර තිබේ. මේ අවස්ථාවේ විදුලිය අර්බුදයට ඇති හොඳ ම විසැඳුම ඒ බව ද බොහෝ දෙනා කියති. නොරොච්චෝලේ බලාගාරය ආණ්ඩුවේ බලශක්ති වැඩසටහනෙහි සන්ධිස්ථානයක් පමණි. ඉදිරි සැලැසුම න්‍යෂ්ඨික බලය තෙක් විහිදී තිබේ.

රටක ආර්ථික ගමන් මඟ තීන්දු කරන ප්‍රධාන බලවේගයක් වූ බලශක්තියට ආණ්ඩුව මුල්තැනක් දී තිබේ. නොරොච්චෝලේ බලාගාරය මගින් සනාථ කරනුයේ ශ්‍රී ලංකාව ඉතා කෙටි කලකින් තම ඉලක්කයන් කරා ළඟා වෙන රාජ්‍යයක් බව ය. මහා මාර්ග, සංචාරක කර්මාන්තය, අපනයන කෘෂිකර්මය, වී වගාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ද ඒ බව සනාථ වේ. නොරොච්චෝලේ බලාගාරය මෙරට ඉතිහාසයේ නො මැකෙන සටහනක් ලෙස පවතිනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා