සංගක්කාරගෙන් වැඩිම ලකුණු මහේල උඩ පන්දු හයයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය-මූලික වටය

සංගක්කාරගෙන් වැඩිම ලකුණු මහේල උඩ පන්දු හයයි

තරංග-ඩිල්ෂාන් වාර්තා පොතට

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය නිමා වෙද්දී වැඩිම ලකුණු ලාභියා ලෙස කුමාර සංගක්කාර වැඩිම උඩපන්දු ලාභියා ලෙස මහේල ජයවර්ධන හා වැඩිම ලකුණු සම්බන්ධතාව ලෙස උපුල් තරංග ටී. එම්. ඩිල්ෂාන් ඉදිරියෙන් සිටිති.

සංගක්කාර තරග 6කදී ශතකයක් හා අර්ථ ශතක 2ක් ද සමඟ ලකුණු 363ක් ලබා සිටී. ඔහුට පසු පසින් එංගලන්තයේ ජොනතන් ට්‍රොට් තරග 6 කදී ලකුණු 336ක් ලබා සිටී.

සංගක්කාර ඉනිම 6කදී නොදැවී සිටි අවස්ථා ගණන 3ක් වන අතර ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණය 111කි.

ඔහු ලකුණු 363 ලබා ගත්තේ පන්දු 409කට මුහුණ දීමෙනි. හතරේ පහර 32ක් හා හයේ පහර 4ක් එයට ඇතුළත් විය. සංගක්කාර කඩුලු රකින්නකු ලෙස මේ වන විට ස්ටම්ප් කිරීම් 4ක් හා උඩපන්දු 6ක් රැකගෙන ඇත. කඩුලු රකින්නන් අතර ඔහු දෙවැනි තැනට පත් වුයේ ඕස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හැඩින් උඩ පන්දු 12ක් ලැබීම හේතුවෙනි.

මහේල ජයවර්ධන මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උඩ පන්දු ලාභියා බවට පත්ව ඇත. ඔහු ඉනිම 5කදී මේ දක්ෂතාව දැක්වීම හේතුවෙන් ඉදිරියෙන්ම සිටී.

කොදෙව් ක්‍රීඩක කිරාන් පොලාඩ් උඩ පන්දු 6ක් අල්ලාගෙන තිබුණ ද තරග 6 දී වීම හේතුවෙන් මහේලට පසුපසින් සිටී.

මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම කඩුලු සම්බන්ධතාව ලෙස උපුල් තරංග, ටී. එම්. ඩිල්ෂාන් සිම්බාබ්වේ සමඟ තරගයේ දී පළමු කඩුල්ලට ලැබූ ලකුණු 282 සටහන්ව ඇත. එය මේ තරගාවලියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කළ හොඳම සම්බන්ධතාව ලෙස ද වාර්තා වී තිබේ. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ටී. එම්. ඩිල්ෂාන් හා සහිඩ් අෆ්රිඩි අතර ප්‍රබල තරගයක් නිර්මාණය වී ඇත. අෆ්රිඩි පළමු තැන ලබා ඇති අතර ඩිල්ෂාන් ද සටන්කාමී ලෙස දෙවැනි තැන සිටී. මෙයට පෙර සනත් ජයසූරිය ලෝක කුසලාන තරගාවලියකදී වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා