ආණ්ඩුව පෙරළන මෙහෙයුමට මොකද වුණේ

ආණ්ඩුව පෙරළන මෙහෙයුමට මොකද වුණේ

ධම්ම දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

* මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ඔබ විග්‍රහ කරන්නේ මොන විදියටද ?

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මඟින් අප රටේ දේශපාලනය සහ ජනතාවගේ දේශපාලන හැසිරීම පිළිබඳ පණිවිඩ කිහිපයක්ම ලබා දෙනවා. අනෙක් පැත්තෙන් මේ මැතිවරණයෙන් ප්‍රකාශ වෙන්නේ ඒ ඒ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල ඉරණම මොකක්ද කියන කාරණයත් ඒවාට සමාජයේ හිමිවිය යුතු ස්ථානයත් මොකක්ද කියන එකයි.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ ප්‍රාදේශීය සංවර්ධනය හා පරිපාලනයට අදාළවයි. ඊට අදාළව රටේ ජනයාගේ සහභාගිත්වය ලබා ගන්නා ක්‍රමවේදයක් ලෙස එය භාවිත වෙනවා. නමුත් එක්තරා අන්දමකට රටේ ජාතික දේශපාලන පක්ෂ පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වන නිසා එයට ජාතික මුහුණුවරක් ලැබීමත් සිදු වෙනවා. මේක අපේ රටේ පමණක් නොවෙයි ඉන්දියාව ගත්තත් දකින්න පුළුවන්. හැබැයි යුරෝපයේ මේ තත්ත්වය වෙනස්.

මේ මැතිවරණයට අදාළව අපේ රටේ ජනතාව තුළ තිබූ උනන්දුව මුල් කාලයේදී අඩු මට්ටමක පවතින බව පෙනෙන්න තිබුණා. එක්තරා අන්දමකට මෙය වැදගත් හා තීරණාත්මක මැතිවරණයක් ලෙස ඔවුන් සැලකුවේ නෑ. ඒකට හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි රටේ පළාත් පාලන ආයතනවල හා එම නියෝජිතයන්ගේ හැසිරීම ගැන ඇති කළකිරීම හා අප්‍රසාදය. පොදුවේ ගත්තාම ඒවා ගැන සහ නියෝජිතයන් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළේ අඩුවෙන්. විශේෂයෙන් ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට සහාය පළ කරන ජනතාව අතර ඒ ඇල්මැරුණු ස්වභාවය වඩාත් පැවතුණා.

* හැබැයි විපක්ෂය පැත්තෙන් ගත්තාම එවැනි ඇල්මැරුණු ස්වභාවයක් දකින්න තිබුණෙ නෑ

ඔව් එජාප හා ජවිපෙ මේ මැතිවරණය ඇල්මැරුණ ස්වභාවයෙන් බාර ගත්තේ නෑ. ඔවුන් එය ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් ලෙස ගත්තා. නමුත් මෙතැන පරස්පරයක් තිබෙනවා. එනම් විපක්ෂය මේ මැතිවරණය ඒ විදියට භාරගත්තේ පළාත් පාලන ආයතනවල කාර්යභාරයට අදාළ කාරණයක් නිසා නොවීමයි. නමුත් සන්ධානයට සම්බන්ධ ජන සමාජය එය පෙර කී විදියට බාරගත්තේ පළාත් පාලන ආයතනවලට අදාළ කාරණ නිසා. ඒ අතින් ඒක තේරුම් ගන්න පුළුවන්.

එජාප සහ ජවිපෙ මේ මැතිවරණය යොදාගැනීමට තැත් කළේ ආණ්ඩුව පෙරළන පළමු පියවර හැටියටයි. නැත්නම් ඒ සඳහා වන උපායමාර්ගික ව්‍යාපෘතිවල පළමු පියවර හැටියට. ඒ නිසාම එජාපය මේ පළාත් පාලන මැතිවරණය ඇසුරු කර ගනිමින් තමන්ගේ නව නායකත්වය නොනිල වශයෙන් සමාජයට ගෙනාවා. එජාපය උත්සාහ කළේ තමන්ට මතු කළ හැකි හොඳම රැල්ල මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්වන්න.

එජාප අපේක්ෂකයෝ හැමෝම වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ඉන්න ඡායාරූප සහිත පෝස්ටර් ඇලෙව්වා. යළිත් ප්‍රේමදාස යුගයක් එන බව කියැවුණා. මේවායින් තම නව නායකත්වයේ ජනප්‍රියත්වය උරගා බලන මැතිවරණයක් බවට ඔවුන් මෙය පත් කර ගත්තා. එක්තරා අන්දමකට අනියමින් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා තමන්ට එරෙහි නව නායකත්වයේ පාක්ෂික පදනම නිශ්චය කර ගැනීමේ වුවමනාවක සිටියා.

අනෙක් පැත්තෙන් ගත්තාම ජවිපෙ මේ ඡන්දය යොදා ගත්තෙත් ආණ්ඩුව පෙරළන වෙනස්කරන ව්‍යාපෘතියක් ලෙසයි. එතකොට එජාප හා ජවිපෙ කියන පක්ෂ දෙකම මේ මැතිවරණයේදී එකම අරමුණක හා උපායමාර්ගයක සිටියා කියන තර්කය ගොඩනගන්න පුළුවනි. නමුත් ඒක සිදුවිය යුත්තක් නෙවෙයි. කොහොම නමුත් මේ පක්ෂ දෙකේ මැදිහත්වීම නිසා මැතිවරණ ව්‍යාපාරය උණුසුම් වුණා.

* විපක්ෂයේ එකී පොදු උපායමාර්ගය නැත්නම් අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනෙන්නේ මොකක්ද ?

මම හිතන්නේ මේක තමයි මේ මැතිවරණයේදී මේ පක්ෂ දෙක කරගත්ත ලොකුම අත්වැරැද්ද. එනම් පළාත් පාලන මැතිවරණයකට නොතිබිය යුතු ජාතික වැදගත්කමක් ඊට ලබා දුන්නා. අනෙක පළාත් පාලන මැතිවරණයක අරමුණු ජාතික න්‍යායපත්‍රයක් තුළ යටපත් කළා. රජය පෙරළන සටන්පාඨ ඔස්සේ නිර්මාණය කළ උණුසුම නිසා නිසොල්මන්ව ඇල්මැරුණ ස්වභාවයකින් සිටි සන්ධාන සාමාජිකත්වය මේ මහා භිෂණයෙන් රට ගලවා ගැනීම සඳහා අවසන් සති 2 ක පමණ කාල සීමාව තුළ තීරණාත්මකව මැතිවරණ ක්‍රියාවලියට අවතීර්ණ වුණා. මීට අදාළ මූලික සන්දර්භය මෙසේ වුණත් මේ ප්‍රතිඵලයට බලපෑවේ එය පමණක් නෙවෙයි.

2005 දී ගොඩනඟාගත් ජනතාවාදී සහ ලාංකිකවාදී ආණ්ඩුව පරෙස්සම් කර ගැනීමේ වුවමනාව අපේ ජන සමාජය තුළ කිඳාබැස තිබුණා. යම් යම් කාරණා ගැන නොපැහැදීමක් තිබුණත් ආණ්ඩුව බිඳ දැමීමට තරම් ඒ කාරණා ප්‍රබල වුණේ නෑ. මීට අමතරව 2005 පටන් මේ රජය ගෙන යන සංවර්ධන වැඩ පිළිවෙළත් මේ ප්‍රතිඵලයට බලපෑවා.

විශේෂයෙන් ගම නැගුම, මග නැගුම, මධ්‍යම හා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති, මෑත කාලීනව ආණ්ඩුව ඉතා ස්ථාවර ප්‍රතිපත්තියක් යටතේ දියත් කළ දිවි නැගුම ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ වැඩසටහන යනාදී කාරණත්, “මහින්ද චින්තන ඉදිරි දැක්ම” වැඩපිළිවෙළ පියවරෙන් පියවර ඒවා ඔස්සේ සාර්ථකව ඉදිරියට ගනිමින් තිබීමත් මීට බලපෑවා. මේ රටේ අතුරුමාර්ග කි. මී. 32000 ක් පමණ සාදා නිම කෙරුණා. සංවර්ධන ව්‍යාපෘති 72000 ක් පමණ ක්‍රියාත්මක කෙරුණා. රටේ දරිද්‍රතාවය 14 % පමණ සිට 7 % දක්වා පහත වැටුණා. යුද්ධය අවසන් වූ පසු පමණක් නොවෙයසි යුද්ධය තිබියදීත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. යුද්ධය නිමාවූ පසු යුද්ධයට වියදම් කළාට වඩා වැඩි මුදලක් උතුරු නැගෙනහිර සංවර්ධනයට රජය වැය කරමින් තිබුණා. මේ කාරණාත් මේ මැතිවරණයේ ඡන්ද දායකයාගේ හැසිරීමට බලපෑවා.

ඊළඟ කාරණය තමයි එල්. ටී. ටී. ඊ. ය පිළිබඳ ජාත්‍යන්තරව ඇතිවෙමින් තිබූ වර්ධනයන් මේ කාරණය විශාල වශයෙන් මධ්‍යම පාන්තික බුද්ධිමත් ජනතාවගේ ඡන්දය සන්ධානයට ලැබෙන්න බලපෑවා.

විශේෂයෙන් ජාත්‍යන්තර බලවතුන්ගේ ආධාර ඇතිව ලොව විවිධ රටවල සිට පරජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීමට එල්. ටී. ටී. ඊ. ය ගන්නා ක්‍රියාමාර්ග පරාජය කරන්න නම් යළි ත්‍රස්තවාදයට ඉඩ නොදෙන්න නම් හොඳම නායකත්වය හා ආණ්ඩුව දැන් පවතින බව මේ ජනතාව ගැඹුරින් තේරුම් ගත්තා. මේ පසුබිම තුළ ඔවුන්ට මේ මැතිවරණය පෙනුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි ප්‍රතිගාමී පසුගාමී කැරැල්ලක් ලෙසයි.

පක්ෂ භේදයකින් තොරව රටේ සියලු ජනතාව වටහාගෙන ඇති කාරණයක් නම් අපේ රටේ රාජ්‍ය නායකත්වය කිසිදු රටකට නොදෙවෙනි සහ ජාතික අභිලාෂය වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්නා නායකත්වයක් බවයි. මේ නිසාම ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ප්‍රතිගාමී දේශපාලන කටයුත්තක් කිරීමට යාම වැළැක්වීමට මේ මැතිවරණයේදී ජනතාව පෙළ ගැසුණා.

එසේ නම් මේ මැතිවරණ ප්‍රතිඵලය අපේ රටේ පළාත් පාලන හෝ එම නියෝජිතයන්ට ලැබුණු ඡන්දයක් නෙවෙයි. එය ජනාධිපතිවරයා සහ ඔහු නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරය ලැබූ ජයක්.

* මේ ප්‍රතිඵලය එජාපයට හා ජවිපෙ ට ඔවුන්ගේ දේශපාලන අනාගතයට අදාළව බලපාන්නේ මොන විදියටද ?

මේ ප්‍රතිඵලයෙන් එජාපයට ශක්තිමත් ජාතික හෝ ප්‍රාදේශීය පදනමක් නැති බව සනාථ වුණා. ඔවුන්මතු කිරීමට වෑයම් කළ බඩු මිල, ආහාර මිල, පඩි වැඩි කිරීම ආදි සංවේදී කාරණා සරල දේවල් බවත් ඒවා නිසා හැඟීම්බර නොවන බුද්ධිමත් දේශපාලන පුරවැසියන් අපට සිටින බවත් ජනතාව දැනුම් දී තිබෙනවා. මේක ඉතා වැදගත් කාරණයක්.

අනෙක එජාප නව නායකත්වය කිසිදු ජන පදනමක් නැති අපරිණත නායකත්වයක් ලෙස ජනතාව තක්සේරු කළා. විශේෂයෙන් එජාප දෛනික සටන්පාඨ වලට ඇහුම්කන් නොදී ප්‍රතිපත්තිමය දේශපාලන දර්ශනයක් මත පිහිටා ජනතාව ඡන්දය ප්‍රකාශ කළා.

ජවිපෙ ට අදාළව ගත්තොත් ජවිපෙ, එජාප සමඟ සන්ධානගත වන තුරුම ශ්‍රීලනිප තරුණ තරුණියෝ ඔවුන්ගේ ජන පදනම තුළ සිටියා. ඒක 1977 ඉඳන් විශේෂයෙන් කැපී පෙනෙනවා. ශ්‍රීලනිප පවුල්වල තරුණ තරුණියෝ රැඩිකල් අදහස් ඇති අය ජවිපෙ ට නැඹුරුව සිටියා. ශ්‍රීලනිප ජවිපෙ එක ගෙදර අය. ජවිපෙ පදනම හැදුණේ එජාප පවුල්වලින් නෙවෙයි. නමුත් මේ මනෝභාවය මුළුමනින් බිඳ දමමින් ජවිපෙ තම සාමාජිකයන් ලක්ෂයක් පමණ ඝාතනය කළ එජාප සමඟ සන්ධානගත වුණා. ජනතාව ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ජවිපෙ දේශපාලන අනාගතය තීරණය වෙන්නෙ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයක් තුළ මිසක් එජාපය සමඟ වන සන්ධානයක් තුළ නෙවෙයි.

* මේ මැතිවරණයෙන් පසු ඉදිරි මැතිවරණවලදී වත් වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු යැයි කියන කාරණයට ඔබ එකඟයිද ?

පවතින මැතිවරරණ ක්‍රමයේ ඛේදනීය භාවය අපි බුක්ති විඳිමින් ඉන්නෙ. මනාප පොරය නිසා තම තමන්ගේ පක්ෂවල අයම ප්‍රචණ්ඩ ලෙස ගැටුම් ඇති කර ගන්නවා. මේ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද ?

විශේෂයෙන් මේ ක්‍රමය යටතේ පැවැත්වෙන අවසාන ඡන්දය මෙය බවයි අපේ අදහස. ඉදිරි ඡන්ද කොට්ඨාස ක්‍රමයට තියෙයි. පළාත් පාලනය ගැන අවබෝධය දැනුම සහිත උපායික හැකියාවන් ඇති අය එම නායකත්වයන් සඳහා පත් කිරීමට මේ නිසා සන්ධානයේ නායක කාරකාදීන් පියවර ගනීවි කියල අපි විශ්වාස කරනවා. නැතිනම් ජාතික සංවර්ධන වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් ප්‍රාදේශීය හා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති අපේක්ෂිත අන්දමට ඉදිරියට ගෙන යාමට හැකි වන්නේ නෑ. එහෙම වුණොත් මේ ලැබූ ජයග්‍රහණය ප්‍රාදේශීය වශයෙන් තේරුමක් නැති ජයග්‍රහණයක් වෙයි. එය ජාතික ජයග්‍රහණයක් වත් නිශේධනාත්මකව බලපානවා. ඒ නිසා මෙවර පළාත් පාලන ආයතන තුළ ග්‍රාමීය සහ ප්‍රාදේශීය සංවර්ධනය ගැන වුවමනාවත් අවබෝධයත් ඇති පළාත් පාලනය ගැන දැනුමක් ඇති අවංක වැඩකළ හැකි පිරිසක් නායකයන් ලෙස පත් විය යුතුයි. මේ ජයග්‍රහණය රටේ සහ ජාතියේ ජයග්‍රහණයක් වන්නේ එවිටයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා