හොරණ ශිෂ්‍යත්ව සමතුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

හොරණ ශිෂ්‍යත්ව සමතුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

හොරණ අධ්‍යාපන කලාපයේ බුලත්සිංහල, හොරණ බණ්ඩාරගම යන අධ්‍යාපන කොට්ඨාසවල පාසල්වලින් 2008 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) විභාගය විශිෂ්ඨ අන්දමින් සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය දෙනෙකුට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේදී පැවැත්විණි.

හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන අංශය මගින් සංවිධානය කළ මෙම උත්සවයේ විශේෂ අමුත්තා ලෙස යහපාලන හා යටිතල පහසුකම් සංවර්ධන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී විධුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේදී ජනාධිපති ශිෂ්‍යත්ව ලබා ගනු ලැබූ සිසුන් සියලුදෙනා වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සුබ පැතුම් පණිවිඩයක්ද එවා තිබුණි.

යහපාලන හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සිසුන් අමතා කතා කරමින් විද්‍යාව හා තාක්ෂණ දියුණුව වත්මන් යුගයට හා රටට ගැලපෙන පරිදි උපයෝගී කරගත යුතු බවත් රටේ පවත්නා බෞද්ධ සංස්කෘතින් හා උසස් ගති පැවතුම් හා ගුණධර්මවලට හානි නොවන පරිදි තාක්ෂණය යොදා ගත යුතු බවත් රට ජාතිය ගැන තැකීමෙන් යුතුව රටට ආදරයෙන් කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කතා කරමින් නූතන ළමා පරපුරට සිය ළමා කාලය අහිමිකර දී ඇතැයිද ඔවුන් තුළ ආදරය කරුණාව, මෛත්‍රිය වෙනුවට සාධාරණය, යුක්තිය, අනුකම්පාසහගත හැඟීම් නොමැති පිරිසක් බවට පත්වෙමින් සිටින බව දකින්නට ඇතැයි කීය.

මෙම උත්සවය අමතා හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා පද්මිණි විජේසිංහ මහත්මිය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් පේ‍්‍රමසිරි මහතාද කතා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා