ට්‍රිපොලි අගනගරයේ ගඩාෆි මූලස්ථානය මුළුමනින්ම විනාශයි

ට්‍රිපොලි අගනගරයේ ගඩාෆි මූලස්ථානය මුළුමනින්ම විනාශයි

ගඩාෆි යළි සටන් විරාමයක් ඉල්ලයි

ලිබියාවට එරෙහිව බටහිර ඒකාබද්ධ බළකායන්ගේ නවමු ගුවන් ප්‍රහාරවලින් ට්‍රිපොලි අගනගරයේ පරිපාලන ගොඩනැඟිල්ලක් ඇතුළු ගඩාෆි නේවාසිකස්ථානය මුළුමනින්ම බිමට සමතලා වී ඇතැයි ප්‍රකාශ වේ. මේ අනුව ගඩාෆිගේ මෙහෙයුම් හා පාලන ශක්තිය බිඳවැටී ඇතැයි ඒකාබද්ධ හමුදාවෙන් ප්‍රකාශ වී ඇත.

මෙම ගුවන් ප්‍රහාරවලින් අගනගරය හෙල්ලුම් කෑ බවද සඳහන්ය. ඉතාලියානු ගුවන් කඳවුරකින් ගුවන් ගතව ට්‍රිපොලි නගරය වෙත ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් පසු ගඩාෆි ගේ හමුදාවෙන් අලුත් සටන් විරාමයක් ප්‍රකාශයට පත්ව ඇත. එදිරිවාදිකම් අත්හිටුවන ලෙසට අප්‍රිකානු සංගමය කළ ඉල්ලීමකට අනුගතව මෙම ක්‍රියාවට එළඹුණු බව ඔවුන් කියා තිබේ.

එහෙත් එක්සත් ජනපදය පවසන්නේ ගඩාෆිගේ සටන් විරාමය බොරුවක් බවත් ඔහු සටන් විරාමය ප්‍රකාශයට පත්කිරීමත් සමඟම එය උල්ලංඝනය කර ඇති බවත්ය.

මේ අතර එ.ජා.මහලේකම් බෑන් කි මූන් ප්‍රකාශිත සටන් විරාමයට අනුගතව සිටින ලෙස ගඩාෆිගෙන් ඉල්ලා ඇතැයි පැවසේ. ඔහු පවසන්නේ ගඩාෆි හමුදා තවමත් සාමාන්‍ය වැසියන්ට පහරදෙන බවය.

ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාරවලින් විනාශ කෙරුණු පරිපාලන ගොඩනැඟිල්ල ආසන්නයේ ගඩාෆි අමුත්තන් මුණගැසෙන ශාලාව පිහිටි අතර එහි රැස්ව සිටි සියගණනකට ප්‍රහාර වලින් හානි සිදුවන්නට ඇතැයි සැලකේ. සිවිල් වැසියන් සුරැකීමට යයි පවසමින් එල්ලකෙරෙන මෙම ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන්ම ඝාතනය වන බව සමහරු කියති.

ප්‍රංශ ප්‍රහාරක යානා ප්‍රහාර වලින් බෙන්ගාසි හිදි ගඩාෆි ගේ හමුදා භටයන් මිය ගොස් ඇති අයුරු. ඒ. එෆ්. පී.

මේ ප්‍රහාරවලින් 48 දෙනකු මියගොස් 150ක් පමණ තුවාල ලබා ඇතැයි ද ඒ අතර ළමයින් හා කාන්තාවන්ද සිටිතැයි ද ලිබියානු වාර්තාවලින් කියැවේ.

ගඩාෆි නිවහනට පහරදුන් බවට පවත්නා වාර්තා ප්‍රතික්ෂේප කරන එක්සත් ජනපදය ප්‍රහාරවලින් ඔහු හෝ ඔහුගේ නිවහන් ඉලක්ක කර නැති බව කියා ඇත.

එ.ජා. සම්මත යෝජනාවට අනුගතව ප්‍රහාර එල්ල කරන්නේ ලිබියානු ජනතාවට ඍජු තර්ජනයන් පවත්නා ස්ථානයන්ට හා ගුවන් තහනම ක්‍රියාත්මක කිරීමට බාධක කෙරෙන ස්ථානයන්ට පමණක් බවද සඳහන්ව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා