ගමේ ජනතාවගේ පණිවිඩය

ගමේ ජනතාවගේ පණිවිඩය

ආණ්ඩුව පිරිහී නැත. රාජ්‍ය නායකයා හැමදාමත් කියන දේ කරන, කරන දේ කියන නායකයකු බව රටම පිළිගනී. එය තවමත් වෙනස් වී නැති බව පුංචි ඡන්දයේදී රටේ ජනතාව තීන්දු කොට හමාරය. පුංචි ඡන්දයේ ආණ්ඩුවට එරෙහි ප්‍රථම වෙඩිමුරය එක්සත් ජාතික පක්‍ෂය පත්තු කළේය. ඒ වෙඩිමුරය ආණ්ඩුව දෙසට නොව එක්සත් ජාතික පක්‍ෂයටම කැරකී තිබේ. ගමේ ඡන්දයට ගම ගැන කතා නොකොට ජාතික ප්‍රශ්න ගැන බහුබූත කතා කළ විපක්‍ෂ නායකයා රටේ ජනතාවගේ පිළිගැනීමට ලක් වූයේ නැත.

රනිල්, සජිත් නායකත්ව පොරයට වඩා, ගම හැදීම මූලික වන බව ගම තීරණය කළේය. ගමේ මිනිසුන්ගේ සිත හඳුනා ගැනීමට ගමෙන් බිහි වූ නායකයා සමත් වී සිටී. ඒ නිසා ඔහු ගමේ අයට ගම ගැනත් ගම හැදූ හැටි, ගම දිනවා දුන්නොත් රටම දිනවන බවත් ගමට ගොස් කීයේය. රාජ්‍ය නායකයා කියන කතා කිසිවක් බොරු නොවන බව ජනතාව එදා සිට මේ මොහොත දක්වා විශ්වාස කළහ. මේ රටේ පහළ වූ දේශපාලන නායකයන්ගෙන් මහින්ද රාජපක්‍ෂ නම් පරිණත දේශපාලනඥයා ජනතාවට ඇත්තම කියන බව වටහා ගෙන මෙවන් ප්‍රතිඵලයක් සාදාදී තිබේ.

‘සුපිරි ගමක් සුපිරි රටක්’ යන තේමාව කටට රහට කියා දේශපාලන වේදිකාව ලස්සන කරන්නට ඉදිරිපත් කළ තේමාවක් නොවන බව ජනතාව පිළිගෙන තිබේ. සියල්ල එකට එක්වී එකම සිතක් සේ ගත් තීන්දුව අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පළාත් පාලන ආයතන දෙසිය තිස්හතරෙන් දෙසිය පහක පැහැදිලි බලයක් හිමිව තිබේ. එම බලය එහෙන් මෙහෙන් අහුලා ගෙන ක්‍රියාත්මක නොකරන්නට දුන් ජනතා බලයක් බව පැහැදිලිය. එක්සත් ජාතික පක්‍ෂය ලබාගෙන ඇත්තේ ආයතන 9ක බලය පමණි.

ජනතා විමුක්ති පෙරමුණේ තේමාවට මෙදා පළාත් පාලන ඡන්දයෙන් අර්ථවත් තීන්දුවක් ලබාදී තිබේ. එනම් ජනතා විමුක්ති පෙරමුණේ රැවටිල්ලට ඡන්දදායකයන් නිමාවක් ලබා දී තිබේ. රටට අඬබෙර ගසමින් අයිති කරගෙන සිටි තිස්සමහාරාමයද ඔවුන්ගෙන් ලබාගෙන ඇත්තේ තවදුරටත් රට රවටන්නට කටමැත දෙඩීමෙන් හෝ බොරු සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමෙන් නොහැකි බව සනාථ කරමිනි. ගමේ ජනතාව මෙම තීන්දුවෙන් බටහිර ලෝකයට අපූරු පණිවුඩයක් ලබා දී ඇත. රාජ්‍ය නායකයාට යුද අපරාධ විරෝධී බොරු චෝදනා එල්ල කොට විදුලි පුටුවේ දමන්නට සැරසෙන බටහිර කුමන්ත්‍රණකාරීන්ට ගමේ ජනතාව එළිපිටම කියා ඇත්තේ මානව හිතවාදී තමන්ගේ ආදරණීය නායකයා වෙනුවෙන් සමස්ත රටවාසීන්ම විදුලි පුටුවේ වාඩිවන්නට සූදානම් බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා