පතෝල යුගය

පතෝල යුගය

ක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තාවකාලික ලෙස විසැඳී ඇත. නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට ම ලැබී තිබේ. නායකත්ව ගැටලුව විසැඳී ඇතත්; පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුම අළු යට ගිනි මෙන් පවතින බව ද; එය ඕනෑම අවස්ථාවක යළි මතුවිය හැකි බව ද අපගේ දේශපාලන අවබෝධය වේ. මේ පක්ෂයේ පවත්නා අර්බුද ජාතික ප්‍රශ්නයක් වී නැති බව ඊළඟට තේරුම් ගත යුතු යථාර්ථය යි. එය ජාතික ප්‍රශ්නයක් නො වන්නේ රට ඉදිරියට ගෙන යන පුළුල් ජාතික වැඩපිළිවෙළක් හා ශක්තිමත් නායකත්වයක් ආණ්ඩු පක්ෂයට ඇති බැවින් ය. දිගින් – දිගටම මැතිවරණ පරාජය වීමත්; නායකත්වය සඳහා ප්‍රබල ගැටුමක් පැවතීමත්; පක්ෂයේ ඡන්ද පදනම දෙදරා යෑමත් එක්සත් ජාතික පක්ෂය අර්බුදයක් වෙත ගෙන ගොස් තිබිණි. මේ පිළිබඳ පැවැති විග්‍රහවලදී ප්‍රධාන අදහස් කිහිපයක් මතුවී තිබිණි. පළමුවැන්න පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව ය.

දෙවැන්න පක්ෂ ප්‍රතිපත්ති හා ඉදිරි වැඩසටහන් යාවත්කාලීන කළ යුතු බවය. තෙවන්න පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට පැවරිය යුතු බව ය. පක්ෂ සාමාජිකත්වයේ අවධානය එකිනෙක විසැඳුම් කෙරෙහි දැඩි ලෙස යොමු වී තිබිණි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ දේශීය පිළිගැනීම තුළ හෝ අන්තර්ජාතික පිළිගැනීම තුළ හෝ ආණ්ඩු පක්ෂයට හිමි ගෞරවණීය ස්ථානයට අභියෝගයක් කළ හැකි තැනෙක විපක්ෂය නැත. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් වුව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වුව සලකා බලන කල ඉහත මතය සර්ව සාධාරණ වේ. යුක්ති සහගත වේ. මෙරට දේශපාලනය විග්‍රහ කරන කල එක්සත් ජනතා නිදහස් සන්ධානය 2005 සිට ම තනි අශ්වයකු සේ දුවන බවක් පෙනෙන්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය ධර්මවලට අනුව නම්; ශක්තිමත් විපක්ෂයක් නැතිකම විශාල දේශපාලන පාඩුවෙකි. විපක්ෂයට මොකද වුණේ යන්න අදටත් ප්‍රශ්නයෙකි.

විපක්ෂය යනුවෙන් අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂය යි. එම පක්ෂය බිඳ වැටුණේ දේශීයත්වයට ගරු නොකළ නිසා යැයි ප්‍රබල මතයක් තිබේ. ත්‍රස්තවාදී ගැටුමට අදාළ ක්‍රියාකාරකම්වලදී එජාප නායකත්වය ගත් තීන්දු හා තීරණ පොදු ජනතාවගේ ගර්හාවට ලක්විය. මේ හේතුව නිසා ම එජාපයේ ප්‍රබලයෝ පිරිසක් ආණ්ඩුවට එක්වූහ. එම පරිවර්තනය දැනට ද සිදුවේ. අනාගතයේ දී ද සිදුවිය හැකි ව තිබේ. ඔව්හු යුද්ධය හාස්‍යයට ලක් කළහ. දේශපේ‍්‍රමීත්වයට ගර්හා කළහ. මේ තත්ත්වය නායකත්ව ගැටුම හා සැසඳුවහොත්; සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආස්ථානය වූයේ කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩසටහන නිවැරැදි බව ය. වික්‍රමසිංහ මහතා ඊට විරුද්ධ මතයක හෙවත් සාම - සාකච්ඡාවල එල්ලීගෙන සිටියේ ය. මේ මත දෙකෙන් එකක්වත් ප්‍රබල ලෙස මතු වූයේ නැත. සජිත් පේ‍්‍රමදාස මහතා ආණ්ඩුවේ මතයට හෙවත් මහජන මතයට සහාය දැක්වීම සඳහා ඉදිරියට පැමිණියේ නැත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය හා විවේචන මහජනයා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී. සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රබුද්ධ හා දේශපේ‍්‍රමී තරුණ නායකයකු ලෙස බැලූ බැල්මට පෙනී ගියේ ය. එහෙත් ඔහු පිළිගැනීම සඳහා ඉදිරියට පැමිණියේ සුළු පිරිසෙකි. සජිත් මහතා දේශපාලන වශයෙන් අපරිණත ය. පිළිගැනීමෙන් තොරය යන මතය පැතිර ගොස් තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා සතු අන්තර්ජාතික පිළිගැනීම, දේශපාලන පරිණතභාවය හා ජාතික නායකත්වය සජිත් මහතාට නැත. සජිත් මහතා එජාප නායකත්වයට පත්වූයේ නම්; එහි ඇදවැටීම තවදුරටත් ශීඝ්‍ර වන බව අපගේ පිළිගැනීම ය.එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙකුට රාජ්‍ය බලය ලබා ගැනීමේ හදිස්සියක් තිබේ. බලයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු විධිමත් වැඩපිළිවෙළක් නැතත්; ඔව්හු ඒ සඳහා සිහින දකිති. මේ සිහින විසින් මුළු පක්ෂයම මිරිගුවක් වෙත තල්ලු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමට නම්; එහි නායකයන් පළමුව මහ පොළෙවෙහි දෙපා තැබිය යුතුය. සිහිනවලින් ඈත්විය යුතු ය. යථාර්ථයට මුහුණ දිය යුතු ය. නායකයන් මාරු කිරීමෙන් මේ පක්ෂයට ලැබෙන අමුතු ශක්තියක් නැත. එජාපයේ උපන් ගෙයි දෝෂය හැර ගැනීම පළමුව කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ මහතා පතෝල ගැන කීවේ ය. පොල් ගෙඩි ප්‍රදර්ශනය කළේය. සජිත් පේ‍්‍රමදාස මහතා පේ‍්‍රමදාස යුගයක් ගැන කතා කළේ ය. මේ එක අදහසක් හෝ ජනතාව ගණනකට නො ගත් බව පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් සනාථ වේ. ආණ්ඩුව එජාපය ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත. එහෙත් ශක්තිමත් හා ප්‍රබුද්ධ විපක්ෂයක අවශ්‍යතාව තිබේ. එය දේශපාලන සත්‍යයෙකි. විපක්ෂයේ පේ‍්‍රමදාස යුගය හා පතෝල යුගය දෙස බලනවිට පෙනී යන්නේ මහා භීෂණයක් සහිත පේ‍්‍රමදාස යුගයට වඩා කොන්දක් නැති පතෝල යුගය වඩා වටින බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා