සන්ධානයට නගර බලයත් ලබා ගැනීම දුෂ්කර නෑ

සන්ධානයට නගර බලයත් ලබා ගැනීම දුෂ්කර නෑ

එස්. බී. දිසානායක
උසස් අධ්‍යාපන ඇමැති

සුගිය පළාත් පාලන මැතිවරණය, එහි ප්‍රතිඵලය මෙරට දේශපාලන හා සංවර්ධන ගමන් මඟට බලපාන්නේ කෙසේද? හා තවත් කාලීන දේශපාලන හා සමාජීය කරුණු පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි.

* පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂා කළ තරමටත් වඩා ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට පුළුවන්කම ලැබී තිබෙනවා. මේ ජයග්‍රහණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු විදිහට ඔබේ අදහස මොන වගේද?

අපේක්ෂා කළ තරමටත් වඩා කියන කාරණය වැරැදියි. මා නම් මේ පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආකාරයේම ප්‍රතිඵලයක් තමයි ලැබී තිබෙන්නේ. සමහරු හිතුවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම වැනි දේවල් නිසා නිදහස් සන්ධානය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අඩුවෙයි ජයග්‍රහණය කරන ආයගේ ප්‍රමාණය අඩුවෙයි කියලා. මේ මොහොත වනවිට ඔවුන්ගේ මේ සියලු තක්සේරු කිරීම් වැරැදිලා තිබෙන්නේ. අපේ රටේ ජනතාව දැන් එදා වගේ නොවෙයි දුරදිග බලා තමයි ඕනෑම තීන්දුවක් ගන්නේ. එම දේශපාලන පරිනතභාවය තමයි පසුගිය ඡන්ද ප්‍රතිඵලවලින් අපට දැක ගන්නට ලැබුණේ. මා මැතිවරණයේදී ප්‍රදේශ රාශියකට ගියා. ඒ හැමතැනදීම ජනතා ප්‍රතිචාරය හා ආකර්ශනය ඉතාමත් ඉහළින් අප වෙත ලැබී තිබුණා. මේ මොන විදිහට බැලුවත් මේ පළාත් පාලන මැතිවරණය අපි පිවිසෙන්නේම ජයග්‍රහණය ගැන වු හොඳ විශ්වාසයක් ඇතිවයි.

අප දැන් බලමු මේ මැතිවරණයට විපක්ෂය පිවිසුනේ කොහොමද කියලා. ඒ අය මැතිවරණ ව්‍යාපාරයට එන්නෙම යූ.ඇන්.පී., ජේ.වී.පී. සහ එල්.ටී.ටී.ඊ. හිතවාදී කියන තුන් පාර්ශ්වය සමඟ නිල නොවන විදිහට සන්ධානගත වෙලා. ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාකාරකම් මතුපිටින් බලපුවාම අලියා සීනුව විදිහට බෙදී සිටියාට අභ්‍යන්තර වශයෙන් ඔවුන්ගේ අරමුණු හා අදහස් අතර විශාල සමානකමක් තිබුණා. අප දැක්ක ප්‍රධාන දේ තමයි මහ මැතිවරණයකදී ඉදිරියට ගත යුතු සටන් පාඨයක් වන ජීවන වියදම ඉහළ යාම, විරැකියාව, දූෂණය වැනි මාතෘකා ගමේ මැතිවරණයේදී සටන්පාඨ විදිහට පාවිච්චි කිරීම. ඔවුන්ගේ මේ භාවිතයේම විශාල වැරැද්දක් තිබුණා.

නිදහස් සන්ධානය පසුගිය අවුරුදු පහේදී ගම්මට්ටමට විශාල වැඩක් කළා. එහි ප්‍රතිලාභ ජනතාවට ලැබුණා. ඒ තත්ත්වය එහෙම තිබියදී එජාපයත් ජවිපෙත් සිදුකළේ ආණ්ඩුව සිදුකළ මේ යහපත් දේවල් සංවර්ධන කටයුතු පිළිබඳ විචාරාත්මකව බලන්නේ නැතිව අන්තගාමී විවේචනවලට යාමයි. අන්තගාමී විවේචනවලට ලබාදුන් පිළිතුරක් විදිහටත් සන්ධානයේ ජයග්‍රහණය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විපක්ෂය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ගම නගරය සංවර්ධනය කරන ආකාරය පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් කළේ නැහැ, වගේම ඔවුන් තුළ ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ නිසි වැඩපිළිවෙළක් තිබුණෙත් නැහැ. මේ හැම දෙයක්ම විපක්ෂයේ පරාජයටත් සන්ධානයේ ජයග්‍රහණයටත් සෘජුව බලපානු ලැබුවා.

* මැතිවරණ ප්‍රතිඵලය විපක්ෂයට වාසිදායක වුණානම් මොන විදිහේ තත්ත්වයක්ද ඇතිවීමට ඉඩ තිබුණේ..?

අප මෙය ගමේ ඡන්දයක්නේ කියලා සුළුවෙන් සැලකුවාට මානම් මුල ඉඳලම මෙහි වටිනාකම වැදගත්කම දුටුවා. ජාත්‍යන්තරය තුළ අප රටට විරුද්ධව සිදුවන කුමන්ත්‍රණ තාමත් සිදුවෙනවා. කොටි හිතවාදීන් තාමත් ඇස ගසාගෙන ඉන්නේ කොහොමද? මෙරට ආණ්ඩුවට ගහන්නේ කියලා. බැරිවෙලා හරි මේ පළාත් පාලන මැතිවරණය එක ඡන්දයකින් හෝ විපක්ෂය ජයගත්තානම් එම බලවේග ජාත්‍යන්තරයට ගෙන යන්නේ මෙරට ආණ්ඩුවේ පදනම දෙදරලා දැන් ගම් මට්ටමින් ආණ්ඩුවට විරෝධය එල්ල වන බවට වු කාරණයයි. විපක්ෂය ලැබූ අන්ත පරාජයත් සමඟ එම බලවේග නැඟීමට සිටි මේ මතයන් සම්පූර්ණයෙන්ම පුහු තර්ක බවට පත්වුණා.

* ඔබ කියන්නේ ඉදිරි කාලය තුළ සුබදායි විදිහට රටේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියලාද?

මා කියන්නේ නැහැ හැම දෙයක්ම පැය විසි හතරෙන් විසඳීමට ආණ්ඩුවට පුළුවන්කමක් හා ශක්තියක් ඇතැයි කියා. ඒත් ක්‍රමානුකූලව හා විධිමත් විදිහට මේ ප්‍රශ්න විසඳීම තමයි සිදුවිය යුත්තේ. පසුගිය දිනවල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ ගියා. එසේ මිල ඉහළ යද්දි පතෝල වැටකොලු පෙන්වමින් ජනතාව මුලා කිරීමට විපක්ෂය උත්සාහ කළා. ඒත් ජනතාව තේරුම් ගත්තා මේ වැනි දේවල්වලට ස්වභාවික තත්ත්වයක්ද බලපානවා. ඒ නිසා ආණ්ඩුවට පමණක් දෝෂාරෝපණය කර වැඩක් නැහැ කියලා. අද වෙද්දි රටේ ආර්ථිකයේ යම් පිබිදීමක් තිබෙනවා. එයට අමතරව ආර්ථික ස්ථාවරත්වයක් වගේම ආයෝජනවලට සුදුසු වාතාවරණයක්ද රට තුළ ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා සමහරු දකින තරම් රටේ ඉදිරි අනාගතය අසුබ නැහැ. රජය යම් ඉලක්කයක් සැලැසුමක් ඇතිවයි වැඩ කරන්නේ. 2015 වසර, 2016 වසර වනවිට මේ ඉලක්ක ජයගෙන යම් ස්ථාවරත්වයකට සුබදායි තත්ත්වයකට රට පත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා හොඳ වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාටත් රජයටත් තිබෙනවා.

* පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය ගැන මත පළ කරන සමහර පාර්ශ්ව කියන්නේ ආණ්ඩුවට වාසිදායකම පළාත් සභා ආයතනවලින් ලැබූ මේ ජයග්‍රහණය මහනගර සභා, නගර සභා මැතිවරණයේදී ආපසු කැරැකැවීමේ අවදානමක් ඇති බවයි..මේ තර්කය ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

මේ පළාත් පාලන මැතිවරණය ආරම්භ වෙද්දි විපක්ෂයට හිතකර විදිහටයි සමාජ සාධක ඇතිවෙලා තිබුණේ. බඩු මිල ඉහළ යාම, ගංවතුර තත්ත්වය මේ හැමදේකින්ම බලපෑමක් වෙන්න ඉඩ තිබුණේ ආණ්ඩුවට මිසක් විපක්ෂයට නොවෙයි. ඒත් මෙවර ප්‍රතිඵල සටහන බලපුවාම තේරෙනවා එහෙම දෙයක් නැහැ කියලා. මහනගර සභා, නගර සභා ගැනත් තිබෙන්නේ ඔය විදිහේ පුහු මතයක්. පසුගිය ප්‍රතිඵල බලපුවාම පෙනෙනවා එජාපයට වාසිදායක නාගරික ප්‍රදේශ බහුතරයක් අප ජයග්‍රහණය කරන ආකාරය බේරුවල, වත්තල, ජාඇල, පෑලියගොඩ, පානදුර නගර සභා පමණක් නොවෙයි අර්ධ නාගරික ප්‍රදේශ සියල්ලමත් නිදහස් සන්ධානයට ජය ගැනීමට පුළුවන් වෙනවා. මේ සාධක හා ඉදිරි මහ නගර සභා, නගර සභා මැතිවරණ නිරීක්ෂණය කර බැලුවහම නගරවල බලයත් සන්ධානයට ලබා ගැනීම දුෂ්කර දෙයක් නොවන බවයි අපට පෙනී යන්නේ.

* එජාපය පරාජය වුවත් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය මහ මැතිවරණ ප්‍රතිඵලය හා සසඳද්දී 4%, 5% ඉහළ ගොස් ඇතැයි එජාපය කියනවා. මේ තර්කයට පදනමක් තිබේද?

පරාජය වුණාම ඕනෑම පක්ෂයක් මේ විදිහේ තර්කයක් ගෙන එනවා. එය ස්භාවික තත්ත්වයක්. ශ්‍රීලනිපය වුණත් දිගින් දිගටම පරාජය වූ අවුරුදු දාහතේදී මෙවැනි තර්ක ඉදිරිපත් කළා. එහෙම දේවල්වලින් සිත් සනසා ගත්තාට එයින් පක්ෂයට ලැබෙන වාසියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවක් තුළ එක් දේශපාලන පක්ෂයක් 55% ලබා ගනිද්දි අනෙක් පරාජිත පක්ෂය 34% ගත්තේ. පරතරය පමණක් වූවත් 20% වැඩියි. මේ තරම් දරුණු පරාජයකට ලක්වෙලා ඉද්දිත් ප්‍රතිශතය සියයට දෙක තුනකින් ඉහළ යාම ජයග්‍රහණයක් විදිහට පෙන්වන්නේ කොහොමද කියන එක විශාල ප්‍රශ්නයක්. මේ රටේ බහුතරයක් අදත් ජනාධිපතිතුමාට විශාල ගෞරවයක් ඇතිවයි ඉන්නේ. මගේ හැඟීමේ හැටියට පළාත් පාලන මැතිවරණයේදී බහුතරයක් ජනාධිපතිතුමාට සිදුකරන ගෞරවයක් විදිහටත් සන්ධානයට ඡන්දය ලබා දුන්නා. ඒත් එජාපය තුළ ජනතාවගේ ගෞරවයට බඳුන්වන තරමේ නායකයන් අද නැහැ. මෙයත් එජාපයේ පසුබෑමට විශාල ලෙස බලපානවා.

* මෙවර පළාත් පාලන ප්‍රතිඵලය නිරීක්ෂණය කරද්දී ඡන්ද දායකයන්ගෙන් 55% වැනි ප්‍රමාණයක් තමයි ඡන්දය භාවිතා කර ඇත්තේ. ඡන්ද ප්‍රකාශ කිරීම අඩුවීමට ජනතාව තුළ දේශපාලන ක්‍රමය පිළිබඳ වූ කලකිරීම බලපෑවාද?

පළාත් පාලන මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක්වත් පළාත් පාලන මැතිවරණයක් හා මහ මැතිවරණයක්වත් සසඳන්නට බැහැ. මේ සියල්ලටම වඩා පළාත් පාලන මැතිවරණයකදී ඡන්ද දායකයා හැසිරෙන්නේ වෙනස් විදිහකට. ඡන්ද දායකයන්ගේ මන්දගාමිත්වය පළාත් පාලන මැතිවරණයකදී ඉහළින්ම තිබෙන දෙයක්. මෙය දේශපාලන ක්‍රමය ගැන හෝ ආණ්ඩුව ගැන ඇති වූ කලකිරීමක් නොවෙයි ස්භාවික තත්ත්වයක්. කොළඹ රැකියාවක් කරන කෙනෙක් අතින් වියදම් කරගෙන ඡන්දය දමන්න ගමට යන්නේ නැහැ. ජාතික තලයේ මැතිවරණයකදී මේ තත්ත්වය මෙයට වෙනස්. හැබැයි මෙවර පළාත් පාලන මැතිවරණයේදී අප බලාපොරොත්තු වූ තරමට වඩා විශාල ප්‍රමාණයක් ඡන්ද පොළට ආවා. සමහර තැන්වලදී ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිශතය 70% ඉක්ම වූවා. ඒ නිසා අපට මේ මැතිවරණයේදී ඡන්ද දායකයාගේ හැසිරීම අලසයි මන්දගාමියි කියන තර්ක කරන්න බැහැ. මෙවර ඡන්දදායකයා තුළ ඡන්දය පාවිච්චි කිරීම සඳහා වූ උනන්දුව සාපේක්ෂව ඉහළයි කියා තමයි මට පෙනෙන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා