ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙහෙත් විටමින් ගැනීමට වාර්ෂිකව රජය මිලියන 10ක් වැය කරනවා

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙහෙත් විටමින් ගැනීමට වාර්ෂිකව රජය මිලියන 10ක් වැය කරනවා

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ගීතාංජන මෙන්ඩිස්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙහෙත්, විටමින් හා අතිරේක පෝෂණය වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක් වාර්ෂිකව වියදම් කරන බව ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පවසයි. ජාතික තහනම් උත්තේජන කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන ඒ මහතා සඳහන් කරන්නේ එවැනි තත්ත්වයක් මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජන චෝදනා එල්ල වීම කණගාටුවට කරුණක් බවය. “රජය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රටපුරා වෛද්‍ය ඒකක ඇති කර තිබෙනවා. ජනාධිපතිතුමා ඇතුළු රජය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැදගත් තීන්දු රැසක් ගෙන තිබෙනවා.

ඒවායේ නිසි ප්‍රතිඵල ලබාගැනීමට සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවබෝධය ලබා ගත යුතුයි” මෙන්ඩිස් මහතා පැවැසීය. තහනම් උත්තේජන චෝදනාවලට ලක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු එම ඖෂධ ශරීරගත වූයේ නොදැනුවත්කම හේතුවෙන් යැයි පැවැසීම ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. මේ වන විට තහනම් උත්තේජන පිළිබඳ හා ඒවා ශරීරගත වීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල රටපුරා සිටින ක්‍රීඩා පරිපාලකයන්, පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවිධ ක්‍රම මගින් පුළුල් දැනුමක් ලබා දී ඇතැයි ඒ මහතා අවධාරණය කරයි.  චක්‍රලේඛ, දේශන, වැඩමුළු හා අත්පොත් මගින් තහනම් උත්තේජන භාවිතය පිළිබඳ දැනුමක් ලබාදීමට කටයුතු කර ඇතැයි වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පැවැසීය.

“ක්‍රීඩා වෛද්‍ය ඒකකවලට පිටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බෙහෙත් ගන්නවා නම් අපව දැනුවත් කළ යුතුයි. එවිට චෝදනාවක් නැගෙන්නට පෙර කළ හැකි දේ තිබෙනවා” ඒ මහතා පැවැසීය. කෙසේ වුවද ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජන භාවිතය අවම මට්ටමක තිබීම සතුටට කරුණක් බව ඒ මහතා අවධාරණය කළේය. පසුගියදා රියාද්හි රටවල් 44 ක සහභාගීත්වයෙන් පැවැති ආසියානු තහනම් උත්තේජන කමිටුවේදී මේ බව අනාවරණය වූයේ යැයි ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා වැඩි දුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා