සරසවි සිසු නායකත්ව පුහුණුව අපේ ජීවිතවලට ආලෝකයක්

සරසවි සිසු නායකත්ව පුහුණුව අපේ ජීවිතවලට ආලෝකයක්

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්ව හැකියාව සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නේවාසික පුහුණු වැඩ සටහනක් හෝමාගම පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි ශාරීරික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කර තිබේ.නාගොඩ යුද හමුදා ජනපදයේ වැව ආශ්‍රිත මනරම් භූමි ප්‍රදේශයක පිහිටි යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අසූ හය දෙනෙක් පුහුණු හදාරමින් සිටිති. පුහුණුව අතරතුරේදී මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙක් දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

පුහුණුව පිළිබඳ අදහස් දැක්වූ එච්. ඩබ්ලිව්. කුසල් චාමර සඳරුවන් - මගේ ගම දොම්පේ. ගම්පහ බණ්ඩාරනායක මහ විදුහලෙන් අධ්‍යාපන හදාරා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ පුහුණු පාඨමාලාවට යොමු වීමට පෙර අපට හිතේ විශාල බියක් තිබුණා හමුදා කඳවුරුවලදී මොනවාගේ පුහුණුවක් ලබා දෙයිද කියලා. එම බය ඇති වූයේ පුහුණුවට යාමට පෙර විවිධ කට කථා හා ඇතැම් මාධ්‍ය තුළින් බියක් පෙන්නුම් කර තිබූ නිසයි. මේ නිසා අපගේ මවුපියන්ද පුහුණුව ගැන බියකින් සිටියා.

දේශනවලට යමින්...

පසුව ටික ටික ඇත්ත තත්ත්වය දැන ගන්නට ලැබුණා. මෙය ශිෂ්‍යයන්ගේ අනාගතයට අවශ්‍ය පුහුණුවක් බව පැහැදිලිව කිව යුතුයි. මෙය දැනගත් පසු මවුපියන්ගේද කැමැත්ත ලැබුණා පුහුණුවට යාමට. පුහුණුව සඳහා මවුපියන් සමඟ ප්‍රථමයෙන් පනාගොඩ යුද හමුදා කඳවුරට පැමිණියා. එහිදී හමුදා නිලධාරීන් අපගේ ඥාති සහෝදරියින් මෙන් අපව ඉහළින් පිළිගෙන කඳවුරට රැගෙන ගියා. අපගේ පුහුණු කාලය දින විසි එකක් වෙනවා. දැනට දින හතක් ගෙවී ගොස් තිබෙනවා. මේ දින හතට අපගේ ජීවිතයට විශාල අත්දැකීම් සමූහයක් එකතු කර ගැනීමට හැකි වුණා.

විශේෂයෙන් වේලාවට වැඩ කිරීමට, නේවාසිකාගාරයක සිටිය යුතු ආකාරය, පිළිවෙළකට ඇඳුම් තබා ගැනීම, ඇඳක් නිසි ලෙස සකසා ගන්නා අයුරු, කෑම ගන්නා අයුරු, යම් අභියෝගයකදී එයට මුහුණ දෙන අයුරු, නායකයෙක් වෙන්නේ කෙසේද, සමූහයක් සමග කටයුතු කරන්නේ කෙසේද, ඉවසීම, උද්යෝගය ඇති කිරීම, විනය, ක්‍රීඩා කිරීම්, මානසික දැනුම, තම ශරීර සුවතාව ආරක්ෂා කර ගැනීමට හා විවිධ කටයුතු කිරීමට අවශ්‍ය දැනුම ඉතාම සරලව හා සුහදව යුද හමුදාවේ නිලධාරීන් විසින් පහදා දී පුහුණු කිරීම් සිදු කරනවා.

පනාගොඩ කඳවුරේ වැව අසබඩ විවේකී සුන්දර මොහොතක්

ඇත්ත වශයෙන් මෙහි යුද අභ්‍යාසයක් පුහුණු කරන්නේ නැහැ. පුහුණු කිරීම්වලදී අප ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යම් දෙයක් වැරදුන හොත් එයට දඬුවමක් ලබා දෙන්නේත් නැහැ. මේ පුහුණුව මගින් අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට විශාල පිටිවහලක් වෙන බව පැහැදිලිව කිය යුතුයි. ඒ වාගේම මේ පුහුණුව නිසා අපට විශ්වවිද්‍යාල තුළත් ඉන් පිටතදීත් එක එක අයගේ අවශ්‍යතාවන්වලට යොදා ගන්නට නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අප සමාජයේ බොහෝ අය හිතන්නේ විශ්වවිද්‍යාල තුළට ගිය පසු හැම දෙනාම හොඳ මාර්ගයට යනවා කියලා.

අප දන්නවා එහි තුළ දී විවිධ කණ්ඩායම් පවතින බව. ඇතැම් කණ්ඩායම් කරන්නේ අපි වැනි සාමාන්‍ය පවුල්වල දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන නිසි ලෙස කරගෙන යාමට ඉඩ නොදී වෙනත් ක්‍රියාවලට පෙළඹවීම පමණයි. විශ්වවිද්‍යාලයක උපාධියක් ගෙන පිටවන සියලු දෙනාට එකවර රැකියාවන් ලබාදීමට කිසිදු රජයකට හැකියාවක් නැහැ. මේ පුහුණුව මගින් එවැනි අවස්ථාවලදී විකල්ප ක්‍රම යටතේ රටට බරක් නොවී රටට ජනතාවට සේවයක් කිරීමට අපගේ ජීවිත අලෝකමත් කර ගැනීමටත් අවශ්‍ය ක්‍රම පහදා දෙනවා. මෙවැනි සාර්ථක පුහුණුවක් ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමාටත් උසස් අධ්‍යාපන ඇමැතිතුමාටත් යුද හමුදාවටත් ස්තූතිවන්ත වෙනවා.

භෝජනාගාරයේදී

දිනුෂා ප්‍රියදර්ශනී - මම ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් අධ්‍යාපන හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සිටිනවා. පුහුණුවක් සඳහා හමුදා කඳවුරකට ඇතුළු වන විට සිතට බියක් දැනුණා මොනවගේ තත්ත්වයකට මුහුණ දෙන්නට වෙයිද කියලා.  කඳවුරට පැමිණි දා සිට අපගේ ඥාති වැඩිහිටියන් වාගේම අපව ආදරෙන් සෙනෙහසින් යුතුව යුද හමුදාවේ සියලු දෙනා රැක බලා ගන්නවා. ඒ නිසාම හිතේ තිබූ බිය කඳවුරට ඇතුළු වී පැය කීපයක් ගත වූ පසු නැතුව ගියා. අප දැන් මෙහි සිටින්නේ හරි ආශාවෙන්. විශේෂයෙන් අපට කඳවුර තුළ පැය විසි හතර පුරා කාන්තා හමුදා නිලධාරිනියන්ගේ ආරක්ෂාව ලැබෙනවා.

පුහුණුව ආරම්භ කළ දින සිට අලුයම 5.45 ට ප්‍රධාන ශාලාවට අප සියලු දෙනා පැමිණෙනවා. එහිදී පැයක පමණ ව්‍යයාම් කරනවා. අනතුරුව උදෑසන ආහාර සඳහා පැයක විවේකයක් ලබා දෙනවා. ඉන් අනතුරුව යුද හමුදාවේ සහ විවිධ ක්‍ෂේත්‍රවල සිටින බුද්ධිමතුන් විසින් දේශන පවත්වනවා. නැවත තේ පානයට මද වේලාවක් විවේකයක් දී දේශන පවත්වනවා. දිවා ආහාරය ප. ව. 1.00 දී පැය දෙකක පමණ විවේකයක් ලබා දෙනවා. දේශන ප. ව. 4.00 අවසන් වෙනවා. අනතුරුව තමන්ට කැමති ක්‍රීඩාවක් කිරීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා නිවරැදිව එය ක්‍රීඩාවේ යෙදන අයුරු පහදා දෙනවා.

සවස 6.00 පසු රටේ ලෝකයේ පවතින කාලීන සිදුවීම් ආශ්‍රයෙන් කණ්ඩායම් බෙදී විවාද තරග පවත්වනවා. රාත්‍රී කෑම රාත්‍රී 8.00 ලබා දෙනවා. අනතුරුව කාන්තා නේවාසිකාගාරවලට ශිෂ්‍යාවන් යන අතර පිරිමි නේවාසිකාගාරවලට ශිෂ්‍යයින් යනවා.  අපගේ නේවාසිකාගාරය තුළදී ගීත ගායනා කරමින් සතුටින් කාලය ගත කරන අතර අවශ්‍ය නම් රූපවාහිනි නැරඹීමට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා නියම පෝෂ්‍යදායි ආහාර වේලක් සෑම ආහාර වේලකටම ලබා දෙන අතර සනීපාරක්ෂා පහසුකම් ඉහළ මට්ටමක පවතිනවා. මීට අමතරව අප වෙනුවෙන්ම වෛද්‍ය සේවා අංශයක් ආරම්භ කර තිබෙනවා. මේ පුහුණුවෙන් අපට විශාල ශක්තියක් ලැබෙනවා. පුහුණුවට එක්ව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් විමසීමේදී පනාගොඩ ශාරීරික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේ සහ යුද හමුදා පොලිසියේ නිලධාරීන් ලබා දුන් සහාය අගය කරනවා.

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා