මේ වසර අවසන්වීමට කලින් පළාත් මාර්ග කි.මී. 1720ක් කාපට්කර සංවර්ධනය කරනවා

මේ වසර අවසන්වීමට කලින් පළාත් මාර්ග කි.මී. 1720ක් කාපට්කර සංවර්ධනය කරනවා

- ඇමැති බැසිල් රාජපක්ෂ

මේ වසර අවසන් වීමට ප්‍රථම පළාත් මාර්ග කිලෝ මීටර් 1720 ක් කාපට් කර සංවර්ධනය කරන බවත්, මේ රටේ පළාත් මාර්ග සංවර්ධනය කිරීමෙන් සියයට 80 ක්වූ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයේ ඇතිවන ගැටලු රැසකට විසඳුම් ලැබෙන බවත් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මහනුවර දිසත්‍රික්කයට අයත් උඩුදුම්බර, කුණ්ඩසාලේ, සෙංකඩගල, හාරිස්පත්තුව, නාවලපිටිය යන මැතිවරණ කොටිඨාසවල පළාත් මාර්ග කාපට් කිරීම ආරම්භ කිරීමේ අවස්ථා සහභාගි වෙමින් හෙතෙම මේ බව කීවේය. ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ගැටලුවක්ව පැවැති මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ මග නැඟුම, ගම නැඟුම වැනි වැඩසටහන් ඔස්සේ ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීමෙන් සහ ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීමෙන් ජනතාවට විශාල සහනයක් සැලසුණු බව පෙන්වාදුන් ඇමතිවරයා පළාත් මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන හරහා දිවයිනේ පළාත් සභා මාර්ග කිලෝමීටර් 3740 ක් කාපටි කර අවසන් කිරීමට හැකි වන බවද ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුදුම්බර, කුණ්ඩසාලේ, සෙංකඩගල, හාරිස්පත්තුව, නාවලපිටිය යන මැතිවරණ කොට්ඨාසවල පළාත් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. එම ව්‍යාපෘති ආරම්භ කරමින් සමරු ඵලකය නිරාවරණය කළ අයුරු.

ඡායාරූපය - චමින්ද හිත්තැටිය

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ 2011 වසර සඳහා ව්‍යාපෘති 76ක් මඟින් මාර්ග කිලෝමීටර් 300.73 ක් කාපට් කිරීමට නියමිතව ඇති අතර හුන්නස්ගිරිය - බඹරබැද්ද මාර්ගය සඳහා රුපියල් මිලියන 73ක් ද, පල්ලේකැලේ-තුරුණුසවිගම මහවැලිතැන්නගම ආයුර්වේද මාර්ගය සඳහා රුපියල් මිලියන 20.5 ක් ද වෙන් කර තිබේ. ඊට අමතරව අම්පිටිය -ගාල්තැන්න උඩුවෙල දක්වා මාර්ගය සඳහා රුපියල් මිලියන 62.5 ක් ද, මාපාමඩුල්ල - යහලතැන්න මාර්ගය සඳහා රුපියල් මිලියන 24.3 ක් ද, නාවලපිටිය - මාපාකන්ද මාර්ගය සඳහා රුපියල් මිලියන 73.9 ක් ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ වෙන් කර තිබේ.

වසර තිහක් පුරා පැවති කොටි ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජාති, ආගමි, භේදයකින් තොරව බොහෝ දෙනා පීඩාවට පත් වුණු බව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා එක් පැත්තකින් ත්‍රස්තවාදී උවදුර නැති කිරීම සඳහා ක්‍රියා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනෙක් පැත්තෙන් රටේ සංවර්ධන ක්‍රියාවලිය ද අඛණ්ඩව කරගෙන යන බවද සඳහන් කළේය.

ඒ හේතුවෙන් සියයට 8 ක ආර්ථික වර්ධන වේගයක් 2010 වසරේදී ලබා ගැනීමට හැකි වූ බවත්, විරැකියාව සියයට 4.5 දක්වා අවම කිරීමට හැකි වූ බවත් ඒ මහතා කීවේය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා